ටෙලිවිෂනය හා රසික ප්‍රජාව

 

අපි ගුවන් විදුලියට සවන් දුන්නෙමු.රූපවාහිනිය නැරඹුවෙමු.සමාජ මාධ්‍යයට සවන් දෙමින් නැරඹුවෙමු. මේ හැමෝම අපට එක ගොඩකට දමා “රසිකයන්” ලෙස හදුන්වා දීමේ හැකියාව තිබේ. 2019 වර්ෂය වන විට අපට රූපවාහිනිය වූ, ටෙලිවිෂනය 1926ට වඩා විවිධාකාරයෙන් රුව ගුණ වෙනස් වී තිබේ. ලොව ඒ ඒ රටවල ටෙලිවිෂන් නරඹන්නේ එකම ක්‍රමයකට නොවේ. නරඹන ක්‍රම (TV Systems) විවිධය. ඇමෙරිකාව NTSC ක්‍රමයෙන් නරඹන විට අප නරඹන ටෙලිවිෂනය PAL ය. යුරෝපයේ ඇතැම් රටවල SECAM ය. ජපානය  HDTV හඳුන්වා දුන්නේය. 4 X 3 ප්‍රමාණය (Ratio) වෙනුවට 16 X 9 වශයෙන් තිරය වෙනස් වී තිබේ. පුළුල් තිරය,පැතලි තිරය, කුඩා ටෙලිවිෂන වෙනුවට විශාල ප්‍රමාණයේ ටෙලිවිෂන වෙළඳපලට ආවේය. මුලින්ම ආ කළු සුදු ටෙලිවිෂනය මේ වන විට දැක ගත නොහැකි ආකාරයෙන් මුලු ගැන්වී තිබේ. සාලයට ආභරණයක් වූ ටෙලිවිෂනය දැන් කාමර ගත වෙමින් පවතී. “ The Tele set is seen as bringing the harsh realities of outside world into the living rooms and filling children’s minds with sex and violence…..” ( From eye concepts in television studies)

මෙයින් ගම්‍ය වන්නේ ටෙලිවිෂනය නම් අපුරු භාණ්ඩය ගෘහය නම් ආරක්‍ෂිත පරිසරයට ආක්‍රමාන්විතව පිවිස බාහිර පරිසරයේ අප්‍රසන්න යථාර්ථයන් සාලයට හෝ කුටි වලට වැද්දගෙන දරුවන්ගේ සිත් සතන් ලිංගිකත්වයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පුරවන බවකි.

 

ටෙලිවිෂන වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂකවරයෙකු වූ ගැරී ග්‍රොස්මන් දැන් හැදෙන ටෙලිවිෂන වැඩසටහන් වලට වඩා කලකට පෙර තිබුන ටෙලිවිෂන වැඩසටහන් හොඳ බව මිට ටික කලකට පෙර ප්‍රසිද්ධියේ පල කළේ තමා එසේ කරන්නේ විෂයට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස නොව දරුවන් සිටින පියෙකු වශයෙනි. ළමා පිරිස අප මුලින් කී රසික කණ්ඩායමේ එක කණ්ඩායමක් ලෙස හුදකලා කොට ගත හොත් එවන් අනර්ථයක් සිදු වීමේ හැකියාව ඇති බවට තර්ක ඉදිරිපත්ව තිබේ.

ජෙෆ් ජාවිස් (jeff Jarvis ) ග්‍රාහකයින්ගේ පක්ෂයේ සිට සමස්ථ මාධ්‍ය  පාලනය නරඹන පිරිස අතට දිය යුතු බව පවසයි.එය ප්‍රයෝජනයට ගන්නා බවද සඳහන් කරයි. (Give the people control media .they will use it) හැබැයි ජෙෆ්ගේ අදහස නොපිළිගන්නා කණ්ඩායම් තරයේ අදහස් කරන්නේ මාධ්‍ය  පාලනය කිරීමට ජනතාවට නොදිය යුතු බවය.මේ තර්ක විතර්ක ගැන යමක් ඉදිරියට කතා බහ කිරීමට තබා ටොම් ක්ර්ලි නම් සුප්‍රසිද්ද පුවත්පත් කලාවේදියා නඟන ප්‍රශ්න කිහිපයක් යොදා ගැනීමේ හැකියාව තිබේ.

ජෙෆ් ජාවිස් ( ඡායාූරූපය විකිපීඩියා වෙබ් අඩවියෙනි)

  • මාධ්‍යයේ උපයෝගිතාවය කුමක් ද?
  • උපාය මාර්ග මොනවා ද?
  • මාධ්‍ය  භාවිතා කරන්නේ කුමන වේලවලදී ද ?
  • මාධ්‍ය භාවිතයට ගනු ලබන්නේ කුමන ස්ථානයකදී ද?

 

ඔහු උත්සාහ දරා ඇත්තේ රසිකයින් හෝ ග්‍රාහක පිරිස් වල ඇතුළාන්තය විමසුමට ලක් කිරීමය.අප කතාබහ කරන ග්‍රාහක,ප්‍රේක්ෂක,ශ්‍රාවක නැතිනම් රසික පිරිසට මාධ්‍ය බලපාන්නේ කෙසේ ද?

 

වයස  – Age

ජනවාර්ගික – Ethnic

ස්ත්‍රී/පුරුෂ – Gender

ජාතිකත්වය – Nationality

ආගමික – Religions

සාමාජික – Social

ආර්ථික- Econoic

වශයෙන් මේ පිරිස හදුනා ගනිමු.

 

එයාකාරයෙන් විවිධ වූ ග්‍රාහක පිරිස මාධ්‍යයේ අවශ්‍යතාව උදෙසා කුඩා කණ්ඩායම් වලට බෙදාගැනීමේ හැකියාව තිබේ. ඒ පිරිස ඉලක්කගත පිරිස (Target Audience) ලෙස හඳුනා ගනිමු.

තවත් ආකාරයකට ද ග්‍රාහක පිරිස හඳුන්වා දෙනු ලැබ තිබේ.එය නිත්‍ය හෝ හඳුනා ගත් ග්‍රාහක පිරිස (Real Audience) වේ.මේ පිරිස සංයුක්ත කණ්ඩායමකි. සන්නිවේදකයා සමග මුහුණට මුහුණලා සිටින ග්‍රාහක පිරිසක් ද සිටි. මේ කණ්ඩායම සමීපතම පිරිසය. (Immediate) මේ පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර එසැණය  (Live)

තවත් ආකාරයක ග්‍රාහක පිරිසක් ද හදුන්වා දෙනු ලැබ ඇත. ඒ පිරිස හඳුන්වන්නේ මාධ්‍යවර්තී ප්‍රේක්‍ෂක (Mediated Audience) ලෙසය.මේ පිරිස අප කතාබහට ගන්නා  ටෙලිවිෂනය, රේඩියෝව,අන්තර්ජාලය පිලිබඳ සිත්ගත් කණ්ඩායම වේ. එම පිරිස මෙතෙකැයි ක්‍ෂණයකින් හඳුනා ගැනීම අසීරුය. ඒ සඳහා මත විමසුමක් (Opinion Poll) කළයුතු වේ.

උපකල්පිත (Imagined) ප්‍රේක්ෂක පිරිසක් ද හඳුන්වා දෙනු ලැබ තිබේ.

අනෙක් ප්‍රේක්ෂක කණ්ඩායම වෙනස් පිරිසකි.විශ්වීය ලෙසින්(Universal) මේ පිරිස හඳුනා ගත හැකිය.

ප්‍රසංග, ක්‍රීඩාතරග ,සංගීත සංදර්ශන, නාට්‍ය,සිනමාව,මංගල උත්සව මේ ආදී සියලුම අවස්ථාවල ප්‍රේක්ෂක සහභාගිත්වය (Audience Participation) වැදගත් කොට සැලකේ.ප්‍රේක්ෂක සහභාගීත්වය ලබා ගැනීම උදෙසා විවිධ ක්‍රමෝපායන් උපයෝගී කර ගනු ලැබේ.උදාහරණයක් ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති එක් අවස්ථාවක් 1984 ඔලිම්පික් උළෙලේ සියලුම ආසනවල උළෙලට සහභාගී වූ රටවල ජාතික කොඩි තබා ඒ බව නිවේදකයා විසින් පැහැදිලි කිරීමයි.

ටෙලිවිෂනයේ ප්‍රේක්ෂක සහභාගිත්වය ලබා ගැනීම වස් නිෂ්පාදන අධිකාරියේ සිටම විවිධ උපක්‍රම යොදනු ලැබේ,

ඕනෑම මාධ්‍යයක ඉලක්කගත ප්‍රේක්ෂක පිරිස(Traget Audience) විශේෂිත කණ්ඩායමයි.වැඩසටහන් නිෂ්පාදකයා තමන්ගේ වැඩසටහන සඳහා ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසක් උපමානය කරයි.එම උපමානය නිවැරදැයි ස්ථිර නැත.උදාහරණයක් වශයෙන් ළමුන් ඉලක්ක කරගත් වැඩසටහනක් බොහෝ විට වැඩිහිටි අය ද නරඹන අවස්ථා දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ළමා වැඩසටහන් බොහොමයක් වෑඩිහිටිය්න නරඹා ඇති බවට සාධක ඉදිරිපත් ව තිබේ.

විශේෂයෙන් විධිමත් අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කරන්නේ නිශ්චිත නැරඹුම් පිරිසක් එල්ල කර ගෙනය.(Formal Educational program) උදාහරණයක් ලෙස යම් ශ්‍රේණියක විෂයමාලාවේ ඒකකයක් පාදක කරගෙන වැඩසටහනක් හෝ වැඩසටහන් මාලාවක් පිළියෙළ කෙරේ.

 

ඒ ඒ රටවල විවිධ ටෙලිවිෂන ජාල වැඩසටහන් කාලින අවශ්‍යතා අනුව විකාශයට තෝරා ගනී.ලෝකයේ ඉතා සීමිත ටෙලිවිෂන යන්ත්‍ර  සංඛ්‍යාවක් තිබුන 1953 වසරේ මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහා රැජිනගේ මෞලි මංගල්‍යය,බිලියන දෙකකට වැඩි පිරිසක් නරඹා ඇතැයි වාර්තා වේ. ඒ් සදහා ටෙලිවිෂන මිලදී ගෙන තිබේ. ලෝක ජනග්‍රහණයෙන් 47% ක් මේ අවස්තාව නරඹා ඇති බව තවදුරටත් සඳහන්ය.1969  සඳ ගමන මිලියන 530ක පිරිසක් නැරඹු බව සඳහන් වෙයි.

2011 පකිස්ථානය හා ඉන්දියාව අතර පැවතී ලෝක ටෙස්ට් තරගය බිලියන එකකට ආසන්න පිරිසක් නරඹා ඇති බව අනාවරණය වුයේ The Guardian සගරාව කළ සමික්ෂණයකිණි.

චාල්ස් ඩයනා විවාහ මංගල්‍යයේ සජීවී විකාශය,ඩයනා කුමරියගේ අවමංගල්‍යය, මයිකල් ජැක්සන් සැමරුම් මෙහෙය, එල්විස් ප්‍රෙස්ලි හවායි නුවර පැවැත් වූ ප්‍රසංගය, විලියම් කුමරු හා කැතරින්  මිඩ්ල්සන් මංගල්‍යය ලොව පුර ප්‍රේක්ෂක ඇස් යොමු කරවා ගත තවත් අවස්ථා කිහිපයකි. Worldcup (FA cup) footbool ඇතුලු ක්‍රීඩා තරග ද මේ අතර වේ.

චීනයේ ජාතික ටෙලිවිෂනය හඳුන්වන්නේ CCTV (China Central TV) නමිනි.එරට ප්‍රධාන පුවත් සගරාව හඳුන්වන්නේ “Xinwen Liando” නමිනි.දිනපතා මිලියන 135 ක ප්‍රේක්ෂක අවධානයක් ලබා ගන්නා ජනප්‍රිය මේ වැඩසටහන තුළ වෙළඳ දැන්වීමක් අලෙවි වන්නේ යුවාන් මිලියන 5.4 කටය.

ප්‍රධාන වශයෙන් ටෙලිවිෂන ග්‍රාහක සමීක්ෂණ ආයතනය ලෙස පිළිගනු ලබන්නේ “නිල්සන්” සමාගමයි.ශ්‍රී ලංකාවේ “LMRB“ ආයතනය වෙළඳ ආයතන සඳහා අවශ්‍ය දත්ත ලබා දෙයි.සිය සේවාදායකයින්ගේ දැන්වීම් ස්ථානගත කිරීමේදී “ඇඩ්” ඒජන්සීස් ප්‍රයෝජනයට ගන්නේ එම දත්තය.

ටෙලිවිෂන වැඩසටහන් නිෂ්පාදනය ව්‍යාපාරයකි.ඒවා අලෙවි කිරීම සඳහා දැඩි තරගකාරිත්වයක් ද පවතී.මෙහි උපමානය වශයෙන් ගන්නේ රට තුළ ඇති ටෙලිවිෂන සංඛ්‍යාවයි. උදාහරණයක් වශයෙන් බංගලාදේශයට යම් වැඩසටහනක් අලෙවිකරණ මිලට වඩා කිහිපගුණයකින් ඉහල මිලක් ආසන්න තවත් රටකට ඉදිරිපත් කරනු ලැබේ.

මාධ්‍ය සංවර්ධනය (Media Development) සහ මාධ්‍ය ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී අවකාශය (Space) හෝ කාලය (Time) තවදුරටත් සාධකයක් ලෙස පිළිගනු නොලැබේ.අද ඇත්තේ ජාතික මායිම් ඉක්ම වූ Trans national media market එකකි.උදාහරණ වශයෙන් Baywatch, Mr Bean වැනි වැඩසටහන් නිර්මාණය කෙරෙන්නේ සාමාන්‍ය පන්ති ඉලක්ක කරගෙනයි. එසේමප්‍රේක්ෂකයා ලෝකය තේරුම් ගන්න අකාරය මත පිහිටාය.වැඩසටහන් පරිභෝජනය වන්නේ ,

ප්‍රේක්ෂකයා වැඩසටහන් නරඹන ආකාරය සහ අන්තර්ගතය අනුව ද වැඩසටහන් විවිධ වේ.

 

  • හුදෙකලාව /තනිව නැරඹීම ( Watch Alone)

  • පවුල් වශයෙන් (Family Watch)

  • එක සාමානයන් ( Friends ect)

 

Baywatch වැඩසටහන ජනප්‍රිය ටෙලියකි.(Soap opera) සමහර විට එම වැඩසටහනම තවත් පිරිසක් ලිංගික ප්‍රබෝදය ඉලක්ක කරගෙන ගිජුව නරඹනු ලැබේ.බී.බී.සි. ආයතනය ස්වකීය වැඩසටහන් පිලිබන්දව සංකීර්ණ  මට්ටමෙන් අවධානයට ගනු ලබන නමුත් වෙනත් ටෙලිවිෂන සේවා හුදෙක් ප්‍රේක්ෂක ප්‍රමාණය (Audience Size) හෝ සංයුතිය (composition) අවධානයට ගනු ලැබේ.

 

ශ්‍රී ලංකාවේ තත්වය කුමක්ද?1980 දශකයේ ටෙලිවිශයනය මෙරටට හදුන්වා දුන් මුල්  යුගයේ සිට සමීක්ෂණ සිදු කෙරේ.ශ්‍රී ලංකා රුපවාහිනිය ආරම්භ කළ වර්ෂයේ සිට රුපවාහිනි පර්යේෂණ  අංශයක් සෘජුව අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පැවතිනි. නිෂ්පාදන කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිෂ්පාදන තොරතුරු ලබා දීම ද එම අංශයේ වගකීම විය.වැඩසටහන් පිලිබඳ සමීක්ෂණ නිරන්තරයෙන්ම සිදු විය.

ලොව බොහෝ රටවල ප්‍රචණ්ඩත්වය පිලිබඳ ටෙලිවිෂනයට ඇඟිල්ල දිගු විය.ජර්මනිය මේ පිලිබඳ පුළුල් පර්යේෂණ පැවැත්වීමේ ප්‍රතිපලයකි  Television & Violence නම් වූ කෘතිය එළි දැක්වීම. මීට සමාන සිද්දියක් ශ්‍රී ලංකාවේද දක්නට ලැබේ. මඩිහේ පඥ්ඥාසිහ මහනායක හිමියන් එවකට රාජ්‍ය ඇමති ආනන්ද තිස්ස අල්විස් මහතාට ලිපියක් යොමු කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් කොළඹ පදනම් ආයතනයේ දෙදින සමුළුවක් පැවැත්විණි. එහිදී පත්‍රිකා 19ක් ඉදිරිපත් වූ අතර ඒ්වා මුද්‍රණය නොකළ නමුත් ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබීය.කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්. එස්.සිල්වා මහතා දරුවන් සම්බන්ධයෙන් ටෙලිවිෂනයේ බලපෑම විමසුමට ලක් කරනු ලදුව වාර්තාවක් 1980 දශකයේ දී නිකුත් කරනු ලැබිය. කැලණිය විශ්ව විද්‍යාලය සම්බන්ධ කරගෙන කතෝලික සිනමා පර්ශදය එවැනිම අධ්‍යයනයක් සංවිධානය කළේය. ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ පර්යේෂණ අංශය වැඩසටහන් වල රුව ගුණ විමසා බැලීමට පර්යේෂණ 200කට අධික සංඛ්‍යාවක් අතීතයේදී සිදු කර ඇත ද එම අංශය මේ වන විට ඉන් ඈත් වී සිටීම කනගාටුදායකය.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රූපවාහිනී වැඩසටහන් ආරම්භ කිරීමට පෙර නියාමක ව්‍යාපෘතියක් පැවැත්වීමට අමතරව වැඩසටහන් පාසල් සිසුන් ඉදිරියේ අත්හදා බැලීමද මෙහිදී සිහිපත් වේ.එසේම එම වැඩසටහන් පිළිබඳව සාධනීය පර්යේෂණ කිහිපයක්ම සිදු කර තිබේ. එහෙත් මෙරට විධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ටෙලිවිෂනය පලදායී වී නොමැත.

ටෙලිවිෂනය හුදෙක්ම පෞද්ගලික මාධ්‍යයකි.සුවපහසුවට පසෙකට වී සුදානම්ව තෝරාගත් (selective) කාර්යයකි.ටෙලිවිෂනය ක්ෂණික (immediacy) මෙන්ම සුහදශීලි (intimacy) මාධ්‍යයයි.ටෙලිවිෂනය සෘජුවම ප්‍රේක්ෂක ආකල්ප හා චර්යාව කෙරේ බලපෑමක් කෙරෙන මාධ්‍යයයි.ඒ නිසා මාධ්‍ය ආචාර ධර්ම ,ප්‍රමිතීන්,නීතිරීති කෙරෙහි අඛණ්ඩ අවධානයකින් පැවතියේ වුවද ප්‍රේක්ෂක අවධානය ගිලිහි යන අවස්ථා ජාතික වශයෙන් ද ජාත්‍යන්තර වශයෙන් ද දක්නට ලැබේ..

ටෙලිවිෂනය පොදු යහපත (public good) අමතක නොකළ යුතු වන්නේ මෙහෙයවන්නන් හා නිෂ්පාදකවරුන් විසිනි.

පියදාස රත්නසිංහ

alochana@ime.edu.lk

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත