නාද සිත්තම් – සිව්වන දිගහැරුම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

නිතර මග තොටේ හැසිරෙන ඔබ කොත්තු කොටන හඩ අසා ඇතිවාට සැකයක් නැහැ. මේ රටේ හතර දිග්බාගයේ කොහේ ගියත් විශේෂයෙන්ම රාත්‍රී කාලයට නම් මේ කොත්තු කොටන කටෝර හඬින් ගැලවීමක් ඇත්තේ නැහැ. කොත්තු රොටියේ ඉතිහාසය පිළිබඳ විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා අප අසා තියෙනවා. හැබැයි අප වරක් දකුණු ඉන්දියාවේ වීදි ආහාර ගැන වාර්තා වැඩසටහනක් පටිගත කරද්දී ඇසූ මේ කතාව කොත්තු රොටි පිළිබඳ  වෙනස්ම කතාවක් අළලා තබන සටහනක්.  

තින්ඩිවනම් ගම පිහිටා තියෙන්නේ තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රිකයේ. ඉන්දියාවේ ප්‍රාන්ත තුනක්, තමිල්නාඩු, කර්නාටක හා අන්ද්රා සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ග තුනක්ම මේ ගම හරහා වැටී තිබෙන නිසා මෙය භූගෝලීය වශයෙන් වැදගත්කමක් තියෙන ගමක්. දකුණු ඉන්දියානු කුල ධූරාවලියේ පහළම ස්ථානයට අයත් පරයා කුලයට අයත් බහුතරයක් වෙසෙන මේ ගම්මු ගොවිතැනින් ජීවත්වෙන අය. මේ හැරැනු විට මොවුන් පරයා නැමැති බෙර විශේෂයක් වන තප්පු වාදනයට උපන් හපන්නු. ජීවිතයේ සියලුම විශේෂ අවස්ථාවලදී මොවුන් තප්පු වාදනය කරනවා. උපත, මඟුල, මරණය ආදී සෑම විශේෂ අවස්ථාවකදීම මොවුන් තප්පු වාදනය කරනවා. මොවුන් සියලු දෙනාගේ ජීවිත තාල වලින් පිරිලා. 

මේ තින්ඩිවනම් ගමේදී තමයි තමිල්නාඩුවේ සිට ලොරිවලින් ගෙන ආ කුකුල් පොහොර තොගය කර්නාටකයේ සිට රැගෙන ආ ගෑස් සිලින්ඩර තොගයට හුවමාරැ කරගන්නේ. මේ ගමේදිම තමයි විජවයාඩා සිට ගෙන ආ සිනමා පෝස්ටර් තොගයට මදුරෙයි සිට ගෙන ආ පොල් තොගයට මාරැ කරගන්නේ. මෙතැනදි තමයි බැංගලෝරයේ සිට ගෙන ආ මී අඹ තොගය විශාඛාපට්නම් සිට ගෙන ආ තීන්ත ලොරියට පටවා ගන්නේ. මෙතන හරියටම පුංචි පහේ තොග හුවමාරු මධ්‍යස්ථායක් වාගේ දවසේ විසිහතර පැයේ ම ගනුදෙනු සිද්ධ වෙනවා. 

මේ ලොරිවලින් පැමිණෙන පිරිසට ආහාර සප්පායමට පුංචි පුංචි කඩවල් දෙක තුනක් තින්ඩිවනම් ගමේ පටන් ගැනුණා. හැබැයි පහු පහු වෙනකොට කඩෙන් කඩේ එකතු වී අද වන විට කඩවල් විස්සක් තිහක් විතර හැදිලා තියෙනවා. සිලෝන් පරතා දෙක තුනයි, චිකන් කරියයි, ලූණු සම්බෝලෙටයි තමයි බහුතරයගේ කැමැත්ත. 

ශ්‍රී ලංකාවේ භාවිත දෙමළ භාෂාවෙන් වෙට්ටිත්තාංග කියන්නේ පුංචියට කපලා දෙන්න කියන එක. නමුත් මේ තින්ඩිවනම් ගමේ භාවිත දෙමළ උප භාෂාවට අනුව පුංචියට කපනවාට කියන්නේ කොත්තිත් තාංග කියලා. රෙන්ඩ මූණු පරාතා කොත්තිත් තාංග කියන්නේ පරාතා දෙක තුනක් කපලා දෙන්නඩ කියන අර්ථය. මෙසේ පුංචියට කැපූ පරාතා රොටි වලින් පිළියෙල කරගත් ආහාරය කොත්තු නමින් හඳුන්වනවා. 

දැන් මේ තින්ඩිවනම් ගමේ බහුතරය වෘත්තීය බෙර වාදකයින් නිසා මේ එකවර විස්සක් තිහක් කොත්තු කොටන ක්‍රියාවලිය හරියටම බෙර සංධවනියක් වාගෙයි ඇහෙන්නේ. 

අප නාද සිත්තම සරසන්නට තෝරා ගත්තේ මේ තින්ඩිවනම් ගමේ පිරිස, පරයා වර්ගයේ බෙර යොදා ගනිමින් නිර්මාණය කළ මියුසික් වීඩියෝවක්.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
වර්ගීකරණය
සංරක්‍ෂිත