රූපි කෝර් (Rupi Kaur) කැනේඩියානු කිවිඳියක්, කලාකාරියක්, රංගන ශිල්පිනියක්. ඇයට දැන් අවුරුදු විසි අටයි. මේ වන විට ඇය තමා පබැඳූ කවි පොත් තුනක් මුද්‍රණය කර තියෙනවා. ඇගේ පලමුවෙනි පොත milk and honey ඇය මුදා හරින්නෙ වයස විසි එකේදි.
රූපිගෙ දෙමව්පියො කැනඩාවට ගියේ පන්ජාබයේ ඉඳලා. ඔවුන් සීක් ජාතිකයො. රූපිට පන්ජාබි භාෂාව කතා කරන්නත්, තේරුම් ගන්නත් පුළුවන්, නමුත් ඇය ලියන්නෙ ඉංග්‍රීසියෙන්. රූපි කවි ලියන්නෙ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින් විතරයි. ඊට හේතුව ඇගේ මවුපියන් අකුරු ලියපු ගුර්මුඛී අක්ෂර වලට කරන ගරු කිරීමක් කියල ඈ කියනවා. ගුර්මුඛී අකුරු වලත් (සිංහල අකුරු වල වගේ) සිම්පල් කැපිටල් අකුරු කියල ජාති දෙකක් නැහැ.
දක්ෂ සංස්කාරකවරයකු වෙන මහාචාර්ය කොල්වින් ගුණරත්න කියන ආකාරයට, යම් භාෂාවකින් කෙටියෙනුත්, සරලවත් ලිවීම ප්‍රගුණ කිරීම තමයි එම භාෂාවේ ප්‍රවීනයකු වීම කියන්නේ. රූපි හසුරුවන්නෙ ඉතා සරල ඉංග්‍රීසි බසක්. ඇගේ කවි වල එකම අමාරු වචනයක් වත්, සාමාන්‍ය ඉංග්‍රීසි දැනීමක් තියෙන කෙනෙකු නොදන්නා එක වචනයක් වත් නැහැ. බොහෝ කවි, පේළි දෙක තුනකට වඩා දිග නැහැ. සමහර ඒවා කවි හැටියට දැනෙන්නෙ ඒවා කියවගෙන යනකොට විතරයි, මොකද පෙනුමෙන් ඒවා ඡේද වගේ නිසා. බොහෝ කවි සටහන් ගාව ඇය විසින්ම ඇඳපු සරල රේඛා චිත්‍රයකුත් තියෙනවා. රූපිගෙ කවි තුළ කියවන්නන්ට හමුවෙනවා අඬන, හිනාවෙන, රැවටෙන, ආලය කරන, ආලයෙන් පැරදෙන- දිනන ගැහැණු ළමයෙක්. ඉතින් මොකද්ද ඔයහැටි වෙනස?
අකුරු කියන දේ හැදුනු දා ඉඳලා, දන්න තරම් කිවිඳියො ලිව්වෙම ඕවමයි. වෙනස තමයි, රූපි මේ කවි සංකල්පනා අස්සට තහංචි මාතෘකා ගේන එක. පුරුෂ මූලික සමාජ වලින් ගැහැනු ලමයින්ට කතා කරන්න එපා කියල වක්‍රව හෝ සෘජුව කියල තියෙන දේවල් ගැන කතා කරන එක. ඇය දැන් ජීවත් වෙන්නෙ පුරුෂ මූලික සමාජයක නොවුණත්, ඇගේ මවුපියො කැනඩාවට ආවේ එහෙම සමාජයක ඉඳලා. ඒ නිසා මේ විදියෙ කවි ලියන එක ඈට වත්, ඒවා පිළිගන්න එක ඇගේ පවුලේ අයට වත් ලේසි වෙන්න නැතුව ඇති. ඔසප් වීම, ලිංගිකත්වය, ගැබ් ගැනීම, ගබ්සාව, ස්ත්‍රී දූෂණය, කලළයේ සිට මැහැළි විය දක්වා ඉන්දීය සමාජය තුළ කොන් වෙන ගැහැනු බව, තම සිරුර පිළිබඳ ගැහැනු ළමුන් තුළ නිරතුරුව හටගන්නා සෘනාත්මක ප්‍රතිරූප, පියවරුන් සහ දියණිවරුන් අතර ඇති (නැති ) සබඳතා, ලිංගික අපහරණය වැනි තහනම් වැයික්කි ගණනාවක් ගැන රූපි නිදහස්ව ලියනවා. මේ මාතෘකා සියල්ලටම එකිනෙකට වෙනස් වර්ණ දෙන්න පුළුවන් නම් ඉතා අඳුරු පැහැ කවි වල ඉඳලා පැහැයෙ දීප්තියෙන් ඇස් නිලංකාර වෙන කවි ඇගේ පොත්වල තියනවා. සමහර කවි කියෙව්වාම ඔලුවට පොලු පාරක් වැදුනා වගේ ගතියක් එනවා. ඒ කවි වල අන්තර්ගතයන්හි අඩංගු චණ්ඩ බව, දරුණු බව, රූපි ව්‍යංගාර්ථයෙන් කියන්න හිතන්නෙවත් නෑ. අමුවෙන්ම කියලා දානවා. ඈට කියන්න ඕනි දේ කියන්න වෙන වටරවුම් විදියක් සුදුසු නෑ, මේ තමයි සුදුසුම විදිය කියලා හිතවනවා.
මේ කවි පොත් දැනට භාෂා 42 කට පරිවර්තනය වෙලා තියනවා. මේ තරම් බර කවි රූපි ලියලා තියෙන අති සරල ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට හරවන්න පුළුවන් වෙයිද කියා හිතෙනවා. ඇත්තටම සමහර සියුම් හැඟීම් විස්තර කරන්න සෑම භාෂාවක්ම එක වගේ වචන වලින් ආඩ්‍ය නැහැ. විවිධාකාර සමාජ, සංස්කෘතීන් අතර හැදී වැඩෙන අය තම පරිසර වලින් විඳින්නට ඉගෙනගන්නා හැඟීම් වෙනස් හන්දා වෙන්න ඇති එහෙම වචන වල අඩුවක් සමහර විට තේරෙන්නේ.
මේ කවි පිරිමින්ව අකාරුණික ලෙස විනිශ්චය කරන ඒවා නෙවෙයි. අවුරුදු 21 ක කෙල්ලක් ලියූ මේ කවිය බලන්න.
“තාත්තේ, ඔයා හැම තිස්සෙම කෝල් කරන්නෙ විශේෂ දෙයක් කියන්න නෙමෙයි. ඔයා අහනවා මං මොනවද කරන්නෙ කොහෙද ඉන්නෙ කියලා. ඉතින් නිහැඬියාව ජීවිත කාලයක් තරමට අපි අතර දිග ඇදෙද්දි කතාව දිගට ගෙනියගන්න ප්‍රශ්න හොයන්න මං දඟලනවා. මට කියා ගන්නම ඕනි දේ තමයි. මට තේරෙනවා මේ ලෝකෙ ඔයාව කඩාබිඳ දාපු බව. ඔය කකුල් දෙකට හුඟක් අමාරු වෙච්චි බව. මම ඔයාට දොස් කියන්නෑ මට මෘදුව සලකන්න ඔයා දන්නෙ නැති එකට. සමහර වෙලාවට මම නිදි නැතුව කල්පනා කරනවා ඔයාගෙ ඇතුලෙ රිදෙන තැන් කොච්චර ඇතිද කියලා ඔයා කිව්වෙ නැතුවට. මාත් ඉපදිලා තියෙන්නෙ ඒ කකියන ලේ වලින් ඒ අසරණව සැලකිල්ලක් ඉල්ලා අයදින මං ඇතුළට කඩා වැටෙන කොට මාව අල්ලන් ඉන්න ඇටකටු වලින්. මම ඔයාගෙ දුව. මම දන්නවා මේ වල්පල් විතරයි මට ආදරෙයි කියලා කියන්න ඔයා දන්න එකම විදිහ. මාත් දන්න එකම විදිහ එච්චරයි.”
පරිවර්තන උත්සාහයක් සාර්ථක වුනොත්, රූපි කෝර්ගෙ කවි පොත් සියලු තරුණ තරුණියන්ට, අම්මලා තාත්තලාට, ගුරුවර ගුරුවරියන්ට කියවිය යුතු පොත් ලෙස නිර්දේශ කරන්න වටිනවා.
මේ පොත් වල තියෙන දේවල් දැන් අපේ සමාජයට අදාළ නෑ කියල කාට හරි හිතෙනව නම් කරන්න තියෙන්නෙ සුළු දෙයයි. බස් වල කෝච්චි වල හිරවෙලා ඉගෙන ගන්න හෝ රස්සාවට යන ගෑනු ළමයෙක්ට, දරුවෙක් ලැබෙන්න යාම හෝ දරුවට මව්කිරි දීම වැඩපළේ බොස් ඉස්සරහ වැරැද්දක් හැටියට බාරගන්න සිද්ධ වෙච්ච අම්මෙක්ට, සියලුම ආශාවන් දරුවන් හන්දා කැප කරලා, ඊට පස්සෙ මුණුපුරන් වත් හදන්න වෙන ආච්චියෙක්ට මේ පොත් පෙන්නලා මේවා ඔයාලට අදාළ ද කියලා අහන එක.