Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

වෙඩි පුහුණුවෙන් කැලෑ පුහුණුවට

අප ඉතා ඉක්මනින්ම හමුදාවකරණයට ලක් වෙමින් සිටියා. මා ඉන් අදහස් කරන්නේ හමුදාවේ නීති රීති රෙගුලාසි සහ සම්ප්‍රදායයන් අප ග්‍රහණය කර ගනිමින් සිටි බවයි. නාවික හමුදා නිලධාරීන් ලෙස ඉදිරි ගමනක් යන්නට එය අත්‍යවශ්‍ය සාධකයක් වුණා. එසේම නාවික හමුදාවේ දෛනික වැඩපිළිවෙළට අප අනුගත වීම ඉතා ඉක්මනින් සිදුවුණා. උදේ පාන්දරින් අවදිවී, පීටී ඇඳුම් ඇඳගෙන, කිරි කොකුන් සේ නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨ බිම පිහිටි ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගනයේ (Naval Dockyard) උදෑසන ව්‍යායාම් කළ අප නැවත අපගේ නවාතැනට පැමිණ උදෑසන ආහාරය ගෙන නිල් ඇඳුමින් සැරසී බූට් දමාගෙන ආමරියට ගොස් රයිෆල් අතට ගෙන ඉතා ඉක්මනින් පෙරඩ් ග්‍රවුන්ඩ් එකට දිව ගියේ උදෑසන අටට පෙළගැසීම (muster වීම) සඳහායි.

පැයක හමාරක පෙරේඩ් ට්‍රේනින් අවසානයේ විවිධ පාසල්වල දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පිටත්ව ගියා. දහවල් කෑම විවේකයේ දී පැය බාගයක කෙටි කුකුළු නින්දක් දැම්මේ ඒ ඇඳුම් පිටින්මයි. නැවතත් පෙරසේම දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. සවස 5 වන විට නැවත පීටී ඇඳුමෙන් ක්‍රීඩා පිටියටත්, ජිම් එකටත් යන්නට සිදු වුණා. ආපසු නිවස්නයට ආවේ රෑ බෝ වන විටයි. රෑ 7 වන විට සුදු ඇඳුමින් සැරසී ward room එකට ගියේ රාත්‍රී ආහාරය ගැනිමටයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මධු පානය කරමින් රාත්‍රී ආහාරය ගනිද්දී අපි අමුවෙන් ම රෑ කෑම ගත්තා. පුහුණු කාලයෙන් පසුව ඒ වරම් අපටත් හිමිවන බව අප දැන සිටියා.

විද්‍යාපීඨ දේශන සහ ප්‍රායෝගික පුහුණුවට අමතරව වෙඩි පුහුණුව සහ කැලෑ පුහුණුව අපට නියමිත වුණා. එසේම මාස තුනකට පසු කෙටි මුහුදු පුහුණුවක් සඳහා විවිධ නැව් හා යාත්‍රා වලට අනුයුක්ත කරනු ලබන බවද අප දැන සිටියා. වෙඩි පුහුණු සිදු කළේ නාවික තටාකාංගනය ඈත කෙළවරක කැලෑව මැද පිහිටි වෙඩි පිටියේදී. ඒ සඳහා යන හැම වාරයකදීම වාගේ අප සමග පුහුණු වන කාන්තා නැවියන්ද රැගෙන යනු ලැබුවා. එය එක්තරා ආකාරයකට ලැජ්ජාවකට කරුණක් වුණා සේම තවත් ආකාරයට කිසියම් ප්‍රමෝදයකටද හේතු වුණා. ලැජ්ජාවට කරුණක් වුණේ කිසියම් වරදක් සිදු වූ විට තිත්ත කුණුහරුපෙන් බැනුම් ඇසීමට මෙන්ම දඬුවම් විඳීමට විඳීමටද සිදුවීමයි. පිරිමි පාර්ශවය පමණක් සිටින හමුදාවක මුළු දවසම ගත කොට හෙම්බත්ව සිටි අපට අපේම වයසේ, නැතහොත් ඊටත් වඩා බාල වයසේ තරුණියන් සමග කාලය ගත කරන්නට ලැබීම ප්‍රමෝදජනක අත්දැකීමක් වුණා. ඒ අවස්ථාවලදී මට ලංකා සමග නැවත කතාබහ කරන්නට ඉඩකඩ සැලසුණා.

ඉලක්කයට වෙඩි තැබීමේ දී මා තුළ කිසියම් සහජ හැකියාවක් තිබුණා කියා මා සිතනවා. පසුකාලීනව සමස්ත ලංකා වෙඩි තරඟ සඳහා මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා විය යුතුයි. AK 47 රයිෆලයෙන් මෙන්ම ටී 56 ස්වයංක්‍රීය තුවක්කුවෙන් වෙඩි තැබීමට අමතරව ග්‍රෙනේඩ් එකක පින් එක ගලවා ප්‍රහාර එල්ල කිරීමත් අපට පුහුණු කරනු ලැබුවා. එය එක්තරා අතකට අවදානම් සහගත පුහුණුවක්. ග්‍රෙනේඩ් එකක පින් එක ගලවා ඈතට විසිකරනවා යනු ඉතා ක්ෂණයකින්, ක්‍රමවත්ව සිදු කළ යුතු කාර්යයක්. සිදුවන පමාවකින් එතැනම විශාල පිපිරීමක් සිදු වී ජීවිත හානි සිදුවන්නට ඉඩ තිබුණා. මේ සඳහා අපගේ පුහුණුවට පැමිණි සිටියේ ආයුධ පරිහරණය පිළිබඳ මැනවින් දක්ෂතා පෙන් වූ උපදේශකයින්. සුළු වැරදීම් වලදී පවා අමු තිත්ත කුණුහරුපයෙන් බැණුම් අසන්නට සිදුවූයේත්, ශාරීරික දඬුවම් විඳින්නට සිදුවූයේත් ඒ අවදානම නිසාම යැයි මා සිතනවා. පසුකාලීනව මා භාරයේ සිටි පුහුණු වන නාවික හමුදා සෙබළුන් වෙඩි පිටියට රැගෙන ගිය විට මටත් එසේම හැසිරෙන්නට සිදුවුණා. ඒ කතා පසුවට.

අපිට කැලෑ පුහුණුව ලබා දුන්නේ වට දෙකකින්. පළමුවැන්න එක් දින කැලෑ පුහුණුවක්. දෙවැන්න මහ කැලෑබදව රාත්‍රිය ගත කිරීමේ සැසියක්. මේ සඳහා මූලිකත්වය ගත්තේ නාවික හමුදාවේ සිටි ප්‍රබල ප්‍රහාරකයෙකු වූ ලුතිනන් කමාන්ඩර් බහා(ර්). අපගේ අංශ භාර නිලධාරියා වූ ලුතිනන් කොමාන්ඩර් අබේසේනත් මේ සඳහා එක්වුණා. ලුතිනන් කමාන්ඩර් ශාන්ති බහා(ර්) යනු නාවික හමුදාවේ Special Boat Squadron හි ආරම්භක නියමුවායි.

ඉන් වසර කිහිපයකට පසු ඔහු ත්‍රිකුණාමලයේ දී සිදු වූ ක්‍රියාන්විතයක දී ග්‍රෙනේඩය පපුතුරේ පුපුරායාමෙන් මරුමුවට පත් වුණා. ඉන්පසුව කොමාන්ඩර් තනතුරට උසස් කරනු ලැබුවා. 

අපිට පළමු පුහුණුව සඳහා යන්නට සිදු වූයේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නුදුරේ පිහිටි කැලෑ දූපතකටයි. දවසක් කැලේ ගත කරන්නට සිදුවන හෙයින් අවශ්‍ය වතුර සහ කෑම අප රැගෙන ගියා. අපිට ලැබුණේ වතුර බෝතලයක් සහ බිස්කට් පැකට් එකක් පමණයි. කැලෑ හමුදා ක්‍රියාන්විතයකට අවශ්‍ය හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවියක් කරේ එල්ලා ගෙන තටාකාංගනයේ ජැටියකින් අපි බෝට්ටු වලට නැංගා. කණ්ඩායම් කිහිපයක් ලෙස බෝට්ටු කිහිපයකින් රැගෙන ගිය අපව එම කැලෑ දූපත අද්දර නොගැඹුරු මුහුදේ තැන් තැන් වල අත හරිනු ලැබුවා. මාලිමා යන්ත්‍රය මගින් නිශ්චිත ස්ථානයක් සොයාගෙන පැමිණීම අපගේ ඉලක්කය වුණා. පැය ගණනාවකට පසු අප කුඩා කණ්ඩායම්හි එකිනෙකා නිශ්චිත කදුවැටිය වෙතට පැමිණෙන විට ලුතිනන් කොමාන්ඩර්වරුන් වූ බහාර් සහ අබේසේන සමඟ රූපසිංහත් කෙටි මගකින් එතැනට ළඟා වී සිටියා. (ලුතිනන් කොමාණ්ඩර් රූපසිංහ හා අප සමඟ පුහුණු වූ කණ්ඩායමේ සිටි ස්වේච්ඡා නාවික හමුදාවේ උපලුතිනන් රංජිත් පසුකලෙක කොටි ප්‍රහාරයකින් යාත්‍රාවක් මුහුදුබත් වීමේදී මුහුදේ ගිලී මිය ගියා.- ඒ වේදනාකාරී අත්දැකීම් පසුවට.)

අපගේ දෙවන කැලෑ පුහුණුව යෙදී තිබුණේ ත්‍රිකුණාමලය – හබරණ පාරේ තඹලගමුවෙන් හැරී උතුරට ගිය විට හමුවන කැලෑවකයි. ඒ කාලයේ අවට තදාසන්න කැලෑ වල කොටි ක්‍රියාකාරකම් මෙන්ම හමුදා ක්‍රියාන්විත සිදුවෙමින් පැවතියා. උදේ පාන්දරින් නාවික හමුදා ට්‍රක්වලට පටවා ගත් අප තඹලගමුව පාරේදි කැලෑවට අතහැරියා. තවත් ට්‍රක් රථයකින් පුහුණු වන කාන්තා සෙබළියන්ද ගෙනැවිත් අත හරිනු ලැබූ බව අප දැන ගත්තේ මඳ වේලාවකට පසුවයි. කණ්ඩායම් දෙකටම එදා රාත්‍රියේ එක අසල කඳවුරු ගසාගෙන රැය ගත කරන්නට සිදුවන බව අප අප දැන සිටියේ නැහැ. කෙල්ලෝ ටිකත් ඒ බව දැන සිටින්නට නැතුව ඇති.

මෙවර වතුර සහ ආහාර තරමක් වැඩියෙන් ගෙන එන්නට අපට අවසර තිබුණා. සමහරුන්ගේ වතුර බෝතල් ඇතුලේ කොකකෝලා තිබුණු අතර ඒ කොකකෝලාවලට සැර මත්පැන් ද මිශ්‍ර වී තිබුණා.

සෙස්ස පස්සට…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත