යුටෝපියානු නගරයක විනාශය නොහොත් “අදිසි නදිය”

සිංහල නවකතාවට හුරුපුරුදු ඒකාකාරී මාතෘකා ඔස්සේ වුවද තවමත් සාර්ථක නවකතා එළිදකී. ඒ ඒවායේ ඉදිරිපත් කිරීමේ (Presentation) වෙනස් බව නිසා බව අපගේ හැඟීමයි. එවන් වටාපිටාවක් තුළ, කපිල කුමාර කාලිංග තම අලුත්ම නවකතාවට වස්තුවිෂය කරගන්නේ සිංහල නවකතාවට ආගන්තුක, එහෙත් විශ්වීය මාතෘකාවකි. නවකතාවට පාදක වන මේ මන:කල්පිත නගරය, ලතින් ඇමෙරිකාව, වියෙට්නාමය හෝ පකිස්ථානය නොව ශ්‍රී ලංකාවම බව කතුවරයා කෙලින්ම නොකියයි. ඒ බව අවබෝධ කර ගැනීමට නම් “අදිසි නදිය” ඔස්සේ යාත්‍රා කළ යුතුමය. 

පොතේ පසු කවරයේ සඳහන් වන්නේ මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය දේශපාලන ප්‍රබන්ධය සහ විද්‍යා ප්‍රබන්ධය යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ “අදිසි නදිය” ගලාබස්නා බවයි. ඊට අමතරව රහස් පරීක්ෂක කතා ශෛලිය සහ ගූඪවාදය වැනි රීතීන් ද, මෙහි යොදාගෙන ඇති බව දක්නට හැකි වුවත් “ අදිසි නදිය” නම් සැබෑම දේශපාලන ෆැන්ටසියකි.

මේ යුටෝපියානු නගරයේ වැසියන්, මුහුණ දෙමින් සිටි දුෂ්කර තත්ත්වයන් යටතේ නාමික අනන්‍යතාව වැනි පෞද්ගලික කාරණයක් පවා ජීවත්වීම වටා බැඳුණු   නොවැදගත් අතුරු කාරණාවක් සේ සලකා අමතක කර දමා තිබිණි. මෙවන් වටපිටාවකදීය, මැක්ස් එක්සෙල් නමැති ආගන්තුකයා මේ අමුතු නගරයට සම්ප්‍රාප්ත වන්නේ.

රන්වැලි නදියට යාබදව පිහිටි රන්වැලි තානායමට නවාතැන් සඳහා පැමිණි මේ ආගන්තුකයා හරි හැටි හඳුනාගන්නට ඔබට බොහෝ වේලාවක් ගතවෙනු ඇත. කව්බෝයි කෙනෙක්, Marlboro Man, ෂර්ලොක් හෝම්ස්…

මැක්ස් එක්සෙල් හරි හැටි හඳුනාගත්තොත් ඔබට තීරණය කළ හැකියි,  ඔහු හරි ද? වැරදි ද? සාර්ථක ද? අසාර්ථක ද? යන බව. මැක්ස් ගේ චරිතය යම් පමණකට හඳුනාගත් තැන සිට මේ ලියුම්කරු, නවකතාකරු සමග තවමත් අනවරත සංවාදයක යෙදෙන්නේ, ඒ චරිතය තව දුරටත් විශ්ලේෂණය කර ගන්නටයි.

—————————————————

ලියුම්කරු: ඔබ, මැක්ස් එක්සෙල්ගෙ චරිතය ගොඩනඟන්නේ නිදහසින් පසු ලංකා ඉතිහාසයෙ උතුරෙත් දකුණෙත් සිදුවුනූ තරුණ නැගිටීම් වලට නායකත්වය දුන්නු අයගෙ චරිත ඇසුරෙන් කියලා මම කිව්වොත්…

නවකතාකරු: නැහැ ඒත් එහෙම වෙනම කියවීම් මතුවෙන්න පුළුවන්.

ඇයි ඔබට ඒ නායකයින් මතක් වෙන්නෙ? අපි කැමතියි heroගෙ සංකල්පයට. System එකට විරුද්ධව නැගී සිටින මිනිස්සුන්ට.

මැක්ස්ව හඳුන්වා දීමේදී මම මාල්බොරෝ මෑන් ගැන සිහිකළත් ඔහු පාදඩයෙක් නෙවෙයි. Vision එකක්, Mission එකක් තියෙන gentleman කෙනෙක්. ඇති පදම් සල්ලි, ශක්තිය, බුද්ධිය, රූපකාය මේ සියල්ල තියෙනවා. ගෑනු ආකර්ෂණය වෙනවා, හැබැයි මිනිහා පෙම් කරන්න යන්නෙත් නෑ. ප්‍රේමවන්තයෙක් වෙන්න තියෙන chance එක අත ඇරලා දානවා.

ඔහුට තියෙන එකම ප්‍රශ්නය, නගරය ගිලිලා විනාශ වෙන්න යන බව දැන දැනත් මේ මිනිස්සු කොහොමද මේකෙ ඉන්නෙ කියන එක.

මට තිබුණු ප්‍රශ්නය තමයි, මෙන්න මේ වගේ වෙලාවකට අවශ්‍ය වීරයෙක් සොයා ගැනීම.

අපි නිදහස සමරනවා. කොඩිය made in china. නිදහස් දවසෙ දවල්ටත් අපි පොඩි drink එකක් දානවා. රටේ ප්‍රශ්න ගැන දැනගෙනත් අපි ඔහේ ආතල් එකේ ඉන්නවා. මට ඔන්න ඕකට තමයි උත්තරයක් ඕන වුනේ. මේක මැද්දට අමුතුම එකෙක් පැනලා, කොහෙන් හරි කවුරු හරි වීරයෙක් ඇවිල්ලා, යකෝ නැගිටපියව්, මේක බලපියව් කියලා කියන්න පුළුවන් එකෙක් හොයාගන්න මට ඕන වුණා.

—————————————————

දැක්මත් (Vision) මෙහෙවරත් (Mission) මොන තරම් ප්‍රබල වුනත් ඕනෑම පරාර්ථකාමී, පරමාදර්ශී පුද්ගලයෙකුට තම ඉලක්කය කරා යෑමට තමා වටා රොද බැඳගත් අනුගාමිකයින් පිරිසක් සිටීම අත්‍යවශ්‍ය වේ. මේ වීරයාගේ අරමුණ තේරුම් ගෙන ඔහුට සහයෝගය දීමට කණ්ඩායමක් නොසිටියහොත් ඔහු ඉබේ ප්‍රතික්ෂේප වී යනු ඇත.

ඇතැම් අරමුණු කෙතෙක් යහපත් වුණත් අනෙකුන්ගේ සහය නොලැබේ නම්  ඒවා සාක්ෂාත් කරගත නොහැකි බව මැක්ස් හොඳින්ම දන සිටියේය, තමන්ගේ නම ගම පවා ( අනන්‍යතාව ) පවා අමතක කළ මිනිසුන් සිටි නගරයක මැක්ස්ගේ සහායට සිටියේ  රෙක්ස් පමණි. ඒ නිසාම ඔහුට සිදුවන්නේ තම ඉලක්කය කරා යෑමට දේශපාලනික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි. එක් පසෙකින් රෙක්ස්ගේ උදව්වෙන්ද අනෙක් පසින් පියාපත් කණ්ඩායමේ මෙහෙයවීමෙන් ද මැක්ස් එක්තරා දුරකට තම ඉලක්කය සොයා ගොස් තිබුණි.

———————————————————–

ලියුම්කරු: මැක්ස් සහ රෙක්ස් කියන්නෙ එකම චරිතයෙ දෙපැත්ත කියලා මම                          කිව්වොත්?

නවකතාකරු: මම පැහැදිලි කිරීම් කරන්නෙ නැහැ. ඉඟි ටිකක් විතරක් දීලා ඇති.

                              ප්‍රධාන චරිත දෙක වෙන්නෙ මැක්ස් සහ රෙක්ස් නෙ. ඒකනෙ එක                                       හා සමාන නම් දෙකක් දීලා තියෙන්නෙ. රෙක්සුත් එක විදියක වීරයෙක් තමයි.

ලියුම්කරු:             මැක්ස්ගෙ වීරත්වයෙ අඩ සම්පූර්ණ කරන්නෙ රෙක්ස් නේද?

නවකතාකරු:        වීරයා වෙන්නෙ මැක්ස්ද රෙක්ස්ද කියන එක දෝලනය වෙනවා. මන්ද ඇතැම් අරමුණු කෙතෙක් යහපත් වුණත් අනෙකුන්ගේ සහාය නොලැබේ නම් ඒවා සාක්ෂාත් කරගත නොහැකි නිසා. ඒ නිසා වීරයා කවුද කියලා පාඨකයා තීරණය කරයි.

ප්‍රේමය පිළිබඳ කපිල කුමාර කාලිංගගේ පුළුල් පරිකල්පනය අපි කොතෙකුත් දැක අසා කියවා විඳ දරා ඇත්තෙමු. එහෙත් ඕනෑ තරම් ඉඩ කඩ තිබියදී පවා ප්‍රේමය පිලිබඳ හුදු ප්‍රලාපයකින් “ අදිසි නදිය “ අවසන් නොකරන්නට ඔහු වගබලාගෙන තිබේ. පරාර්ථකාමී අරමුණක එල්බගත් මැක්ස් අයාලේ නොගොස් තම අරමුණ කරා එළඹුනාක් මෙන් පාඨකයාද අයාලේ නොයැවීමට එමගින් ඔහු සමත්වී ඇත. තමාගේ ඉලක්කය මනාව හඳුනාගත් මැක්ස්ගේ පෞරුෂය එමගින් රැකුනත් ඔබටද ලිලී ගැන අනුකම්පාවක් ඇතිවනු නොවනුමානය.

තම අරමුණ ඉටු කරගනිමින් නගරවැසියන් බොහෝ ප්‍රමාණයක් නිරුපද්‍රිතව නගරයෙන් පිටමං කර ගැනීමට අවසානයේ මැක්ස් සමත් වෙයි. එහෙත් නගරයේදීම හමුවී තම සහයෝගය උපරිමයෙන් ලබාදුන් රෙක්ස් සහ ලිලී දෙදෙනාම මැක්ස්ට අහිමිවී යයි. කෙසේ වුවත් මේ සැප දුක් සියල්ල මැදහත් සිතින් දරාගැනීමේ හැකියාව මැක්ස් සතුවූ බව දැනෙන ප්‍රකාශයක් කතුවරයා ඔහුගේ මුවට නංවා තිබෙන්නේ මෙලෙසිනි. “ හැම මිනිහෙක්ටම මේ ලෝකය වෙනුවෙන් යම් වැඩකොටසක් ඉෂ්ට කරන්න ඉඩ තියෙනවා. සමහරු ඒක කරලා මැරෙනවා. සමහරු නැතුව මැරෙනවා.”

එපමණක් නොව තිර රචනයෙහිලා තමා දක්වන ප්‍රතිභාවද, මනා සේ ප්‍රකට කරමින් කතුවරයා අදිසි නදියේ අවසාන භාගය අධි වේගී ගලායාමකට ලක් කරන්නේ ඒ සිද්ධි සමුදාය වඩ වඩා තීව්‍ර කරමිනි.

            ——————————————————

ලියුම්කරු:             නගරයේ දකුණු දිශාවෙන් පොළොව ගිලා බහින්න පටන් අරගෙන  

                            බව 19 වන පරිච්ඡේදය ආරම්භයේදී ඔබ කියනවා. ඒ පිටු අංක 256.

                            25 වැන්න අවසන් පරිච්ඡේදය. පොතේ පිටු 328 යි. වේගවත් 

                            අවසානයකට යෑම ඔබේ style එකද? 

නවකතාකරු:         නෑ style එකක් නෙවෙයි. මට ඕනෑ වුණේ පිටු දෙකේ තුනේ පරිච්ඡේද 

                            කරන්න. ඒත් මේ අවස්ථාව වේගවත්. නගරය ගිලා බහින්නයි 

                            යන්නෙ. ඒ නිසා අවසන් පරිච්ඡේදයම පිටු විස්සක් විතර දිගයි. 

                            (ඇත්තටම පිටු දහසයක්).

දැන් ඉවසීමෙන් කියවන වෙලාව ඉවරයි. පාඨකයාට බලා ඉන්න අමාරුයි. වෙන දෙයක් ඉක්මනට වෙද්දෙන්.

                   ————————————————

අදිසි නදියෙහි රූප රචනයක් සිදුකළහොත් මැක්ස් ගේ චරිතයට තෝරාගන්නේ කවුරුන්දැයි මම කපිල කුමාර කාලිංගගෙන් ඇසීමි. තවමත් ඔහු ඒ ගැන සිතනවා විය හැකිය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත