සංස්කෘතිමය සලකුණට එකතුවු එකොළොස්වැනියා

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

සර් විලියම් ග්‍රෙගරි 1877 වසරේ ලංකා ඉතිහාසයට කෞතුකාගාර නම් වූ මහා සංස්කෘතිමය ලකුණ තීරණය කළා. රටක සංස්කෘතිකමය වත් පොහොසත්කම් එකම බිමක දැකිය හැකි මුඛ්‍ය සලකුණ කෞතුකාගාර වනවිට ලෝකයේ එකම කෞතුකාගාර දෙපාර්තමේන්තුව වන ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ මෙතෙක් පැවති කෞතුකාගාර දහයට තවත් දරුවකු එකතු වීම ඉලක්කම් එකොළහක ගණනයකට එහා ගිය විප්ලවීය කාර්යයක්.

කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකයේ සිට පුලතිසිපුරට දායාද කරනු ලබන එකොළොස්වන ජාතික කෞතුකාගාරය ලංකා භූමියට තවත් එක් කෞතුකාගාරයක් පමණක් නොව, විප්ලවීය සන්ධිස්ථානයකුත් වෙනවා.

ලංකාවේ ප්‍රථම පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පොළොන්නරුව නව නගරයේ තමන්කඩුව ප්‍රාදේශීය සභාවට අයත් සීමාව තුළ ස්ථානගතව ඇත. මෙම විප්ලවීය කෞතුකාගාර ගොඩනැගිල්ලේ සැකිල්ල හා සැලසුමට මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය උර දැරූ අතර කෞතුකාගාර දෙපාර්තමේන්තුව කෞතුකාගාරයක් වශයෙන් ඊට ඇවැසි මස් ලේ සහිත ප්‍රාණය පොවනු ලැබුවා. මෙතෙක් ලංකාවේ දක්නට හැකි වූ සියලු කෞතුකාගාරයන්හි ස්වරූපයට හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක්, දැනුම් ගංගාවක් පිරිනමන ලංකාවේ දෙවෙනියට පරිමාණයෙන් විශාලවන හා පළමු පුරාණ තාක්ෂණික කෞතුකාගාරය වන මෙය නව ලෝකය විසින් අතීතය කරා යවනු ලබන සජීව චිත්‍රපටයක් බඳුයි. 

පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පුරාණ තාක්ෂණික මැදිරි හතකින් යුක්තවන අතර, එහි පළමු මැදිරියෙන් පොළොන්නරුවේ ඉතිහාසය ද දෙවන මැදිරියෙන් ප්‍රාග් හා පූර්ව එ‌ෙතිහාසික තාක්ෂණයන් ද තෙවන මැදිරියෙන් මැටි හා වාත්තු තාක්ෂණය ද හතරවන මැදිරියෙන් වාරි හා කෘෂි තාක්ෂණය ද ගොඩනැගිලි තාක්ෂණය පස්වන මැදිරියෙන් ද හයවන මැදිරියෙන් සිතුවම් මූර්ති හා දැව තාක්ෂණයන් ද සමන්විත වන අතර හත්වැන්න රෙදිපිළි නාවුක හා ගණිත මිනිත තාක්ෂණ ආදී මැදිරිවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මැදිරියකිනුත් සමන්විතයි. එහිදී වළං නිර්මාණය කරන්නට ප්‍රායෝගික අවස්ථාවක් හිමිවන අතර, ගල් ආයුධ සහ පබලු ආභරණ නිර්මාණයට ද අවස්ථාව හිමිවනු ඇති.

නව්‍යකරණ මැදිරිය තුළින් ත්‍රිමාණ රූප රැගත් සීගිරි ජේතවන ආදී පෞරාණික ස්ථාන නිරූපණය කරන අතර විදේශීය කෞතුකාගාරවල මෙන්ම මෙම පුරාවිද්‍යා ස්ථානවල සජීවීව හිඳ ඡායාරූප ගත හැකි අයුරින් තාක්ෂණික පහසුකම් එක්කොට ඇත. ඒ් සියලු පහසුකම්වලින් සුසැදි ශ්‍රවණාගාරයක්, ග්‍රන්ථ ප්‍රකාශන අලෙවිහලක් හා සිහිවටන භාණ්ඩ අලෙවි හලක් ද මෙහි දැකගත හැකි වේ. එහි විකිණීමට ඇති සිහිවටන භාණ්ඩ සුවිශේෂී වන්නේ ඒ් සියල්ල තල්පත් වලින් නිම වූ සිහිවටන වීමයි. ලංකාවේ ප්‍රථම, පුරාණ තාක්ෂණ කෞතුකාගාර පදවියේ ඉහළම කිරුළ දරණ පොළොන්නරු තාක්ෂණ කෞතුකාගරය සතු පුස්තකාලය කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දිගුවක් වනවා පමණක් නොව, බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයට ද නෑදෑකමක් එක් කරනු ඇත. කොළඹ ජාතික කෞතුකාගාරයට වඩා පොළොන්නරු පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පුස්තකාලයෙහි සුවිශේෂීත්වය නම් එහි පොත් බැහැර දීමේ අංශයක් ද ක්‍රියාත්මක වීමයි.

කෞතුකාගාර හාස්කම් තව තවත් දිදුලවමින් ලංකාවේ ප්‍රථම ඉටි රූ කෞතුකාගාරය ද පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ ඉදිවනු ඇති. මහල් හතරකින් යුත් කෞතුකාගාරයෙහි ඉහළම මාලය පොළොන්නරු එ‌ෙතිහාසික නගරය නැරඹිය හැකි නිදහස් වටපිටාවක් දැකගැනීමට සොඳුරු අත්දැකීමක් තිළිණ කරමින් ඉදිව ඇත.

මෙම ජාතික හා එ‌ෙතිහාසික කාර්යභාරයේ ප්‍රබලතම වගකීම ඔසවනු ලබන කෞතුකාගාර පවුලේ ප්‍රධානියා වන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය විසින් පවසන පරිදි “සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා 1877 වර්ෂයේ දී ලංකාවේ ප්‍රථමවරට කෞතුකාගරයක් සඳහා වූ විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකරලා කෞතුකාගාරය ආරම්භ කළා. එයින් අවුරුදු 142 කට පස්සේ පො‌ළොන්නරුවේ ඉදිවන පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සුවිශේෂීවන එක හේතුවක් තමයි විශේෂ තේමාවක් පෙරදැරි කරගෙන ඒ වෙනුවෙන්ම ඉදිවන ගොඩනැගිල්ලක් තනවා තිබීම. ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය හැදෑරීමට ඇති එකම කෞතුකාගාරය මෙය ‌වෙනවා. පෞරාණික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම, වගේම පුරාණ තාක්ෂණය හැසිරවීම පිළිබඳ දැනුවත් වීම සඳහා ඇති එකම කෞතුකාගරයත් මෙයයි. උදාහරණයක් විදියට ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහත්තයා මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ කියන රෙදිපිළි වියන යන්ත්‍රය අපි මේ කෞතුකාගාරයේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ ලංකාවේ ඉතුරුවෙලා තිබුණ ඒ වර්ගයේ එකම රෙදිපිළි විවීමේ යන්ත්‍රය. ඊට අමතරව ජීවමාන විදියට ඉන්න මිනිස් අනුරූ වලින් යුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පෙන්වා තිබෙනවා. මේ කෞතුකාගාරය සැබවින්ම ලංකාවේ කෞතුකාගර පද්ධතියේ නවමු සන්ධිස්ථානයක් වනවා.”

පුස්තකාලය තුළ ඇති ඩිජිටල් තාක්ෂණයේ මෙහෙයෙන් ශිලා ලිපි කියවීම හා පුවත්පත් කියවීම ද සිදු කළ හැකි අතර මෙහි පැමිණෙන සංචාරකයන්ට මෙම කෞතුකාගාරය මෙන්ම ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතු අනෙකුත් කෞතුකාගාර පිළිබඳ දැනුවත්වීමට ද පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ මෙන්ම දුම්රිය කාල සටහන පිළිබඳ දැනුවත්වීමට ද හැකියාව ලැබෙන පරිදි නවීන තාක්ෂණය භාවිත කොට තිබෙනවා.

අහසින් වැටෙන එක ජල බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතු යැයි මහා පරාක්‍රමබාහු රජු කීවා සේම අපි මෙසේ පවසමු. පොළොන්නරුව එ‌ෙතිහාසික පුරය නැරඹීමට පැමිණෙන කිසිවෙකුත් පුරාණ තාක්ෂණ කෞතුකාගාරය නැරඹීමෙන් තොරව පිටව නොයේවා. මේ ලක් පොළොවේ ජීවත්වන යමකු වේ නම් අප සතු වූ අති විශිෂ්ට තාක්ෂණයන් දැන සිටීම අත්‍යාවශ්‍ය වීම ඊට හේතුවයි.

ඡායාරූප – මධුරංග ප්‍රසාද් 

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත