කිසියම් නවකථාවක් පාඨකයින් දහසක් අතරේ නවකථා දහසක් බවට පත්වනු ඇතැයි මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි පැවැසීය. එහෙත් කැමරාව නම්වූ සිත්පිත් නැති යාන්ත්‍රික මෙවලමක් හරහා ලබාගන්නා රූපයකට එය කළ හැකිද? ගම්පෙරළිය චිත්‍රපටයේදී මහගෙදර යනු බලපිටිය ප්‍රදේශයේ තිබූ මහකප්පින වලව්ව නම්වූ ගෘහය මිසක අනෙකක් නොවේ. මේ හේතුව නිසාම අතීතයේ දී ඡායාරූපය හා චිත්‍රපටය නම්වූ මාධ්‍යයන් කලා නිර්මාණ සේ සැලකීමට ඇතැමෙකු පසුබට වූ බැව් කියැවේ. රසිකයාගේ සිතිවිලි විකසිත වීමට, සිය මනෝලෝකය අවධිකිරීමට අසමත් මාධ්‍යයක් කලාවක් විය හැකිදැයි එහිදී ප්‍රශ්න කෙරෙන්නට ඇතැයි සිතිය හැකියි.
එහෙත් රූප මාධ්‍යය හරහාද කිසියම් ආකාරයකින් ප්‍රේක්ෂක පරිකල්පනයට ඉඩකඩ සලසා දීමේ හැකියාවක් ඇති බැව් පිළිගැනීමට දැන් අපට සිදුවී ඇත. ලොව බිහිවූ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරු හා ඡායාරූප ශිල්පීන් විසින් කරනු ලැබූ නිර්මාණ එ බැව් සනාථ කොට ඇත.
චලන කැමරාව සියල්ල ඇති සැටියෙන් වාර්තා කරන්නාවූ උපකරණයක් වුවද ජීවිතයේ අඳුරු අහුමුළු විවර කිරීමට සමත් තීක්ෂණ හැකියාවක් එය සතුව ඇති බැව් දැන් පැහැදිලි ලෙස සනාථ වී ඇත. කැමරාව කෙනෙකුගේ මුහුණ වෙත මඳ වේලාවක් යොමුකොට තබන්න. එහිදී යටකී පුද්ගලයා හෝ වස්තුවේ සැබෑ ස්වරූපය හෙලි පෙහෙලි වන්නේ හරියටම රහස් පරීක්ෂක වරයකු සැකකරුවකගෙන් ප්‍රශ්න කිරීමේදී සැබෑව හෙළිවන්නාක් මෙනැයි සුප්‍රකට සිනමා න්‍යායාචාර්යවරයෙකු වූ ප්‍රංශ ජාතික අන්ද්‍රේ බැසෑන් පැවසීය.
මිනිස් වර්ගයාගේ යහපත පිණිස කැමරාව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ බොහෝ නිදසුන් වසර කිහිපයකට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයේදී අපට දැක ගැනීමට ලැබිණ.
ගාල්ල මහ බස් නැවතුමේ රෑ`දී සිටි තරුණියන් දෙදෙනෙකු ජල රකුසාට බිහිවූ අයුරු, ඒ අසල ගොඩනැගිල්ලක රැඳී සිටි ප්‍රාදේශීය රූපවාහිනී වාර්තා කරුවකුගේ කැමරාවේ සටහන් වී තිබිණ. ඔහුගේ කැමරාවට හසුවූ තවත් සිදුවීමක් වූයේ ජලයේ ගිලී සිහිසුන්ව සිටී තවත් තරුණියකගේ කරමාලය සොරකම් කරන මං පහරන්නෙකුගේ රූපයකි. මුල් රූප මාලාව ලොව පුරා රූපවාහිණී නාලිකාවල විකාශය වීමෙන් අනතුරුව, විවිධ රටවල අවධානය මෙකී ව්‍යසනය වෙත යොමුවූ බැව් කියැවේ. ඇතැම් රටවල්, විවිධාකාරයේ ආධාර උපකාර මෙරටට එවීමට තීරණය කළේ ඉන්පසුව විය හැකියි.
මාලය සොරකම් කළ මං පහරන්නා නීතියේ රැහැනට හසුවූයේද එයාකාරයෙනි.
සුනාමි ව්‍යසනය පිලිබඳ මුල්ම රූපවාහිනී වාර්තා නිකුත්වන්නට වූයේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිටයි. රූපවාහිනියේ විකාශය වූ එවන් එක් රූප මාලාවක දැකිය හැකි වූයේ පහත සදහන් ආකාරයේ දසුනකි. එය කිසියම් සංචාරකයකු ගේ කැමරාවේ සටහන් වූ රූප මාලාවකි.
මුහුද ආසන්න හෝටල් භූමියක කුඩා ළමුන් හා වැඩිහිටියන් පිරිසක් විනෝදයෙන් සිටිනු පෙනේ. තරමක් වේගයෙන් මුහුදු රැල්ලක් ගොඩබිම දෙසට ඇදේ.
‘ ආ – විශාල මුහුදු රැල්ලක් නේද?
වැන්නක් පවසන කිසියම් අයෙකුගේ කටහඬක් අපට ඇසේ. එය කැමරාකරුගේ හඬ විය හැකියි. කිසිවකුටත් අවදානම් සහගත බවක් නොදැනුනාක් මෙනි. එහෙත් මීළඟට එන දැවැන්ත රළ පහර පොල් රුප්පාවලටද ඉහලින් ගමන් කරයි. එය අති බිහිසුණු දසුනකි. කුඩා ළමුන් හා කාන්තාවන්ගේ අඳෝනාවන් ඇසේ. කැමරා කාචය මතද ජලබිංදු විසිරී ඇත. කැමරා ක්‍රියාකරු කලබල වේ. එය ඒ මේ අත සෙලවේ. අවසානයේ කැමරාව ක්‍රියා විරහිත වේ.
සියල්ල එයාකාරයෙන්ම කැමරාවේ සටහන්ව ඇත. මෙය නම් චිත්‍රපටයක් සදහා රූගත කළ දසුනක් නොවන බව අපි වටහා ගනිමු. එය සැබෑවම මිසක අන් කිසිවක් නොවේ.
ආධුනිකයින්, ප්‍රාදේශීය රූපවාහිනී වාර්තාකරුවන් හා සාමාන්‍ය පුද්ගලයින් විසින් රූගත කරන (බොහෝවිට ජංගම දුරකථන හරහා) මෙවැනි දසුන් දැන් දැන් බොහෝ රූපවාහිනී නාලිකාවන්හී දෛනික ප්‍රවෘත්ති ප්‍රචාරයන්හී වැදගත් අංගයක් බවට පත්ව ඇත. ඒවා සියයට සියයක්ම සත්‍යය සේ පිළිගැනීමට ප්‍රේක්ෂකයා පෙළඹීම එයට හේතුවයි.
කැමරාව පිටුපස සිටින පුද්ගලයා කැමරා ශිල්පියායි. ඔහු විසින් පරිහරණය කරනු ලබන්නේ 21 වන සියවසේ බිහිවූ අපූර්වතම තාක්ෂණික මෙවලමකි. අප කිසිවකුටත් දැන් සැඟවී සිටීමට අවකාශයක් නොමැත. සෑම අයෙකු අතම දැන් කැමරාවක් බැගින් ඇත. අප දැන් හැසිරිය යුත්තේ කැමරා ඇසට සුදුසු ආකාරයකින් නොවේද?
කැමරාව පිටුපස සිටින තැනැත්තා වෙත පැවරී ඇත්තේද බරපතල වගකීම් සම්භාරයකි. තමා අත රැඳි උපකරණය මිනිසාත්, සමාජයත්, අප ජීවත්වන පරිසරයේත් අයහපතට හේතුවන ලෙස යොදා නොගැනීම එකී බරපතල වගකීමයි. ගිනි අවියක් අතැති පුද්ගලයකුටත් වඩා වගකීමක් කැමරාව පිටුපස සිටිනා අයට ඇත්තේ එබැවිනි.
‘කැමරාව’ යනු එයටම අනන්‍ය වූ ගති ලක්ෂණ ප්‍රකට කරවන මෙවලමකි. කැමරාව, ඇසට සමානත්වයක් පෙන්නුම් කළද ඇසත් කැමරාවත් අතර ඇත්තේ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ සමූහයකි.
මිනිසාගේ දෘෂ්ඨි ඉන්ද්‍රියයනට අංශක 180 ක් පමණ වූ දෘෂ්ඨි කෝණයක් හසුකර ගත හැක. ඇස් දෙකක් ඇති පුද්ගලයෙකුගේ දෘෂ්ටිපථයට හසුවන්නේ ත්‍රිමාණාකාර ලෝකයකි. එහෙත් කැමරාව හසුකර ගන්නේ ද්විමාන ලෝකයකි. කැමරාවේ රූප රාමුවට කිසියම් නිශ්චිත පෙදෙසක් පමණක් හසුවේ. එය කැමරා ශිල්පියා විසින් යොදාගන්නා කාචය හා කැමරාවත් වස්තුවත් අතර ඇති දුර ප්‍රමාණය මත රඳා පවතින්නකි. රූප රාමුවට හසුවන ප්‍රදේශය අනුව රූපයෙන් ප්‍රකාශිත අරුතද වෙනස් වන්නේ එබැවිනි.
කිසියම් රූප රාමුවක් කාන්තාවකගේ උඩුකය පමණක් හසුකර ගන්නේ නම් ප්‍රේක්ෂකයා දකින්නේ කාන්තාවකගේ රුවක් පමණි. එහෙත් තරමක පුළුල් කෝණී රූප රාමුවකදී ඇය අත දරුවකුද සිටින බැව් ප්‍රේක්ෂකයා වටහා ගනී. දැන් ඇය සාමාන්‍යය කාන්තාවක නොව මවක බවට පත්ව සිටී.
සිනමා රූපය බාහිර ලෝකය පිළිබඳව ගෙන එන්නේ ද අසම්පූර්ණ චිත්‍රයකි. කැමරා කාචය යන්න මිනිස් ඇස හා සැසැඳීමේදී අතිශයින් දුර්වල උපාංගයක් සේ සැලකේ. නිරතුරුවම වෙනස් වන්නාවූ ආලෝක තත්වයට, ක්ෂණික නාභිගත කිරීමකට ප්‍රතිචාර දැක්වීමට ඇසට මෙන් හැකියාවක් එයට නැත. එසේම දෑසින් දකින ත්‍රිමාන දසුන් කිසිවක් කැමරාව හරහා දැකගත හැකි නොවේ. (ත්‍රිමාන සිනමාවේ දී හැර)
මේ අනුව සලකා බලනවිට සිනමා තිරය මත අප අත්විඳින්නේ සැබෑ ලෝකයෙන් අංශුමාත්‍රයක් පමණි. ප්‍රේක්ෂකයා මෙම ස්වභාවය පිළිගැනීම සඳහා ගතින් හා සිතින්ද සූදානම් විය යුතුවේ. සිනමා තිරය යනු ත්‍රිමාන ලෝකය ද්විමාන තලයකදී ඉදිරිපත් කිරීමකි. මේ හේතුවෙන් ඇතැම් වස්තූන් හරි හැටි හඳුනා ගැනීම පවා පහසු නොවේ. ඝණකයක් වැනි සරල වස්තුවක් රූගත කිරීමේදී පවා මේ බැව් පැහැදිලි වේ. සැබෑ ජීවිතයේ දී නම් එවැන්නක් කිසිවිටෙකත් සිදු නොවේ. එහිදී වස්තුව ස්පර්ශ කිරීමට, ඒ වටා ගමන් කිරීමට හෝ එයට සමීපව හෝ දුරස් වී බැලීමට අපට හැකි වේ. එම වස්තුව, එහි පසුබිම සමඟ මෙන්ම වෙනත් වස්තූන් සමඟද සසඳා බැලීමට අපට පුළුවන. මේ අනුව සැබෑ ජීවිතයේදී එම වස්තුව පිළිබඳ අපගේ දැකීම අංග සම්පූර්ණ වූවකි. රූපවාහිනී තිරයේ හෝ සිනමා ශාලාවක දී මේ කිසිවක් සිදුනොවේ.
එකී වස්තුව ඉදිරියෙන් රූගත කරන්නේ නම් එය අපට ඝනකයක් සේ නොපෙනීමට ඉඩ ඇත. ඇතැම්විට එය පැහැදිලි සම චතුරස්‍රයක් සේ පෙනී යාමට පුළුවන. නිවැරදි ආලෝකය හෝ කැමරා චලන භාවිත නොකලේ නම් යම් යම් වස්තූන් තිරය මත හරි හැටි වටහාගැනීම පවා දුෂ්කර විය හැක.
කිසියම් භූමි දර්ශනයක ගැඹුර, කන්දක උස ප්‍රමාණය දැනවීම සඳහා කැමරාව ඕනෑම තැනක තබා රූගත කළ හැකි නොවේ. සියල්ල රූපරාමුවට හසුකර ගත්තද ප්‍රේක්ෂකයා ට එහි පරිමාව, මතුපිට ස්වරූපය හෝ ස්වභාවය හඳුනා ගැනීමට අවකාශ නොලැබේ. තරමක් දුරට හෝ එය එසේ කළ හැක්කේ වස්තුව නිවැරදි ආලෝක තත්වයන් යටතේ රූගත කොට වෙනත් වස්තුවක් සමඟ සැසැඳීමට හැකිවන සේ ඉදිරිපත් කරන්නේ නම් පමණි. නිදසුනක් ලෙස කිසියම් ගොඩනැගිල්ලක විශාලත්වය පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට නම් ඒ හා සමඟ මිනිස් රුවක් ද ඉදිරිපත් කිරීම වැදගත් විය හැකියි.
රොබර්ට් ෆ්ලැහැටිගේ ‘Moana’ නම් වාර්තා චිිත්‍රපටයේ එක් ජවනිකාවකදී විශාල රළ පහරක් දැක්වේ. එම රූපයේ පහළින් රළ පහරට මැදිවූ කුඩා මිනිස් රූප දෙකක් ද දැකිය හැක. රළ පහරේ විශාලත්වය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයා ලබන්නේ රළ පහරත්, මිනිස් රූපත් එකිනෙක සැසැඳීමෙනි.
කැමරා ශිල්පියාගේ කාර්යභාරය කිසියම් අවස්ථාවක, සිදුවීමක, පරිසරයේ හෝ චරිතයක ගැබ්වී පවතින්නාවූ මනෝභාවයන් හා හැඟීම් හසුකරගැනීම (capturing feelings and emotions) යැයි සුප්‍රකට ඉතාලියානු සිනමා කැමරා ශිල්පියකු වූ විටෝරියෝ ස්ටොරාරෝ පැවසීය. එහෙත් මෙය කිසිසේත් සරළ අභ්‍යාසයක් සේ සැලකිය හැකි නොවේ.
ඔබ කිසියම් ස්ථානයකට ගිය විටදී දැනෙන හැඟීම් හා භාවයන් යන්න ඔබගේ පංචේන්ද්‍රියන් හරහා ගෙන එන්නාවූ පරිපූර්ණ හැඟීම් සමුදායකි. එහෙත් කැමරාව නම්වූ සිත් පිත් නැති යාන්ත්‍රික මෙවලමකට එය එසේම හසුකර ගත හැකිද? කිසියම් ස්ථානයකදී අපගේ ගතට දැනෙන සිසිලස, සුළඟ, ගඳ සුවඳ, ඇස් හා කන් වලින් පමණක් දකින හෝ අසන රූපයක් හරහා පිළිබිඹු කළ හැක්කේ කෙසේද?
(ඉතිරිය ලබන කලාපයට) …….

