මුහුදු පුහුණුවේ සතියක් හමාරක් ගත වෙද්දී මා කෙමෙන් කෙමෙන් මුහුදු ජීවිතයට හුරු වෙන්න පටන් ගත්තා. එය ඒකාකාරී ජීවන රටාවක් වුවත් අහම්බෙන් සිදු වෙන සුළු සිදුවීම් ජීවිතයට අත්දැකීම් එකතු කළා. සමහර අත්දැකීම් නම් පුහුණුවන කාලයේ පමණක් ලැබෙන ඒවායි.
වැඩමුර ක්‍රමයට හුරු කිරීම සඳහා මා ද ඊට ඇතුළත් කරනු ලැබුවා. විවිධ ඉංජිනේරු උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ගැනත්, ඒවාගේ ක්‍රියාකාරිත්වය ගැනත් න්‍යායාත්මක මෙන්ම උපාධි පාඨමාලාව අතරතුර ලැබූ කෙටි කාලීන පුහුණුවීම් වලදී ලද දැනුම හා පුහුණුව පිළිබඳ ආත්මාභිමානය නැවේ එන්ජින් කාමරයට ඇතුළු වූ වහාම අහෝසි වී ගියා.
එන්ජින් කාමරය (Engine Room) පිහිටා තියෙන්නේ නැවේ පහළම මාලයේ සිට ඉහළටයි. ඊට හේතුව නැව ඉදිරියට ගමන් කිරීම සඳහා බලය යොදන ප්‍රොපෙලරය (Propeller) [මෙය අවරපෙත්ත නැතහොත් ප්‍රචාලකය ලෙසද හැඳින්වෙනවා.] කෙලින්ම සම්බන්ධ වන්නේ ප්‍රධාන එන්ජිම හෝ එන්ජින් වලටයි.

පැය 4 ක වැඩ මුරය අවසානයේ පැය 8ක් නිදහස් වුණා. එන්ජින් කාමරයේ වැඩමුර සකසා තිබුණේ පැය 4 න 4 ට මාරු වෙන විදිහටයි. ඊට හේතුව ඊටත් වඩා කාලයක් එකදිගට එවන් කුටියක සිරවී සිටීම නුසුදුසු නිසයි. එන්ජින් කාමරයෙන් නිදහස් වූවාට තවත් වැඩ මුර දෙකක් පාලක මැදිරියේ හෝ වෙනත් පුහුණු වීමේ කටයුතු වලට යොදනු ලැබුවා.
පාලක මැදිරිය හා එන්ජින් කාමරය අතර නිරන්තර සම්බන්ධීකරණයක් තිබිය යුතු වුණා වගේම එය ඉතා තීරණාත්මක වුණා. නැවේ කපිතාන්වරයා දෙන නියෝග අනුව නැවේ වේගය පාලනය කිරීම, නැව හැරවීම පාලනය කිරීම යනාදී එන්ජින් කාමරය මගින් සිදු කළ යුතු ක්‍රියාකාරකම් පාලක මැදිරියේ සිට මෙහෙයවනු ලැබුවා.
සුක්කානම කරකැවීම, වේග පාලනය, රේඩාර් යන්ත්‍රය කියවීම වැනි පාලක මැදිරියේ කටයුතු වලටද මා සම්බන්ධ කරගනු ලැබුවා. රේඩාර් යන්ත්‍රයක් මා හැබැහින් අත්දුටුවේ පළමු වරටයි.
Super Structure හි ඉහළින් සවිකොට තිබූ Scanner එකෙන් නැව වටා කිලෝ මීටර් ගණනාවක් ඈතට මුහුද මතුපිට නිරීක්ෂණය කළ හැකි වුණා. රේඩාර් යන්ත්‍රයේ පෙනෙන ඉතා කුඩා තිතක් කිසියම් ගල් පරයක්ද, වෙනත් object එකක්ද, නිශ්චල බෝට්ටුවක් හෝ නැවක්ද, චලනය වන මාළු බෝට්ටුවක්, වල්ලමක්, නාවික බෝට්ටුවක්, නැවක් වැනි කවරාකාරයේ වස්තුවක්ද යන්න නිශ්චය කර ගැනීම පළපුරුද්දෙන්ම කළ යුතු වුණා.
එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get ready to go to the Sea” යනුවෙන් මට මුහුදට යන්නට සුදානම් වන්නැයි නියෝග කළා.
එවිට වෙලාව රාත්‍රී 10ට පමණ වුණා. මට කිසිවක් සිතා ගත නොහැකි වුණා. කොමාන්ඩර් රසී(Z)ක් පවසා සිටියේ අප ඒ වන විට නැංගුරම් ලා සිටි උතුරු මුහුදු මාර්ගය ආශ්‍රිතව ඉන්දියාවේ සිට හොර බඩු ගෙන ඒම සේම කොටි ත්‍රස්තවාදීන් ආයුධ ප්‍රවාහනය සිදු කරන නිසා කූගර් (Cougher) බෝට්ටුවේ නැගී රෙකී (Reccy) සංචාරයක් යන ලෙසයි.
හිස සිට දෙපා දක්වා නියමිත ඇඳුමින් සැරසුණු මට T 56 රයිෆලයක්ද, වෝකි ටෝකියක්ද, බොඩි ආර්මර්ද අවි ගබඩාවෙන් නිකුත් කරනු ලැබුවා. මේ නුහුරු අත්දැකීම ලබන්නට මා පිටත් වූයේ ප්‍රධාන සුළු නිලධාරියා (Chief Petty Officer) හා තවත් නාවික සෙබළෙකු සමඟයි.
ප්‍රධාන සුළු නිලධාරියා මට උපදෙස් දුන්නේ අපට කූගර් බෝට්ටුවෙන් ගොස් ඩ්‍රිෆ්ට් (drift) වෙමින් නැතහොත් එන්ජිම නවතා පාවෙමින් සිටින්නට සිදු වන බවයි. දුම්වැටියක් හෝ දල්වන්නට අපට අවසර තිබුණේ නැහැ. ඊට හේතුව ප්‍රතිවාදියා අප සිටින බව තේරුම් ගන්නට එය හේතුවක් වීමයි.
අප විටින් විට flare (ආලෝක ධාරා) අහසට යැව්වේ ආසන්නයේ රහසිගත යාත්‍රා වෙත්නම් දැක ගන්නට හැකි වන ආකාරයටයි.
මෙසේ දින කිහිපයක් මධ්‍යම රාත්‍රියේ ගැඹුරු මුහුදේ ක්‍රියාන්විතයක යෙදී සිටින අතරතුර ගුවන් විදුලි සංඥා මගින් අපගේ යාත්‍රාව ඇමතූ “එඩිතර” නෞකාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් රසී(z)ක් රේඩාර් යන්ත්‍රයෙන් කිසියම් චලනයක් නිරීක්ෂණය වන බව පවසා අපට එන්ජිම පණ ගන්වාගෙන යා යුතු දිශාවන් සන්නිවේදනය කළා.
තරමක වේගයකින් ඇදෙන යාත්‍රාවක සංඥාවක් තමන්ට පෙනෙන බවත් එය ත්‍රස්තවාදීන් අවි ප්‍රවාහනය කරන බෝට්ටුවක් වීමට ඉඩ ඇති බවත් පැවසූ හෙතෙම සියලු ආරක්ෂාකාරී පියවර ගෙන අවශ්‍ය වුවහොත් ප්‍රහාරයට සූදානම් වෙමින් එම යාත්‍රාව පරීක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස දන්වා සිටියා.
ඒ සමඟම Night Vision Binocular (රාත්‍රී අඳුර මැදින් අවට නිරීක්ෂණය කළ හැකි දුරදක්නා විශේෂයකි.) එකෙන් අවට නිරීක්ෂණය කරමින් සිටි නාවික සෙබළා පැවසුවේ අපට උතුරින් කිසියම් යාත්‍රාවක් ගමන් කරනු තමන්ට පෙනෙන බවයි.
අප අපගේ මැෂින් තුවක්කු ලෝඩ් කර ගත්තා. පැළඳ සිටි බොඩි ආමර් (වෙඩි නොවදින කබා) සකස් කර ගත්තා. මෙය බලාපොරොත්තු නොවූ නිමේෂයක ජීවිතයට සමුදෙන්නට සිදු වන අවස්ථාවක් විය හැකි බවට සංඥාවක් මොහොතකට මගේ සිතේ විදුලියක් සේ ඇදී ගියා.
-සෙස්ස පස්සට-


One Response
ඉතිරියත් ඉක්මනින් ලියන්න….
Comments are closed.