අසන, දකින, විඳින දෑ ධාරණය කරගත යුතුය.
ඒවා ඇඳ, ලියා, රඟා, නටා, නැවත කිව යුතුය.
මෙම ධාරණය කරගැනීමද, නැවත බෙදා හදාගැනීමද සමාජමය මිනිසත් බවේ මූලිකම ලක්ෂණයකි.
වසර දස දහස් ගණනක් අප පැවතුනේද, සතුරු උපද්‍රව වලින් මිදුනේද, දැණුම ඊළඟ පරපුරට ලබා දුන්නේද, මෙම කීම, දැකීම සහ ඇසීම හරහා කළ සන්නිවේදනය හරහාය.
සංඥා, අකුරු, වචන, හැඩතල, අභිනය හරහා එන සන්නිවේදනය අප ගන්නේ පංචෙන්ද්‍රිය හරහාය. එයින්ද ඇස සහ කණ මත පදනම්වූ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය සන්නිවේදනය සෙසු ඉඳුරන්අබිභවා පෙරමුණ ගනී.
ඉතිහාසයේ අප සිදුකළ මුහුණට, මුහුණ සන්නිවේදනය පසුකොට යමක් විකාශනය කිරීම සචේතනිකව ඇරඹුණේ වාර්තාගත කිරීම ඇරඹුණු දායයි අපට තර්ක කළ හැකිය. වසර විසි තිස් දහසක් පැරණි ප්‍රංශ සහ ස්පාඤ්ඤ ගුහා චිත්‍ර ඒවා නිර්මාණය කළ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සන්නිවේදනය කාලය හරහා අපට විකාශනය කරයි.
ගල් තල මත සිතුවම් ඇඳි අප, තල්කොළවල ලීවෙමු, පරෙවියන්ද, පණිවිඩකරුවන්ද භාවිතා කරමින් අපගේ පණිවිඩ භූමිය සහ කාලය තරණය කරමින් යැව්වෙමු.
නමුත් එසැන සන්නිවේදනය සඳහා අපට තාක්ෂණය අවශ්‍ය විය.
මෙම තාක්ෂණය අපට ලැබීම ට පෙර ශ්‍රව්‍ය සන්නිවේදනය හූවක දුරකටත්, දෘශ්‍ය සන්නිවේදනය ගිනි මැලයක් හෝ දුමක් දැකිය හැකි දුරකටත් සීමා විය.
ගුවන් විදුලි තාක්ෂණය ශ්‍රව්‍ය සන්නිවේදනයේ සීමා බිඳ දැමීය. රූපවාහිනී තාක්ෂණය ශ්‍රව්‍ය, දෘශ්‍ය සන්නිවේදනය වෙනත් මානයකට ඔසවා තබමින් එසැන සන්නිවේදනයේ පුරෝගාමියා බවට පත් විය.
මෙම මාධ්‍ය හරහා සන්නිවේදනය එසැනින් කළ හැකි වුව ද, එම සන්නිවේදනය අත්‍යන්තයෙන්ම ඒකපාර්ශ්විකව සන්නිවේදනයක් පමණක්ම විය.
පුවත්පතකට ප්‍රතිචාර දැක්විය හැකි වූයේ ලියුමකිනි, දුරකථනය හරහා ගුවන් විදුලියට හෝ රූපවාහිනියට ප්‍රතිචාර දැක්විය හැකි වූ නමුත් එම ප්‍රති සන්නිවේදනය ප්‍රමාණාත්මකව ඉතාමත් අවම විය
එනිසා සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රේක්ෂකයාට සමීප විය නොහැකි යම් අධිපතිවාදිත්වයක් දැරූ වේදිකාවන් බවට පත් වනු අපට දක්නට ලැබුණි..
පරිගණක, අන්තර්ජාලය, ස්මාට් ෆෝන්, අන්තර්ජාල සේවා සපයන සමහර ආයතන මෙම තාක්ෂණික සීමා බිඳ දමමින්, පුවත් මවන්නා සහ විඳින්නා යන දෙදෙනාම එකම උපකරණ සහ තාක්ෂණය භාවිත කරන්නවුන් බවට පත්කළේය.
ප්‍රකාශනයෙහි අධිපතිවාදිත්වයට හේතු වූ තාක්ෂණයේ සීමා, තව දුරටත් වලංගු නැත.
වත්මන් පුවත් මවන්නාට, ලේඛකයාට හෝ කවියාට ප්‍රතිචාර එසැනින් ලබා ගත හැකිය. එසැන සන්නිවේදනය තවදුරටත් ඒක පාර්ශ්වික නොවේ. එය ද්විපාර්ශ්විකය, ඉල්ලුම මත රඳා පවතී!
මෙම විප්ලවය අද අපගේ ඇස් ඉදිරිපිට සිදු වෙමින් පවතී. අනාගත වාර්තාකරුට හෝ නිර්මාණකරුට යම් තාක්ෂණ විධික්‍රමයක් විසින් ලබා දෙන ඒක පාර්ශ්වික සන්නිවේදනයක අධිපතිවාදිත්වයකට මුවාවී සිය පැවැත්ම තහවරු කර ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇත.
මෙම ප්‍රජාතන්ත්‍රවාදීකරණය තුළ සාම්ප්‍රදායික මාධ්‍යයන්හි තිබූ යම් සාධනීය ලක්ෂණද වියැකී යනු පෙනේ.
අන්තර්ජාල සබඳතාවයක් සහ සුහුරු දුරකථනයක් ඇති ඕනෑ ම කෙනෙකුට සත්‍යාපනයෙන්, සංස්කරණයෙන් තොර, සාවද්‍ය දත්ත සහ මතිමතාන්තර වගකීමකින් තොරව විශේෂඥයින්, සේ පෙනී සිටිමින් සමාජ ගත කළ හැකිය.
මෙයට පිළිතුරු සෙවිය හැක්කේ සාම්ප්‍රදායික මාධ්‍යයෙහි වූ සාධනීය ලක්ෂණ ප්‍රජාතන්ත්‍රීකරණය වූ නව මාධ්‍ය සමඟ මුසුකොට වගකීම් සහිත මාධ්‍ය වේදිකා ජනතාව වෙනුවෙන් තැනීම හරහා පමණි.
අපි ආලෝචනා සමග ඒ සඳහා කැපවී ඉදිරිපත් වී සිටිමු!
සංස්කාරක
alochana@ime.edu.lk