ඔබ මම සහ රූපය

 රංග  කාර්යයකදී පූරක කියන්නේ මුලින්ම වේදිකාව මත පෙනී සිටිමින් ප්‍රේක්ෂක අවධානය යොමු කරගන්නා තැනැත්තාට. අපි පුංචි කාලේ සිංහබාහු නාට්‍යයේ ටෙරන්ස් රණසිංහගේ පටන් මේ දක්වා බොහොමයක් පූරකයෝ අපි ඉදිරියට ඇවිත් ගියා. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවේ විජේරත්න වරකාගොඩත්, අපේ හිතවත් පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුවේ හිටපු එච්.ඒ.පෙරේරාත් අපේ හිත වල නොමැකෙන මතකයන් ඉතිරි කරපු තවත් පූරකයෝ දෙන්නෙක්.

පූරකයා ඇත්තටම නායකයෙක් වගේ. වේදිකාව මත ගොඩ නංවන තම භූමිකාව බලවත් චිත්ත විශ්වාසයක් ඔහු හෝ ඇය සතු විය යුතුයි කියලා මට හිතෙනවා. මේක හරිම වගකීම් සහගත චරිතයක්. තමනුත් විඩාපත් නොවී ප්‍රේක්ෂකයිනුත් අපහසුතාවයට පත් නොකර ඔවුන්ගේ  මානසික ඒකාග්‍රතාවය රැක දීමත්, ඔවුන්ට මානසික උත්තේජනය සැපයීමත් පූරකගේ වගකීමක්. නරඹන්නාට එක්තරා ආකාරයක රිද්මයානුකූල විධානයක් දෙමිනුත්, නරඹන්නාගේ සිතිවිලි පිරික්සුමට ලක් කරමිනුත්, වේදිකාවට සහ ප්‍රේක්ෂකාගාරයට යම් යම් දේ වාර්තා කරමිනුත්, වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය අතර වන සන්නිවේදනය තිර කරමිනුත් ඔහු හෝ ඇය කරන්නේ අතීතය ආශ්‍රයෙන් වර්තමානයේ ජීවත්වෙමින්  අනාගතය ප්‍රතිරූපණය කිරීමක්.

යමෙකුට වචනයෙන් සියල්ල කිව හැකියි.නමුත් තම සිරුරේ චලනයන්හි රිද්මයානුකූල ව්‍යාකරණයන් නිසි ලෙස භාවිත කරමින්, ප්‍රේක්ෂක විශ්වසනීයත්වය රඳවා තබා ගැනීම පූරක චරිතයේ සාධනීය ස්වභාවයක්.  පූරක සතු මේ පෞරුෂය, විනය, ශක්‍යතාවය සහ කෘතහස්තභාවය ඉස්මතු වෙන්න නම් වේදිකා නිෂ්පාදනය පැත්තෙන් වෙන්න ඕනෑ දේවල් අතර අලෝකකරණය මූලික තැනක් ගන්නවා. ප්‍රේක්ෂක සමුහයාට එකම වේලාවකට එකම දේ හිතන්නට තරම් ඔපමට්ටම් කළ ප්‍රතිරූපයක් භෞතික වශයෙන් වේදිකාව මත නිරූපණය වෙන්නත් ඕනෑ නිසා, කෙනෙකුගේ සිතේ සන්තුෂ්ටිය සහ වේදනාව වගේම, කායික සතුට සහ වේදනාවත් චරිතයේ භෞතික හැඩතල නිරූපණයෙන් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉතින් මේ චරිතයේ බාහිර ස්වරූපය වේදිකාවේ ගැඹුරත් එක්ක බද්ධ කරන්න ආලෝකය නම්වූ මෙවලම මනා පිටිවහලක් ලබාදෙනවා.

මම මේ ඡායාරූප දෙක ගලවාගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කළා ඒකකයේ සිසු සිසුවියන් පිරිසක් නිර්මාණය කළ “නොමියෙන  ගැහැණු” වේදිකා නාට්‍යයෙන්. මේ එහි මූලිකාංගය වන පූරක චරිතයේ ඉරියව් දෙකක්. මුල් ඡායාරූපය එහි වාචික අභිනය මූලික කොට ගත්තක්. මෙහිදී ඇය එක එල්ලේ  ප්‍රේක්ෂකයන් වෙත තම පෙළ ප්‍රකාශ කරමින් සිටින රංගනයක් ඉදිරිපත් කරනවා .. එහිදී චරිතයේ ඉදිරි පසින් ඇය වෙත ප්‍රධාන ආලෝක ධාරාවක් යොමුකොට අන්ධකාර පසුතලයෙන් ඇයව ඉදිරියට ඉස්මතුකර දක්වනවා. ඇගේ රංග ක්‍රියාදාමයට සමගාමීව ආලෝකය මෙහෙයවීම තුළිනුත්, භූමිකාව හුවා දැක්වීමට තාක්ෂණික සහයෝගයක් ලබාදෙනවා. මේ අවස්ථාවේදී නාට්‍ය නිෂ්පාදකයා උත්සාහ කරන්නේ ඒ රංගධාරිණිය සහ ප්‍රේක්ෂක සමුහයා අතර විශ්වසනීයත්වයක් ගොඩනඟන්නයි. ඔහුගේ මූලික අභිප්‍රායේ අවංක බව ඵලදායි එකක් බවට පත්වන්නේ මේ රංගන ප්‍රතිමුර්තිය නිසි ලෙස ප්‍රේක්ෂක මනස තුළ ස්ථානගත කිරීමෙන්.

දෙවැනි ඡායාරූපයෙන් අප දකින්නේ ඇය ප්‍රේක්ෂක පරිචය ලබාගැනීමෙන් අනතුරුව (established) ගෞරවනීයව ඉදිරිපත්වන අවස්ථාවක්. ප්‍රේක්ෂක ප්‍රසාදය මත හැසිරෙන, අතිශය දුෂ්කර මොහොතක පවා තමන්ව අත්හැර නොයන හිතවතෙකු හෝ හිතවතියක මුණගැසීමේ ප්‍රහර්ෂය දැන් ප්‍රේක්ෂකයා ලඟා කරගෙන අවසන්. ඇත්තෙන්ම අප එහිදී දකින්නේ ඇය ප්‍රේක්ෂක පරිචය ලබා ( ප්‍රේක්ෂකයන් විසින් සංජානනය කිරීමෙන් අනතුරුව) ගෞරවනීයව ඉදිරිපත්වන අවස්ථාවක්. එහිදී නරඹන්නන්ගේ දසුනට ප්‍රතිවිරුද්ධව, චරිතයට පසුපසින් දැඩි ආලෝක ධාරාවක් යොමු කෙරෙන අතර චරිතයේ හැඩය සහ ඝනත්වය කියා පෑමට පැති ආලෝක කදම්බයක් මෙහෙයවෙනවා. එමගින් ඇගේ සිරුරෙහි අලෝකමත්වූ අංගයන් සහ සෙවනැළි ආශ්‍රිත කොටස් වලත් විස්තර සහ ගහනතාවයන් මනා ලෙස සනිටුහන්වී තිබෙනු දැකිය හැකියි. හැඩතල සහ චරිත ස්වභාවය පිලිබඳ අධ්‍යයනය සහ අවබෝධයෙහි මූලික පැතිකඩ මෙයයි.

මෙහිදී ආලෝක ප්‍රභවයන්ගේ තීව්රතාවය, එහි ප්‍රමාණය සහ එහි සිට වස්තුවට (චරිතයට) ඈති දුර ගණනය කොට අවබෝධයක් ලබාගැනීම සන්නිවේදනාත්මක ඡායාරූපයේ සාධනීයත්වයට ධනාත්මක හේතු කාරණා සපයනවා. වේදිකා නිෂ්පාදකයන්, අනෙකුත් කාර්මික වන සහ නොවන ශිල්පීන් කණ්ඩායම් සහ රංගධරයන්/රංගධාරිනියන් සමග සහභාගිත්වයෙන් යුතුව එදා වගේම අදත්, අද වගේම හෙටත් නාට්‍ය රංග කාර්යයන් දිගින් දිගටම සිද්ධ කරාවි.

ඉදින්, අපි අපට නියමිත ප්‍රේක්ෂක ගොන්නේ සිටිමු. ඒ සීමාවේ සිට මෙය රූපගතකර වාර්තා කරන්නේ නම් නාට්‍ය කණ්ඩායමටත් ගරු කරමින්, අපේ වාර්තා ශිල්පයේ ගෞරවයත් රැකෙන අයුරින් කටයුතු කරමු. නාට්‍යකරණය සහ ඡායාරූපකරණය කියන්නේ ශිල්ප දෙකක්. මේ අංශ ද්වයෙහිම නියැලෙන්නෝ අඳුරේ අත පත ගෑමෙන් වියුක්තව   විද්‍යාත්මක ලෙස තම ශිල්පය (craft) අධ්‍යයනය කිරීම වැදගත්. එහෙම නැතුව මොනම ශිල්පයකින්වත් සන්නිවේදනාත්මක පූරකයෙක් බිහිවෙන්න නම් විධියක් නැහැ

හේමන්ත අරුණසිරි

alochana@ime.edu.lk

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත