මොටාගෙදර වනිගරත්නයන්ගේ සියුම් තෙලිතුඩින් ඉඳිවී තරුණි පත්තරයෙන් මතුවූ නාරිලතාවන්ගේ පුන් පියයුරු පුළුලුකුල සල දුහුල් සේලයෙන් වැසී අම්මාගේ ගෙත්තමින් පුටු කවර වලට ගොඩ වෙනු කුඩා අපි විස්මිතව බලා සිටියෙමු.
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටිනැයි සිරි රහල් හිමියන්ද , ලකල මුව තඹර සියොගත සියුමැලියේයැයි මොරතොට හිමියන්ද , වැනූ නාරි ලාලිත්‍යය කුමරියක පා සළඹ සැලෙන හඩින් චිත්ත රූපයට නඟා ගන්නට මුහුකුරා යද්දී අපි උගත්තෙමු. රූප පෙට්ටියෙන් එව බලවයි එකම රූපයකට අප සීමා කරවනතෙක් අප මැවූ මනෝමය සිත්තම් එකිනෙකාගේ අත්දැකීම් සිතුවිලි හා ආශාවන් ඇසුරු කර ගත් තම තමන්ටම ආවේණික විචිත්‍ර වින්දනයක් ම විය.
කොකේසියානු ,මොංගෝලියානු හා අප්‍රිකානු ආදී වූ පුරාතන සම්භවයන්ගෙන් ද, මහාද්වීපික හා දේශගුණික කඩයිම් වලින් ද වෙන් වූ අපි සංක්‍රමණයෙන්, ආක්‍රමණයෙන් හා අහඹුවෙන් සිදු වු සම්මිශ්‍රණයෙන් විවිධාකාර වූත් සමාන වූත් දේහ සලකුණු හැඩතල උරුම කර ගෙන සිටිමු .අපගේ වාර්ගික උරුමයන්ගේ සංස්කෘතික ඌරුව, අප ප්‍රිය කරන, අනුදකින ප්‍රියංකර සේ හඟින හැඩකල කෙරේ දැඩිව බලපායි. සඳ පානේ කන්ද උඩින් ආ ගෝමරීයකගේත්, මීන නුවන් අගින් බැලු මීනාගේත්, සඳ බලන්නට එන්නට කෝල වූ ෆාතිමාගේත් සුන්දරත්වය ,සංස්කෘතික කඩතුරාවෙන් වෙන් වෙන් වූ ත්, අපේ කමින් සබැඳි ඇත්තා වූ ත් මිහිරි අත්දැකීමක් වනුයේ එහෙයිනි.
කාලානුරූපීව ද දේශ දේශාන්තර ආදි නෙක ඇසින් බලද්දී ප්‍රශස්ත නාරි රුව ගෙනෙන පිළිබිඹු විචිත්‍ර වේ. ග්‍රීක වීනසියගේ සිහින් සුකොමළ රුවත් පසුකාලීනව මයිකල් ඇන්ජිලෝ ගේ පළමු මාතාවගේ පිරුණු සිරුරත් මේ කාලීන වෙනස්කම් පසක් කරයි. පියකරු බවේ මාපකයන්ද ඒ නිසාම ඒ ඒ යුගය,සංස්කෘතිය ,දේශිකත්වය සහ පුද්ගලයා ට ආවේණික සහ අනන්‍ය වේ. දේහ පරිමිතියේ දර්ශකයක් ලෙස සාම්ප්‍රදායික ජෛව මානයන් (vital statistics) එනම්, පියයුරු ඉඟ සහ උකුල් තල අතර අඟල් 36-24-36 පරිමාණය කිසිවිටෙකත් සර්වෝපයෝගී නොවේ. ඒ නිසාම පුන් පියයුරු සිහිනිඟ හා පූළුලුකුල සුවිශේෂී කොට දකින ඉන්දියානු නාරි රූ දැක්මත් කුඩා පියයුරු සිහිනිඟ සහ සිහින් උකුලැති යුරෝපීය පිළිබිඹුවත් එකම මිම්මෙන් සසඳනු නො වටී.
රූප කාය පිළිබඳ ආකර්ෂණය ලලනාවන්ට ම සීමා නොවේ. පෙර කල සිටම කාන්තා රූ සපුවට මෙන්ම පුරුෂ සෞන්දර්යට ද පැවැති මාපක කාලානුරූපීව, දේශානු රූපීයව හා ජන කොට්ඨාස අනුව වෙනස් විය. එනිසාම අප්‍රිකානු හැඩිදැඩි අයෝමය කාය විලාශය සේම කොරියානු සුකුමාල සුමට කාය විලාසය ද යව්වනයේ ආකර්ෂණය දිනා සිටී. එබැවින් සැබෑ පෞරුෂය පිළිබඳ දැක්ම ද පරිණාමයට පත් වෙමින් පවතින බව පෙනී යයි.
අප දකින, විඳින ,සතපවන, සරසවන, සුව එළවන, වැහැරෙන විට දුක්ඛ දෝමනස්සයන් ගෙන දෙන කංචුකයේ විවිධ පැතිකඩ , සුන්දරතා, ප්‍රිය උපදවන හැඩ තල වල කාලික හා අකාලික වෙනස්කම්, හා ඒවාට දිය හැකි පිළියම් පිළිබඳ පිළිසඳරක පුරෝකථනයයි මේ.
යසස් අබේවික්‍රම
alochana@ime.edu.lk

