විශ්ව දේශීය (Cosmopolitan) නගරයක් වන ලන්ඩනයේ කිරුළග මිණ බඳු වික්ටෝරියා සහ ඇල්බට් (V&A) කෞතුකාගාරයේ කොටසක ඡායාරූප ශිල්පීන් සඳහාම වෙන්වූ ලොව විශාලතම නිත්‍ය කෞතුකාගාරය පිහිටා තිබේ. 2018 ඔක්තෝබර් 12 දින ජනගත වූ එහි ප්‍රථම අදියරේ දී ස්ථිර ප්‍රදර්ශන පෙදෙසකින්ද, වෙනස්වන ඡායාරූප ප්‍රදර්ශනයක් සහිත කලාගාරයකින් සහ කෙටි වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය වන කළුවර කාමරයකින්ද සමන්විතය. මීට අමතර ව Tate Modern, Tate Brito, National Portrait Gallery, Heyward Gallery, Barbican Art Gallery, Phtograhers Gallery, Atlal Gallery, මූලික කර ගත් ලොකු කුඩා කලාගාර ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීමට පහසුකම් සලසයි.මේවයින් සමහරක් ඡායාරූප ශිල්පය වෙනුවෙන්ම වෙන්වූ ප්රදර්ශනාගාරයි. මේ සෑම ස්ථානයකම සිකුරාදා හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී නවය 10 තෙක් දීර්ඝ කළ සැන්දෑවක් රසිකයන්ට ලබා දෙයි.
විශේෂයෙන්ම මේ දිගු සංධ්යාවන්හි ලොකු කුඩා මහලු පොදු ජනයාගෙන් මේ කලාගාර පිරී යයි.ඡායාරූප ප්‍රදර්ශනයක් නිල වශයෙන් විවෘත කිරීමට පෙර සිය සාමාජිකයින් සහ ඡායාරූප ශිල්පයට ලැදි ලැයිස්තුගත හිතවතුන් වෙනුවෙන් පුද්ගලික දර්ශන දිනයක් හෝ සැන්දෑවක් වෙන් කෙරේ.
ඒවා බොහෝ විට මධුවිතෙන් පණ පෙවූ කතාබහින් විචිත්‍රවත් වන සොඳුරු සැදෑවෝ වෙති. Atles gallery වැනි කුඩා කලාගාරයක දී එහි පාලක පාලිකාවන් (Curators), සහායක සහයිකාවන් සහ ආරාධිත ශිල්පීන් කුඩා ඉඩක ගැවසෙන බැවින් ඔවුන් හා පිළිසඳරේ යෙදීමට අනගි ඉඩක් සැලසේ. පාලක පාලිකාවෝ සහ සහායකයෝ අඩුම තරමින් ඡායාරූප ඉතිහාසය සහ කලාව පිළිබඳ බාහිර උපාධියක් වත් ලද්දෝ වෙති. ඔවුන් සිදු කරන හඳුන්වාදීම සහ ඡායාරූප ඇගයීම් බොහෝවිට නව දැනුමින් පිරි පවතී. tate modern වැනි දැවැන්ත කලාගාර නිත්‍ය ප්‍රදර්ශන ශාලා ගණනාවකින්ද, සමගාමී චිත්‍ර කලා ප්‍රදර්ශන සහ වාර්තා/ වෘතාන්ත චිත්‍රපට දර්ශන සහිතව දෘශ්‍ය අත්දැකීම පූර්ණත්වයට පත් කරයි. මීට අමතරව ලන්ඩනයෙන් චිත්‍ර කලාව වෙනුවෙන්ම වෙන්වූ වෙන් වූ අනගි කලාගාර,අධිරාජ්‍යයක නටබුන් පිරි කෞතුකාගාර සහිත, නෘත්‍ය දර්ශන සංගීතමය ප්‍රසංග සහ චිත්‍රපට උලෙළ නිතර පැවැත් වෙන මනරම් නගරයකි.
මේ සංස්කෘතිකමය වූ ජීවිතය එක් පසෙකින් ගලා යද්දී අනෙක් පසින් 2018 වසරේදී පමණක් ලන්ඩනය තුළ පිහි ඇනුම් 1299ක් සහ මිනීමැරුම් 134ක් සිදුවිය. මේ ඓතිහාසික නගරය2017 දී ත්‍රස්ත ප්‍රහාර පහකට සහ 2018 දී එක් ප්‍රහාරයකටද ගොදුරු විය. ඉන් අඩුම තරමේ හතරකට ඉස්ලාම් මූලධර්මවාදීන් ද එකකට අනෙකුත් අන්ත දක්ෂිණාංශික ක්‍රියාධරයකු ද සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇත. මෙහිදී මම සියළු ආගමික මූලධර්මවාදී අන්ත දක්ෂිණාංශික කඳවුරකට ගොනුකරමි. ඔවුන් සාමාන්‍යයෙන් කලාගාර වලට නොයන සිය ඇදහිල්ල අභිවාදනය කිරීම ජීවිතයේ පරම අරමුණ කරගත් (cult), තොරතුරු සොයා සොයාබැලීමට නොවෙහෙසෙන පූජකයින් සහ සිය වන්දනීය ප්‍රභූන් කියන බස් පිළි ගන්නා, එමෙන්ම සොයා බැලීමකින් තොරවම ආවේගශීලීව සහ ක්ෂණිකව ක්‍රියාමාර්ග වලට එළඹෙන වියරු ජන කොටසකි. පසුගිය දශකයක පමණ කාලය තුළ මෙම ප්රවණතාවේ නියත වර්ධනයක් පෙනෙන්නට තිබෙන අතර එය ජාතික දේශපාලනය තුළ පිළිබිඹු වීමක් ද පෙනී යයි.
මේ දශකය තුළම ඡායාරූප ශිල්පයද ද ලංඩන් කලා කතිකාවේ හරි මැදට සේන්දු වී ඒම සංකථනයේ මූලික විෂයක් බවට වර්ධනය වී ඇත. එහිදී දියුණුවූ රසිකත්වය, පැරණි ඡායාරූප එකතු කිරීමට ඇති වූ උනන්දුව සහ ඡායාරූපකරණයෙහි යෙදීමට ඇති වූ පෙළඹවීම හේතුවෙන් ලන්ඩන්ය ඡායාරූප ශිල්පය ආශ්රිත ලොව ප්රමුඛ වෙළඳපොලක් බවට ද පත්වී ඇත. 2015 වසරේදී දියත් කළ ෆොටෝ ලන්ඩන් (Photo London) ඡායාරූප පොළ සහ සැණකෙළිය මේ අභිරසිකත්වයම වර්ධනය කරණුවස් බිහි වූ සංකල්පයකි.ඡායාරූප ශිල්පය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයයක් ලෙස ද සියලු ප්‍රධාන විශ්වවිද්‍යාලවල ප්රමුඛ ලලිත කලා විෂයක් ලෙසද තහවුරු වී ඇත. කුඩා ඇකඩමි පාඨමාලා සහ වැඩමුළු බොහෝ දුරට අර්ධකාලීන උද්යෝගී ජනයා ඉලක්ක කරයි. සියලු පොදු ස්ථාන ඡායාරූප ශිල්පයට මිතුරු පරිශ්‍රයෝ වෙති. ප්රචාරක අරමුණු සඳහා කුඩා ළමුන්ගේ ඡායාරූප ගැනීමට පමණක් දෙමාපියන්ගේ අවසරය නීතියෙන් අත්‍යවශ්‍යතාවක් බවට පත් කර ඇත. පුද්ගලික ව්‍යාපාරික පරිශ්‍ර වල පවා විශේෂ අවස්ථාවක හැර අවසර ගැනීමෙන් පසු ඡායාරූප ගැනීමේ ඉඩකඩ ලැබේ.ප්‍රසංගයකදී හෝ සැණකෙළි බිමකදී විසිතුරු ඇඳුමින් සැරසී මධු මත් යෞවනියෝ තමන්ගේ රූසිරිය සටහන් කර ගන්නා ලෙස ඔබෙන් අය වීමට ඉඩ තිබේ.
ලෝක ධනවාදය සහ එහි නිජබිමේදී නිසැකව ම උසස් සංස්කෘතියක් නිපදවා ඇත. එම සංස්කෘතිය අඩු අගතීන් සහිත පුද්ගලික නිදහස ගරු කරන, නිදහස් මතධාරී උදාර මිනිසකු ඉලක්ක කරයි.
ඒ මිනිසා අඩියෙන් අඩියට පොලිස් නිලධාරීන් ගැවසීම හිරිහැරයක් සේ සලකයි. එවන් මිනිස්සු ලිබරල් සමාජ පැවැත්මක් අගය කරති. එබඳු සමාජයක් වෙත ලොව සියලු අහුමුළු වලින් නිදහස්කාමී සංක්‍රමණිකයන් ඇදී ඒම පුදුමයක් නොවේ. නමුත් ධනවාදය විසින් ම බිහි කළ අසමානතාව සහ දිලිඳු බව ස්වදේශික දක්ෂිණාංශික ජාතිවාදීන් හඳුනා ගනු ඇත්තේ සංක්‍රමණිකයින් නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ නිදහස් වටපිටාව ඉහළ සංස්කෘතියක් ගැනීමට ඉවහල් වන්නා සේ ම සාක්ෂි රහිත අපරාධ සඳහාද තෝතැන්නකි. මේ අපරාධ වැඩිමනත් වෘත්තීය නොවන පාතාල කල්ලිවල හයිරංකාරයින් (Gangsters) අතින් සිදු වේ. අපරාධයනට ඉලක්ක වන්නෝ පොදුවේ පහළ මධ්‍යම පංතිකයෝය. වැඩි වශයෙන් කළු ජාතිකයන්ය.
ලිබරල් සමාජ අභිලාශයන් සහ උත්තර සංස්කෘතිය නඩත්තු කිරීම සුළු ව්‍යාපාරික මට්ටමෙන් නොවන රාජ්‍ය මට්ටමින් සිදුවේ. සිය පැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් උරාගැනීමට මහා රාජ්‍යයෝ ලෝක තෙල් සම්පත, තෙල් සහ ඛණිජ බිම්, ප්‍රවාහන සහ භූගෝලීය මර්මස්ථාන සිය අණසක යටතට ගනු වස් රාජ්‍ය ත්‍රස්තවාදය ලොව පුරා මුදාහරිති. ඔවුහු ආර්ථික යුද්ධ මෙන්ම වාර්ගික යුද්ධද සැලසුම් කරති. ලෝක ත්‍රස්තවාදී සංවිධාන බිහි කරමින් ඒවා පෝෂණය කරති. ඔවුන් ආපසු හැරී සිය හාම්පුතා වෙතම අවි එල්ල කරන විට ඔවුන් හා යුධ ප්‍රකාශ කරති.
මේ සියලු කලබල මැද අනෙකුත් මහානගර සේම ලන්ඩනය සිය සාරවත් දෛනික ජීවිතය ගත කරයි. ත්‍රස්ත ප්‍රහාර හමුවේ සැණින් කැළඹී යන මේ ‘කේතුමතිය’ පසුදාම නැවත පෙර රිද්මයට පත්වේ. කිසිදු වැඩක් කල් දැමෙන්නේ නැත. නොදන්නා හෙට ජීවිතයට වඩා පැහැදිලි මේ මොහොතේ ජීවිතය හැකි උපරිම ශ්‍රී විභූතිය ගත ගතකිරීමට ලන්ඩන් වැසියා ප්‍රිය කරයි. නිවාස නැති පාදඩයෝ අද දවස උණුසුම් කිරීමට මත් පැන් පොදක් සොයන්නෝ වෙති. දුප්පත් මිනිස්සු සිය දෛනික වැටුප වඩා හොඳින් වියදම් කළ හැකි මඟක් සොයන බොහීමියානුවෝය. මේ නගරය අප ගත කරන අර්ථ ක්‍රමය තුළ ලද හැකි ඉහළම ගණයේ සංස්කෘතිකමය ජයග්‍රහණයකි. එය අඩුපාඩු සහිත ප්‍රමිතියක් බව අපි දනිමු. එය වඩා උසස් වඩා ප්රවර්තනීය තත්ත්වයක් වෙත පරිණාමනය වනු දැකීම මගේ පැතුමයි. ඒ සඳහා පවතින අර්ථ ක්‍රමය සමතික්‍රමණය (sublation) කළ යුතු බව මගේ වැටහීමයි.
මංගලනාත් උඩුකල
mangalanathudukala@gmail.com


One Response
ජනගත කළ මොහොතේ ම, මේ ආලෝචනයට මගේ හෘදයාංගම සුබ පැතුම පතන්නට ලැබීම මා ආලෝලනයට පත් කරන්නේ ය…
Comments are closed.