1913 උපත ලබන මැකින්ලේ මොර්ගන්ෆීල්ඩ් (McKinley Morganfield) සංගීත ක්ෂේත්රයට ඇතුල් වෙනකොට ගන්න අන්වර්ථ නම මඩී වෝටර්ස් (Muddy Waters).
වර්තමාන ජනප්‍රිය සංගීතය ඇතුළේ, විශේෂයෙන්ම ලංකාවේ, නම ඉඳ හිටවත් නොකියවෙන මඩී පොඩ්ඩකට පැත්තකින් තියල, අපි බ්ලූස් කියන සංගීත සම්ප්රදාය දිහා බලමු..
බ්ලූස් (Blues) කියන සංගීත සම්ප්රදාය උපත ලබන්නේ සංස්කෘතික, සමාජමය, ආර්ථික සහ දේශපාලන වශයෙන් හරිම අනන්‍ය දකුණුදිග ඇමරිකාවේ.
ජෑස්, R&B, රොක් යන සියලුම සංගීත සම්ප්‍රදායන්වල මුල් බ්ලූස් සංගීත සම්ප්‍රදායට සම්බන්ධයි. අද ඉන්න ජෑස්, R&B, රොක් විතරක් නෙවෙයි කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් සංගීතවේදියොත් කතා කරනකොට නිතර කියන දෙයක් තමයි අපි හැමෝගෙම මුල් බ්ලූස් වල තියෙනවා (‘We all have our roots in Blues’) කියන එක.
නුහුරු බවක් මුලින් දැනෙන්න ඉඩ තිබුණත්, බ්ලූස් සම්ප්රදායේ නාද මාලා හොඳින් අහගෙන හිටියොත් අපේ ජන සංගීතයේ ඇහෙන සමහර දේවල් ඔබට ඇහෙන්න ගනීවි.
වහල් මෙහෙයේ යෙදුනු අෆ්රිකානු සම්භවයක් ඇති කළු අමරිකානුවන්ගෙන් සම්භවය ලබන බ්ලූස් වල ඔවුන් වැඩ කරද්දී ගැයූ ගී, ක්ෂණික බලයක් යෙදීමට සිදුවූ විට කළ කෑ ගැසීම්, සමුහ වැඩ වලදී එකට නැගූ හඬවල්, ජප කිරීම්, ආගමික ස්තෝත්ර යන සියල්ලන්ගේම බලපෑම ඊට ඇතුළත්.
බ්ලූස් වලට මුල් වන මේ සංස්කෘතිකමය මූලිකාංග අපේ සංස්කෘතියෙ තියෙන ගොයම් කවි, පාරු කවි, පැල් කවි, ධීවර ගීත වගේ ප්‍රකාශන වල ආත්මීය බවට අතිශයින්ම සමානයි.
බොහෝ අවස්ථා වලදී විභාග දොළහක රිද්මයක් මත දිවෙන බ්ලූස් වල යම් සංවාදාත්මක ස්වරූපයක් හෝ සංවාදාත්මක ලක්ෂණත් ඇතුළත්, හරියට අපේ ශාන්ති කර්ම වල දෙබස්, නැත්නම් කවි මඩු, සොකරි වල ඇහෙන සංවාදමය ජවනිකා වගේ!
බ්ලූස් කියන ඉංග්‍රීසි වචනයෙ එක තේරුමක් වන අවපීඩනය නැත්නම් විෂාදය (depession) කියන අර්ථයෙන් තමයි මේ සංගීත සම්ප්‍රදායට බ්ලූස් කියන නම එන්නෙ.
දැන් ආපහු අපි මුලින් කියපු මඩී වෝර්ටර්ස් පැත්තට හැරෙමු..
මිසිසිපි වල ජීවත් වෙමින් සංගීතයේ නිරත වුණු මඩී වයස අවුරුදු 30ක් විතර වෙනකොට චිකාගෝ වලට සේන්දුවෙලා තියෙන්නේ පූර්ණ කාලීන සංගීතඥයෙක් වෙන්න.
චිකාගේ වලදී මඩීගේ බෑන්ඩ් එකට සෙට් වෙච්ච අනිත් අයත්, විශේෂයෙන්ම වෝල්ටර් ජේකබ්ස් වගේ අය, මඩී තරමටම වැදගත්. ඒ ගැන පස්සේ දවසක ඔබට කියන්නම්!
චිකාගෝ වලට ඇවිත් බෑන්ඩ් එකක් හදාගෙන පූර්ණ කාලීන සංගීතඥයෙක් වෙන මඩී බ්ලූස් සංගීතයට කරන බලපෑමේ තරම ඔබට කියන්න පුළුවන් හොඳම විදිය තමයි පසු කාලීනව මඩීව හඳුන්වා දෙන්න ඔහුගේ නම ඉදිරියෙන් භාවිතා වෙන්න ගන්න වාක්‍ය ඛණ්ඩය!
ඒ තමයි ‘චිකාගෝ බ්ලූස් (සම්ප්රදායේ) පියා’ (Father of Chicago Blues) යන විරුදාවලිය.
දැන් අපි මොහොතකට රෝලිංග් ස්ටෝන්ස් (Rolling Stones) දිහාවට හැරෙමු.
තමන්ටම ආවේනික රළු තානයන් අඩංගු, බරැති නාද භාවිතා කරමින් හාඩ් රොක් සම්ප්රදාය ගෙන ඒමට පුරෝගාමී මෙහෙවරක් කළ, රොක් සහ ජනප්‍රිය සංගීතයේ අති දැවැන්තයින් වූ, මික් ජගැර් ප්‍රධාන ගායකයා ලෙසත්, කීත් රිචර්ඩ්ස් ප්‍රධාන ගිටාර් වාදකයා සහ ජැගර්ගේ ගීත රචක සගයා ලෙසත් කටයුතු කරන රෝලිංග් ස්ටෝන්ස් කණ්ඩායම 1981 දී ඇමරිකාවේ සංචාරය කරනවා.
ඔවුන්ගේ 1981 දැවැන්ත සංචාරය මැද්දේ ඔවුන් එක දවසක් මඩී ප්‍රසංග පවත්වන, ජනප්‍රිය සංගීත සම්ප්රදායේ ඉතිහාසගත Checkerboard Lounge කියන බ්ලූස් නයිට් ක්ලබ් එකට යනවා….
ඒ ඇතුළු වන මොහොතේ ඉඳලා සිදුවන ක්රියාදාමයත් ඔවුන් එකට එකතුව ඉදිරිපත් කරන පළමු ගීතයත් තමයි ඔය ඉහළින් තියෙන වීඩියෝවේ ඇතුළත් වෙන්නේ.
බලන්න මේ චර්යාවන් සහ ඉදිරිපත් කිරීම දිහා…..
බලන්න රෝලින්ග් ස්ටෝන්ස්ලා තුළ බඩී පිළිබඳ ඇති ගෞරවය සහ ඔවුන් අතරේ තියෙන අන්තර් සම්බන්ධතාවය….
මෙම ගායනයේ ඇති හිටිවනබව (improvisations) දිහා බලන්න.
පුලුවන්නම්, 2012 දී අංකිත නැවත සැකසුමක් කරලා අන්තර්ජාලයට මුදාහැරපු, ආසන්න වශයෙන් අවුරුදු හතලිහක් පරණ මේ වීඩියෝව වර්තමානයේ, බලපු අය දමපු කමෙන්ට්ස් කියවල බලන්න, ඔබට වෙනත් විදියක සංස්කෘතික අධ්‍යාපනයක් ලැබේවි…
1981 වනවිට තරුණ, එහෙත් ඒ වනවිටත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිටපු රෝලින්ග් ස්ටෝන්ස් කියන්නේ ලෝකයේම දිදිලපු සහ දැනටත් දිදුලන රොක් තාරකා.
බඩී මෙයින් අවුරුදු දෙකකට පස්සේ, 1983 දී මිය යනවා…
මේ ලියන 2020 වෙනකොට, මික් ජැගර්ට දැන් අවුරුදු 77යි, කීත් රිචර්ඩ්ස්ට අවුරුදු 76යි.
බඩී කියන්නේ ජැගර්ල සහ රිචර්ඩ්ස්ල වගේ තාරකාවක් නොවුණත් මේ අන්තර් සම්බන්ධය දිහා බැලුවම අපිට පේනවා මෙතන අති දැවැන්තයා බඩී බව, ඔහුගේ වපසරියෙදී රෝලින්ග් ස්ටෝන්ස්ලා පොඩි කොලුගැටවු…
රෝලින්ග් ස්ටෝන්ස්ලා තරු වෙද්දී බඩී කියන්නේ ශාස්තෘවරයෙක්…….
රෝලින්ග් ස්ටෝන්සලා ඔවුන්ගේ ප්‍රසංග චාරිකාව මගදී යන්නේ වන්දනාවක්….
එහෙම කියන්නේ අපි නෙවෙයි, රෝලින්ග් ස්ටෝන්ස්ලාමයි…!