අපි කවුරුද?

වායෝ සංගීත කණ්ඩායම ගායනා කළ ගීතයක් තියෙනවා “අපි කවුරුද” කියලා. සී සී කඩ විසිර ගිය ලෝකයක ආදර බැඳුමක ගිනියම් වූ සිතුවිලි මැද ඔවුන් සොයන්නේ තමන් කවුද කියලා. ඇත්තටම “අපි කවුරුද?” අපිට කියන්න පුළුවන්ද හරියට අපි කවුරුද කියලා? අපි කවුද? කියලා නම් අපි කියයි. ඇයි උපදින විට දුන්නු කරදහිය හන්දා. ඒකෙ තියනව ඉපදෙන්ඩ දුන්න බලපත්‍රය. ඒකෙ නැත්තේ අර නිෂ්පාදන වල පළකරන කල් ඉකුත්වන දිනය පමණයි

එහෙනම් හැබෑටම අපි කවුරුන්ද?

අලුතෙන් හොඳ ගීතයක් ඇහුනොත්, හොඳ කතාවක් ඇහුනොත්, හොඳ චිත්‍රපටයක් ආවොත්, අලුත් පොතක් පතක්, හොඳක් පේන පුවත්පතක් එළි දැක්ම අපි හොයානවා “කවුද ඒ?” කියලා. එහෙම අපි හොයන්නේ ඇයි? එහි අපට දැනෙන දෙයක් තිබෙන නිසා. අප ගැන නියෝජනයන් එහි තිබෙනවා කියලා දැනෙන නිසා. ඒත් එක්කම එහි තිබෙන්නට පුළුවන් අපට කියාගන්න හිතුනද එහෙත් එක කියාගන්න බැරි, නමුත් එම අලුත් අමුත්තාගෙන් එය කියවෙනවා දුටුවාම අපි හිතන්නේ ඒ අපේ හඬ කියලා. එයින් පස්සේ අපි ඒ  පුද්ගලයා හෝ නිර්මාණය සමග බැඳෙන්න ගන්නවා. මේක වැඩි වෙලා ගියාම තමයි බොහෝ අනුගාමිකයෝ බිහිවෙන්නේ. රැලක් බිහිවෙන්නේ. අනුකාරකයින් ඇතිවෙන්නේ. එය ලෝලීත්වය වී ලෝලියා බවට පත්වෙනවා. එය අලෙවි කෙරෙන නිර්මාණයක් නම් අවසානයේදී අපි පාරිභෝගිකයා හෝ ගනුදෙනුකරුවා බවට පත්වෙනවා.

හැබැයි අපේ හිතේ නම් සෙවිල්ල ජනිත වෙන්නේ හොඳ දේට පමණක්මද?

නැහැ නේ, අපිට ඇහෙන දැනෙන දේ නරක නම්, සම්මතයෙන් පිට පැනලා නම්, සදාචාරයට දුර නම්, ඒත් අපි සොයනවා “මේ කවුරුද?” කියලා. එහෙම හොයන්නෙ ඒකට මල් මාලාවක් දාන්න නොවෙන්න පුළුවන්. එහෙත් කවුද මේ පුතය කියලා දැනගන්ට මඩනා ලද සිතුවිල්ල නිසයි.

ඉන්පසු ඔවුන් කුමන දෙයක් කළත් අපේ හිතේ පැලපදියම් වුණු අර සිතුවිල්ල තමයි ඊට පස්සේ ඉස්සරහට එන්නෙ. මේ නිසා වෙන්නැති අර කියමනක් තියෙන්නේ “මංගල දා රැයේ දී මනාලියට සිහිපත් වෙන්නෙ තමන්ගේ පළමු ආදරවන්තයා” කියා… ඒත් අලෙවිකරණයේ කියන්නේ “පළමු දැක්ම ම නිසියාකාරව දැකිය යුතු වන්නේ එය නිවැරදිව කරන්නට දෙවැනි මොහොතක් නොඑන බව”යි කොහොම උනත් අපි හැම තැනකම සොයන්නේ අපි කවුරුත් කියලා ද තමයි ඊළඟට මතුවන ගැටළුව.

 

මං හිතන්නේ අපි ඉස්සෙල්ලම හොයන්නේ අනිකා  කවුද මොනවද කරන්නේ කියලා නොවේද? එතැනදී අපි කවුද කියලා සිතුවා නම් අනිකා කවුරු වූවත් අපට මොකද? අපි කවුද කියලා දන්නවා නම් අපිට තියෙනවා ශක්තියක් අපි ගැනම. එතකොට මොන රැලි පෙරැළි, පෙරලී ගෙන ආවත් අපි සැලෙන්න හෝ යට විය යුතු නෑ නේද? ඔන්න එතනදි අපිට පුලුවන් අපි කවුද කියලා සොයාගෙන යන ගමනේ ඇරඹුමක් ඇති කරගන්න.අපි අනුන් ගැන සොයන්නේ, අපි  ගැන වත් හරියට නොදන්න නිසා. මුලින්ම අපි දන්නවා නම් අපි කවුරුද කියලා, මේ ගැටලු මතු වෙනවා ද? මූලික දේ නම් අපි දන්නවා නම් අපි දන්නේ නැහැ කියලා, අපි කවුද කියලා, අපිට පහසුයි අපි කවුරුද කියලා දැනගන්න. හිල් වුනු කලේකට වගේම පිරුණු කලේකටත් වතුර පුරවන්න බැහැනේ. අපි කවුද කියලා නොදන්නා බව දන්නේ නම් පහසුයි අපිට පිරෙන්න. එහෙත් මේ ප්‍රශ්නය බුද්ධිමය සංවාදයකට හරවා නොගත්තොත්, අප සියලු දෙනාම අමාරුවේ වැටෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. ඒ නිසා අපිට මූලික කුහුල ඇත්තේ අනිකා පිළිබඳ දැනගැනීමට යි. එම ජානමය පළපුරුද්ද මෙහිදී අප විසින් ප්‍රයෝජනයට ගැනීමයි වැදගත් වෙන්නේ. එසේනම් අප අනුන් තුළි න් අපව දැකීමට ඔවුනට කැඩපතක් කරගනිමු. අපි අපේ ප්‍රතිබිම්බය මතින් ඔවුන් ද, ඔවුන් දකින අප තුළින් අපව ද දකිමු. මේ සඳහා මාර්ග දෙකක් අපිට විවරව ඇති බවයි මගේ අදහස.

  1. භාවනාව මගින් අප අපවම සොයාගැනීම
  2. සන්නිවේදනය මගින් අපි අනිකා ද, අනිකා මගින් අපව ද හඳුනාගැනීම

 

වර්තමාන සමාජයට අනුව අපට කළ හැකි නම් යහපත් ම දෙය භාවනාව මගින් වඩවා ගන්න සිත මගින් අප කවුද කියා හඳුනා ගැනීමයි. එහෙත් එය මේ මොහොතේ කොතරම් ප්‍රායෝගිකව කළ හැක්කේ ද යන්න විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. සංකීර්ණ වූ සමාජයක මිනිස් සත්ත්වයා අද ඉන්නෙ ප්‍රපංච ගතවෙලා. එහෙයින් ඔහු ද මේ තාක්ෂණික ලෝකයේ න්‍යෂ්ටික සත්වයකු බවට පත්වෙමින් සිටිනවා. මේ තත්ත්වය මත ඔහු දැනුම්වත් කරන්නේද තොරතුරු තාක්ෂණය මගින්.

තොරතුරු තාක්ෂණය වර්තමානයේ දී මුළු ලොවම එක යායක් කරන බව වෝල්ටර් බෙන්ජමින් කියනවා. එහෙත් එය ගැඹුරින් සලකන කලෙක අපට පෙනෙන්නේ ලෝකය එක යායක් කරගන්නේ බහුජාතික ඒකාධිකාරී වෙළෙඳ සමාගම්  වලින් බවයි. ඔවුන් සිය භාණ්ඩ හා සේවා වෙළඳපල පුළුල් කරගන්නට, ලෝකයේ බොහෝ රටවල පාරිභෝගික වැදගත්කමක් ප්‍රචාරණය මගින් ලබාදෙනවා. මෙසේ කරන්නේ බ්‍රොයිලර් න්‍යායෙනි. ඔවුන් එයින් පෝෂණය හෝ ආරක්ෂණ ප්‍රතිපත්තීන් මත සංවර්ධනය කරනවා යැයි කියන රටවල්, පසුකාලීනව ඔවුන්ගේ අමුද්‍රව්‍ය,සපයන්නා හෝ වෙළඳපල බවට පත්කර ගන්නවා. මේ අර්ථයෙන් ඔවුන්ට කුමන සංස්කෘතික ජන පද්ධතීන් හා විවිධ භූගෝලයන් තිබුණද, ඒවා තමන්ට එකම යායක්. සැපයුම්කරුවන් ඉදිරියේ එකම පාරිභෝගික සමාජයක්.

මේ සියල්ල අපට හමුවන්නේ බෙදාහදා ගත හැක්කේත්, තොරතුරු සන්නිවේදනයේ මෙවලම් මගින් මයි. එතනදී අපට එය යානයක් කරගන්නට සිදුවනවා නේද? තොරතුරු විවිධ මාධ්‍ය මගින් සන්නිවේදනය වෙනවා. මේ හඳුනා ගැනීමේදී පළමු දැක්මකින් නිවැරදි කරන්න බැරි තැනකට අපට අරගෙන ගිහිල්ලා. මේ නිසා අප  බොහෝ දෙනෙක් ඉන්නේ තමන්ගේ හිත කියවන, තමන් නියෝජනය කරන හා තමන් ට කියාගන්නට වුණද, නමුත් කිව යුතු දේ ඇති තැනකට ගාල් වීමටයි. අපි මුලිනුත් එයම කීවා. මේ නිසා තොරතුරු සන්නිවේදනය එම තාක්ෂණය අද බොහෝ දෙනකුගේ භාවනාව වෙලා අවසන්. මේ භාවනාව හරියාකාරව කොතනකවත් සිද්ද වෙනවාද කියලා කියාගන්න නෙවෙයි හිතාගන්නවත් අමාරුයි. සන්නිවේදන කලාවත් අද ඇතැම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන ගණනට වැටී තිබෙනවා

. ඔවුන් මුලදී සිය පාරිභෝගික අල්ලා ගැනීමට විවිධ අලෙවි උපක්‍රම භාවිතා කරනවා . මිල, ප්‍රමාණය, අඩංගු දෑ හා ප්‍රතිලාභ මේ අතර වෙයි. සන්නිවේදනයද වර්තමානයේ සිදුකරන්නේ එයමයි. ඔවුහු ආරම්භයේ දී සාධාරණ මිලක් නියම කරයි. ව්‍යාපාරයේ සවිය, එක්වෙනුව, දෙවනුව හා තෙවනුවත් පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා ම බව කියයි. එහෙත් මඳ කලෙකින් ඔවුහු වෙළඳපොල ප්‍රවිශ්ටය සාර්ථක කර ගත්තොත්, මිල ඉහළින් නියමවෙයි. රසය කුණුවී, ප්‍රේක්ෂක, පාඨක හිමිකම වසාගෙන වෙළෙඳ දැන්වීම්වලින් දෑස් පුරවයි. මේ නිසා නූතන තාක්ෂණයේ සළුපිළි පටලවාගත් තොරතුරු සන්නිවේදනය අද වෙද්දී සිය ප්‍රේක්ෂකයා දැනුවත් කරන්නට හෝ ඔහුට තමන්ගේ අයිතිය කියා දෙන්ට වත් නොවේ ඉදිරිපත් වෙන්නේ. තමන්ට ලැබී ඇති න්‍යාය පත්‍රය මුලට ගැනීම වෙනුවෙන් ඔවුහු සිය ප්‍රේක්ෂකයා හා පාඨකයා කර මතින් යාමට ඉදිරිපත් වෙයි. මේ නිසා අප හැබෑවටම දැනුම්වත් විය යුතුයි. එහිදී පියවි ඇසින් අපට පෙනෙන දෙයට එහා ගිය යථාර්ථයක් කරා අප යොමු විය යුතු නොවේද? එසේ නොවන්නට අපට සිදු වන්නේ හැකිතාක් දුර වින්දිතයන් වී සිටීමටයි. අප අවුරුදු හැත්තෑවකට වඩා වින්දිතයන් වී සිටිමු. රජවරු එකසිය අසූ හතක් යටතේ වින්දිතයන් වූ එදා මිනිසාට වඩා වත්මන් සමාජය බොහෝ ඉදිරියෙන් යැයි අපි අසමු, කියවමු. එහෙත් එදා මිනිසාට වඩා නොදියුණු මිනිසුන් ලෙස හැසිරෙන්නේ නැතැයි අපට කිව හැකිද? එදා මිනිසාට තමන් අනුදත් විනයක්, සංස්කෘතියක් හා ඇදහීමක් තිබුණි. අද දියුණු සමාජයේ මිනිසාට සැබෑ නායකයෙකු තබා සැබෑ දැනුමක් ද නැත. කොටින්ම ඔවුන්ට විනයක් ඇත්තේ ම නැත එසේනම් මේ දියුණු, ඉතා සංකීර්ණ බඩු භාණ්ඩ ඇති භූමියක අපි අද ඉතා නොදියුණු මිනිස් කොටසක් බවට පත් වෙලා නැද්ද? මේ දැනුම්වත්භාවය අප හරියට තබාගත යුතුයි නේද? එසේනම්, අප අවබෝධයෙන් පෝෂණය ලබමින්, සැබෑ දිශානතියකට යාමේ අවස්ථාව තවත් පස්සට දැමිය යුතු යැයි මම නොසිතමි. අපි ඒ නිසා විවෘත සංවාදයක යෙදෙමු. අපි අපේ න්‍යායපත්‍ර දැන් මඳකට අකුලගෙන, පොදු න්‍යාය පත්‍රයකට යාමේ අවසර පැහැරහැරියොත් විනාශ වන්නේ අපගෙන් ම ය.  දැනටමත් ඉතා දියුණු මනසක් ඇතැ යි සිතා සිටින, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලබා ඇතැයි කියන, නව තාක්ෂණවේදයන් ඔප නැංවුණු දැනුමක් ඇති මේ තාරුණ්‍ය හා පැසුනු උන් කරන දේවල් අපට නො පෙනේ ද? මේ සියල්ලටම හේතුව තමන් කවුරුන්ද කියා මෙන් ම, අනෙකා කවුරුන්ද කියා හෝ නො දැනීම නිසා නොවේද? එබැවින් අපි අද පටන් මේ කියවීම භාවනාවක් කරමු. අපි ඒ නිසාම විවෘත වෙමු. කිල්ලෝට වල තිබෙන හුණු වලට ගල් වෙන්න කියමු

මහත්මා ගාන්ධි කියන්නේ “මාධ්‍ය සිව්වන බලය” බවයි “ඒවා නිශ්චිත බලයක් එහෙත් එය අවභාවිත කිරීම අපරාධයක්” කියලා. අපි අව භාවිතා කරන්නේ එක් එක් අයගේ කොන්ත්‍රාත්තු වලට යට උනා ම. ඒ නිසා එම බැඳීම් හා බියවැද්දීම් පැත්තකට දමා අවශ්‍ය තැන අවශ්‍ය ලෙසට නැගිට සිටිමු. “මෙන්න සතා, මෙන්න පොල්ල” න්‍යායෙන් මිදී, පොල්ල අතට ගෙන සතා පලවාහරින්නට කාලය දැන් අපේ දොරකඩට ම ඇවිත් තට්ටු කරනව. ඒත් අපි ඉන්නේ, නැසූ කන් ඇති නියාවෙන් නොවේද? ගාන්ධි තව දුරටත් ඔහුගේ කියමන දිගු කරනවා. මම හිතන්නේ අපි අද ගල් විය යුත්තේ, එක් විය යුත්තේ එතනට කියාය.

“මාධ්‍යවේදියෙකුගේ අරුම පුදුම කාර්යය වනුයේ රටේ මනස කියවා නිවැරදි සහ නිර්මිත ප්‍රකාශනයක් මනසට ලබා දීමයි”

ඉතින් අපි එය කරමු!!!

 

One Response

  1. සරල එමෙන් ගැඹුරු සමාජ විග්‍රහයක්. යතාර්ථයෙන් මිදී මුලාවී අඳුරේ අත පත ගාන උදවියගේ දෑස් විවර කරවිය යුතු කාලයක මෙවන් ලිපි අතිශයින් අර්ථවත්.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත