පරාක්‍රම ද සිල්වා

Parakrama de Silva

ඒ එහාටත් මෙහාටත්නැති කාලයකි. පාසල් දිවිය හමාරකොට සරසවියට පිවිසෙන්නට පෙරුම් පුරමින් සිටි කාලයයි. පත්තරේ  කුඩා අකුරු ඇති දැන්වීමක් කරා මගේ සිත යොමු වුණේ ඒ සමයේ අහුවෙන සියල්ලම කියවන නිසාය. එයින් කියැවුණේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා  චිත්‍රපට පාඨමාලාවක් පවත්වන බවයි. ඒ වන විට “ හෙවණැලි ඇද මිනිස්සු” චිත්‍රපටිය අධ්‍යක්ෂණය කොට සිනමා භාවිතය පිළිබඳව නව දැක්මකින් යුතුව අදහස් පළකරමින්  සිටි පරාක්‍රම මගේ ලෝකයේ වීරයෙක් විය .මේ වීරයාගේ සෙවණේ සිනමා මාධ්‍යයට අත්පොත් තබන්නට ලැබෙන වරම අදහාගත නොහැකි තරම් භාග්‍යයක් විය. වඩාත්ම වැදගත් වූයේ මෙය මා වෙසෙන මහනුවර නගරයේ  නොමිලේ කෙරෙන පාඨමාලාවක් වීම ය.

1980  දශකයේ මුල් භාගයේ එක්තරා දවසක එළු රැවුලක් සහිත  හීන්දෑරී මිනිසෙක් සෙමින් වචන ගලපමින් මහනුවර රජයේ සේවකයින්ගේ සමාජ ශාලාවේ   පැවැත්වූ ඒ අපූරු පාඨමාලාවට මම ද එක්වීමි. මූලික කැමරා කෝණයේ පටන් ආලෝකකරණය හරහා චිත්‍රපටයකට හඬ  කවන ආකාරයේ සිට අධ්‍යක්ෂණය දක්වා වූ සියලු දේ ගුරු මුෂ්ටියෙන් තොර ව පරාක්‍රම අපට බෙදා දුන්නේය. කොළඹ සිට පැමිණි අය පවා අගුපිල්වල  නවාතැන් ගනිමින් මේ පාඨමාලාවට සහභාගී වූහ. ඔවුන් අතරේ පසු කලෙක සිළුමිණ පුවත්පතේ කතුවරයා වූ සුජීව දිසානායක ද විය. සති තුනක් පමණ ගිය තැන තිස්ස අබේසේකරයන් පාඨමාලාව හැදෑරූ අපට  හමාර දෙසුම පැවැත්විය.

පරාක්‍රම අවංකව විශ්වාස කළ යමක් විය. ඔහුගේ වචන වලට අනුව පාතාල සිනමාවක්  බිහිවිය යුතුව ඇත. පාතාල සිනමාව යනුවෙන් ඔහු අදහස් කළේ යටි බිම්ගත ධාරාවයි. හැම නගරයකම සිනමාව ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන්   එක්කර ගනිමින් නව ප්‍රේක්ෂක සමූහයක් ගොඩනඟා ගැනීම පරාක්‍රමගේ උත්සාහය විය. ඒ සඳහා ඔහු අප්‍රමාණ ලෙස කැප වූයේය.

පසු කලෙක මා විවාහ වූ දවසේ පරාක්‍රම අපේ ඡායාරූප ගන්නට පැමිණි බව මතකය. තවත් විටෙක පරාක්‍රම ගේ උපදෙස් සහිතව  හිතවත් ප්‍රියන්ත මුදන්නායක හා එක්ව නල ළිං භාවිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළෙමු. රත්නපුරේ කුරුවිට  විසූ පරාක්‍රම ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම ගේ සමීප හිතවතෙක් විය. මුත්තෙට්ටුවගම ගේ හදිසි වියෝවෙන් අනතුරුව  ඔහු පිළිබඳව පරාක්‍රම නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය කතා පෙළක් තුළින් අපූර්වත්වය හා ගැඹුර ඉස්මතු කර ගන්නේ කෙසේදැයි අපට පෙන්වා දුන්නේය

පරාක්‍රම  ජයවර්ධනපුර රෝහලේ   හදවත් සැත්කමක් අවසානයේ  මෙලොවින් සමුගන්නා තෙක්ම නිර්මාණකරණයේ යෙදීමට උත්සාහ කළේය. “හෙවණැලි ඇද මිනිස්සු” සහ “ බිත්ති හතර” වෘත්තාන්ත චිත්‍රපට  සහ “භග්නාශා” සහ “එළිය” යන කෙටි චිත්‍රපට නිර්මාණය කළ පරාක්‍රම රූපය තුළින් සිනමාව දුටු නිර්මාණකරුවෙක් විය. ඔහු තම ගේ දොර වත්ත සිනමාව  වෙනුවෙන් සින්න වෙන්න හැරිය නිර්මාණකරුවෙකි. පරාක්‍රම හුදු සුන්දර මිනිසෙක් වූවා පමණක් නොව තමන්ගේ මාධ්‍ය වෙනුවෙන් අපමණ කැපවීමක් කළ නිර්මාණවේදියෙකු විය.

ඔහු මුරණ්ඩු   සහ හිතුවක්කාර නිර්මාණවේදියෙකු  යැයි හඳුන්වා දිය හැකිය. එහෙත් සියුම් නිර්මාණ  බිහිවන්නේ අප්‍රමාණ කලකිරීම සහ අනවරත අරගල කිරීම හේතුවෙන් බව පරාක්‍රමගේ දිවිය අපට කියා දෙයි. නිර්මාණකරණයේ යෙදීම සඳහා ඇති ආශාව සාක්ෂාත් කර ගැනීම සඳහා පරාක්‍රම තරම් දුක් විඳි  වෙනත් කලාකරුවෙකු ගැන නොදනිමි.

One Response

  1. පරාක්‍රම ගේ දොර උගසට තබා නිමැවූ ටෙලි නාට්‍යයක මදාවියෙකුගේ චරිතයක බෙල්ලේ කුරුසියක් එල්ලා තිබූ නිසා රූපවාහිනිය ප්‍රතික්ෂේප කළා නේද ? ඔහුගේ නිර්මාණ දිවිය එයින්ම විනාශයට පත් වූ බවයි මගේ මතකය.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත