“සංස්කෘතියේ බලය , සංස්කෘතියේ බලයට ඉහලින් යළි සනාථ කළ යුතුය’ – එඩ්වඩ් සෛඩ්
(‘Reaffirm the power of culture over the culture of power’ – Edward Said)
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මානව අයිතීන් පිළිබඳ මාධ්‍ය ධාරා කතිකාව හුදෙක් සිවිල් සහ දේශපාලන අයිතීන් රාමුව තුළට පමණක් බෙහෙවින්ම කොටුවී ඇත. ශ්‍රීලංකාව ගත් විට ,දීර්ඝකාලීන වෘත්තීය සමිති ව්‍යාපාරය කරණ කොට , ආර්ථික අයිතිවාසිකම් ගැන ද යම් සංවේදිතාවක් සමාජය තුළ ඇතැයි කිව හැකිය. එනමුත් සමාජ අයිතීන් සහ විශේෂයෙන්ම සංස්කෘතික අයිතීන් ගැන අපගේ සමාජ කතිකාවන් ඇත්තේ ප්‍රාථමික හෝ ඇතැම් අර්ථයෙන් නිශේධනාත්මක මට්ටමකය. මේ තත්ත්වය විසින් සමාජ විඥානයේ සැකැස්ම පසුපසට අදින අතර ඉන් සමස්ත මානව හිමිකම් යථාර්ථයට දැඩි නිශේධනාත්මක බලපෑමක් එල්ල කරයි . එහෙත් සමාජ ජීවිතය දෙස සාකල්‍යවාදීව ගැඹුරු ඇසකින් බලන කෙනෙකුට පෙනී යා යුත්තේ මානව හිමිකම් වූ කළී කෑලි වලට කැඩිය නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් සංකීර්ණ ලෙස බැඳෙන ජීවනාර්ථ පද්ධතියක් බවය. එහි අරමුණ නම් ගෞරවාන්විත සහ අර්ථාන්විත ජීවිතයක් සාමාජික මනුෂ්‍යයා සඳහා තහවුරු කිරීමය. ඒවා වූ කළී සමාජීය වශයෙන් මනුෂ්‍ය යහපැවැත්ම සහ සන්තුෂ්ටිය පදනම් කොන්දේසි වෙති.
මේ නිසා පොහොසත් කලා -සංස්කෘතික ජීවිතයකට අවකාශ සහ ප්‍රවේශයක් තිබීම සරල යහපතක් නොව එය මූලික මානව අවශ්‍යතාවකි. එය මනුෂ්‍යයා පූර්ණ මනුෂ්‍යයෙක් බවට පරිවර්තනය වීම උදෙසා අවශ්‍ය පදනම් කොන්දේසියකි. එය විසින් සාමුහික අනන්‍යතාව වර්ධනය වීමට දෙන ප්‍රබල දායකත්වය නිසා ප්‍රජාවන්ගේ සහ ජාතීන්ගේ යහපැවැත්ම උදෙසා ද බලගතු උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එය මූලික මිනිස් අයිතියක් ද වේ . එනම් , යහපත් කලා සංස්කෘතික ජීවිතයක් අහිමි කිරීම යනු මූලික මිනිස් අයිතියක් බිඳ දැමීමට නොඅඩු දෙයක් නොවේ .

2. සංස්කෘතික අයිතීන් පිළිබඳ ප්‍රශ්නය
ආරම්භක ජාත්‍යන්තර මානව හිමිකම් කතිකාව තුළ පවා සංස්කෘතික අයිතීන් පිළිබඳ සංකල්පය ඌන-සංවර්ධිත ලක්ෂණ පෙන්වන්නේ යැයි කීම වැරදි නොවේ . සංස්කෘතිය බොහෝ විට හුදෙක් රැකගත යුතු අතීත උරුමයක් ලෙසින් පමණක් ඇතැම් විට සංකල්පනය කෙරේ. ඇතැම් විට එය ජීවිතයේ බාහිර කොන්දේසියක් ලෙස අර්ථ ගැන්වේ. ගැඹුරු මානව විද්‍යාත්මක /හෝ බෞද්ධ දාර්ශනික අර්ථයෙන් ගත් කළ සංස්කරණය වෙමින් පවතින , සංස්කරණය කළ හැකි (cultivating ) සමස්ත ජීවන ක්‍රියාදාමය ; අප හැදෙන වැඩෙන පිළිවෙළ සංස්කෘතිය ට අයත් වේ . අපගේ ම දැන් පවතින මානසික , වාචික හා ශාරීරික චර්යාවන් ජීවමාන සංස්කෘතිය පිළිබිඹු කරයි. උදාහරණයක් ලෙස, අපගේ ඇස හෝ කන මේ අනුව ‘ස්වභාවික’ ලෙස සැලකීම වැරදිය. ඒවා සංස්කරණය වෙමින් , සංස්කරණයට භාජනය වෙමින් පවතී ; ඒවා සංස්කෘතික නිශ්පාදිතයන්ය. එසේ නම් ඒවා සකස් කරන්නේ කවුද ? ඊට බලය ඇත්තේ කාටද ? යන ප්‍රශ්න මිනිස් යහ-පැවැත්ම සහ සමාජ යහපත සම්බන්ධයෙන් තීරණාත්මක බරක් උසුලයි. එබැවින් මෙකී ජීවමාන සංස්කෘතිය තුළ මානව යහපත සදහා වන ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද ඒකරාශි වන බව අපගේ අවධානයට ලක් විය යුතුය.

සමාජයක බහුමාන පුළුල් සංස්කෘතික ජීවිතය තුළ කලා -සංස්කෘතික භූමිය විශේෂ ස්ථානයක් හොබවයි. එය මිනිසා සහ ලෝකය ගැන සහ මිනිස් සබඳතා ගැන සුවිශේෂ දැනුම් සහ කුසලතා සමුදායක් අපට ලබාදෙන්නා වූ ද ,මානව හදවත පුළුල් කරන්නාවූ ද බොහෝ අර්ථයෙන් මානව අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන්නා වූ ද භාවිතාවකි. පුළුල් සංස්කෘතිය සම්බන්ධයෙන් පොදුවේ ද , කලාව සම්බන්ධයෙන් විශේෂව ද ගත් කල සමාජයක් විසින් අත්පත්කරගන්නා වූ ජයග්‍රහණයන් වෙනසක් නොමැතිව භුක්ති විදීමට සියලු පුරවැසියන්ට සමාන අයිතියක් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විසින් පිළිගත යුතුය. එය ‘සංස්කෘතියට ඇති අයිතිය ’ ( Right to Culture) වශයෙන් හැඳින්විය හැකිය . එලෙසම කිසියම් ප්‍රජාවක් විසින් සිය සාමුහික අනන්‍යතාව ලකුණු කරන්නා වූ සංස්කෘතික උරුමයක්( Cultural Rights ) සහ ජයග්‍රහණයන් සම්බන්ධයෙන් ගත් කල , ඒවා රැකබලාගෙන දියුණු කරමින් ඉදිරි පරම්පරාවන් ට සම්ප්‍රේෂණය කිරීම සඳහා විශේෂ අයිතියක් ලබන්නේ යැයි කිව හැකිය . මේ අයිතීන් දෙවර්ගය ම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ තත්වය බෙහෙවින් කනගාටුදායකය .
සංස්කෘතියට ඇති අයිතිය භුක්ති විඳීම සම්බන්ධයෙන් පවතින බරපතළ ප්‍රශ්නවල ප්‍රභවය වූ කලී මුලු මහත් ජන සමාජයක් විසින් , විශේෂයෙන්ම කලා-සංස්කෘතික ජීවිතය සමග දක්වන සම්බන්ධයේ ගැටලු සහගත භාවය පිළිබඳ කරුණක් වශයෙන් හඳුනා ගත හැකිය . බහුතර සමාජය සාහිත්‍ය කලාවන් සමග සම්ප්‍රදායික වශයෙන් ම ඉතා හොඳ සම්බන්ධයක් මෑතක් වනතුරු පවත්වා ගනිමින් සිටියේ යැයි කිව හැකි නමුත් දෘෂ්‍ය කලා සහ ප්‍රසංග කලා ( නාට්‍ය හා රංග කලා , සංගීත කලා , නර්තන කලා යනාදිය ) සම්බන් ධයෙන් අඩුතරමින් ශතවර්ෂ කිහිපයක් මුළුල්ලේ රජ කළේ රෝගී විපරීත තත්වයකි .

සමාජයේ අධිපති ආකල්ප , අවසාන වශයෙන් රටක රාජ්‍යයේ ස්වභාවය තුළින් පිළිබිඹු වන්නේය.
අපගේ සමාජය කලාව සමග දක්වන්නේ ගැටළු සහගත නොඑසේ නම් ‘ අසීරු ‘ සම්බන්ධයකි’ යන
ප්‍රවාදය සත්‍ය නම්, එය රජයේ ව්‍යුහාත්මක සහ සංස්කෘතික හැඩගැස්ම තුළින් ප්‍රකට විය යුතුය.
ඉතින් එය සත්‍ය දැයි කෙටියෙන් විමසා බලමු.;
අප දන්නා ප්‍රබුද්ධ ශිෂ්ට රටවල කැපී පෙනෙන ලෙස වෙනස්ව , කලා නිෂ්පාදන සහ කලාකරුවාගේ ජීවිතය නඩත්තු කිරීම සඳහා මහජන අරමුදල් බිඳක් හෝ සම්පාදනය නොකරන ඒ සඳහා ප්‍රතිපත්තියක් හෝ කිසිදු ආයතන ක්‍රියාදාමයක් නොමැති රටකි ශ්‍රී ලංකාව.
කලා නිෂ්පාදනයේ සැපයුම් පාර්ශවය (කලා කරුවා ) සංවර්ධනය කිරීම සඳහා මෙන්ම කලාවන්ගේ යහ-පැවැත්මට අත්‍යවශ්‍ය රසික ඉල්ලුම (රසිකයා ) හදාවඩා ගැනීම සඳහාත් , රසිකයාට දියුණු කලා නිෂ්පාදන සම්මුඛ කෙරෙන අවකාශ (අන්තර්ව්‍යුහය සහ පහසුකාරක සාධක ) සංවර්ධනය කරමින් මනා ලෙස ඒවා පවත්වා ගැනීම සඳහාත් කිසිදු රාජ්‍ය ප්‍රතිපත්තියක්, දීර්ඝ කාලින සැලසුම් හෝ අවම මට්ටමේ ආයෝජනයක් හෝ ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසුව දක්නට ලැබී නැත.
වෙනත් අධ්‍යාපන ධාරා සමග සසඳද්දී කලා අධ්‍යාපනයට ලැබෙන්නේ අවම සැලකිල්ලකි. කාර්මික හා තාක්ෂණික වෘත්තීන් සඳහා වෘත්තික ආයතන තිබුණත් , සාහිත්‍ය කලා හෝ ප්‍රසංග කලා සඳහා එබඳු ආයතන ඇත්තේ නැත. විශ්ව විද්‍යාල තුළද විවිධ විද්‍යා, තාක්ෂණික සහ වාණිජ අධ්‍යාපනය සංවර්ධනය වී ඇති මට්ටම් නොහොත් ඒවා සඳහා කෙරෙන ආයෝජන මට්ටම් සමග සසඳද්දී කලා සංස්කෘතික අධ්‍යයනයන් සහ අධ්‍යාපනය ඇත්තේ ප්‍රාථමික – පසුගාමී තැනකය. වෙනත් රටවල වැඩිහිටි කලා /සාහිත්‍ය අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපන ආයතන විසින් පිරිනමන විවිධ පන්නයේ ‘පුද්ගල සංවර්ධන ‘ පාඨමාලා බඳු යමක් ද අප රට තුළ දක්නට ලැබෙන්නේ නැත.
ආරම්භයේ සිට අද දක්වා ම රජයේ අමාත්‍යංශ අතුරින් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රසිද්ධියේම සැලකෙන්නේ වඩාත්ම නොවැදගත් එක ලෙසය; එය විධි නියමය (mandate) වශයෙන්ද, මුල්‍ය ධාරිතාව වශයෙන්ද , අන්තර්-ව්‍යුහය සහ මනුෂ්‍ය සම්පත් වශයෙන්ද වඩාත්ම දුගී අමත්‍යංශය වන්නේය.
පසුගිය දශක කිහිපය තුළ විවිධ ආණ්ඩු විසින් ‘රටේ සංවර්ධනයක් ‘ පිළිබඳ කතිකාවන් ජන ගත කරන ලද මුත්, ඊට අනුබද්ධව විවිධ සැලසුම් සහ ව්‍යපෘති දියත් කරන ලද මුත් ‘ මනුෂ්‍ය සංවර්ධනය’ පිළිබඳ සාකල්‍යවාදී ( holistic ) ප්‍රවේශයක කිසිදු ලකුණක් කිසිවිට දක්නට නොලැබුණු අතර, පුරවැසියාගේ කලා සංස්කෘතික ජීවිතය ගොඩ නැගීම සංවර්ධනයේ අත්‍යවශ්‍ය මානයක් ලෙස හඳුනා ගන්නා බවක් ද කිසිසේත්ම නොපෙනුණි.
කලාව සහ කලාකරුවා සමාජය තුළ වැටී ඇති දුෂ්කර ස්ථානය ගැන මෙසේ පැහැදිලි වන විට එම ගැටලු තත්ත්වය පරිවර්තනය කොට වඩා යහපත් තත්ත්වයක් දිනා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් කෙටියන් ප්‍රවේශ වෙමි . මෙය සංස්කෘතික බලය යන සංකල්පය ඇසුරින් මතු කිරීම මගේ අභිප්‍රායයි.
4. ඉදින්, සංස්කෘතික බලය යනු කුමක් ද ?
විඥානය විනිවිද යෑමට , එය තත්වාරෝපනය කිරීමට , සහ එය හැඩගැස්වීමට ඇති ශක්‍යතාවය ; එනයින් සමාජ වටිනාකම් විඥානගත කිරීමේ බලය. මෙම බලය ක්‍රියාත්මක වන අඩවි කවරේද ?
1. අධ්‍යාපනය , 2. කලා -සංස්කෘතික අඩවිය , 3. ජන මාධ්‍ය , 4. ආගමික සංස්ථාව.
රටක මෙම සංස්කෘතික බලයේ අඩවි රෝගිවී ඇත්නම් එයින් අදහස් වන්නේ එම රටේ මහජන විඥානය අනතුරට පත් වෙමින් ඇති බවයි. මෙම අඩවි හුදෙක් වෙළඳපල ආර්ථිකයේ අන්ධ ගතිකයන් වෙත නැතහොත් එයටම සම්බන්ධ බල දේශපාලනයේ උපාමාරු වෙත බිලිදෙන සමාජයකට සිදුවන විපත ගැන කියනු කවරේ ද ?
ශ්‍රී ලංකාවේ තත්ත්වය නම් මෙම සංස්කෘතික බලයේ අඩවි හතරම දැඩි ලෙස රෝගාතුර වී ඇති බවයි .එබැවින් ඒවා තුළ සංස්කෘතික බලය ක්‍රියාත්මක වන්නේ අනිසි ලෙස අනිසි දිශාවන් කරායි.
ජාතියක සාමුහික විඥානය අඳුරෙන් එළියට ගෙන යෑමේ අභියෝගය හමුවේ දියුණු කලාවක් සහ කලාකරුවන් වැදගත් වන්නේ මන්ද යත් :
ඔවුන්ට නිර්මාණශීලී ලෙස ක්‍රියාත්මක වීමට ශක්තියක් ඇත.
ලෝක විවරණයේදී බුද්ධිය සමග හදවත එකතු කිරීමට ඔවුන් සමත් වෙති. එබැවින් ඔවුන් සමාජයේ වඩාත්ම දුර පෙනෙන වඩාත්ම සංවේදි ප්‍රජාවයි
විශේෂයෙන්ම සමාජයේ බුද්ධිමත් ප්‍රජාවන් අතර තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගොස් විවිධ පර්යාලෝක තුළින් කාරණා අවබෝධ කර ගැනීමට ශක්‍යතාව සහිත එකම කණ්ඩායම කලාකරුවන්ය
දැන් කලා-සංස්කෘතික අයිතීන් පිළිබද ශ්‍රී ලාංකික කතිකාවක් සඳහා පහත දැක්වෙන අයිතීන් න්‍යාය පත්‍රයකට යොමු කිරීමට කැමැත්තෙමි .
සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම හට කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික චිරන්තන කලා උරුමයන් – සාහිත්‍ය, නර්තන, රංග , දෘශ්‍ය සහ සංගීත කලා සම්ප්‍රදායයන් සහ සාමුහික අත්දැකීම් – ගැන දැන ගැනීමට සහ භුක්ති විඳීමට අනුලංඝනීය අයිතියක් තිබේ.
සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම කිසිදු භේදයකින් තොරව නූතන සහ අද්‍යතන ශ්‍රී ලාංකික කලා සංස්කෘතික ජයග්‍රහණයන් , හෙවත් රටේ කවර තැනක හෝ බිහිවන විශිෂ්ට කලා සංසිද්ධීන් ආශ්‍රය කිරීමට සහ භුක්ති විඳීමට අනුලංඝනිය අයිතියක් තිබේ.
සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම කිසිදු භේදයකින් තොරව ලෝක කලා උරුමයන් සහ නූතන ජයග්‍රහණයන් ගැන දැන ගැනීමට සහ ගවේෂණය කිරීමට අනුලංඝනිය අයිතියක් තිබේ. පුරාතන යුගවල සිට විවිධ දේශයන් තුළ බිහිව අද දක්වා සංරක්‍ෂණය වී පවතින්නා වුද , නූතනයේ බිහිවන්නාවුද දීර්ඝකාලින වටිනාකමකින් යුත් කලා නිර්මාණ, කලා සම්ප්‍රදායයන් , ප්‍රකාශන විධීන් සහ තාක්ෂණයන් ගැන දැන ගැනීමට ද ගවේෂණය කිරීමට ද ඇති අයිතිය මින් අදහස් වේ.
සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම කිසිදු භේදයකින් තොරව නිර්මාණශීලි ජිවිතයක් සඳහා අනුලංඝනිය අයිතියක් තිබේ; සාහිත්‍ය, නර්තන, රංග , දෘශ්‍ය කලා සහ සංගීත යනාදී නිර්මාණ ක්ෂේත්‍රයන් තුළ ස්වයංවර්ධනය අරමුණු කොට ඉගෙනීමට සහ ප්‍රායෝගික කුසලතා අත්පත් කරගැනීමට ඇති අයිතිය මින් විශේෂයෙන් අදහස් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ සාමය අරමුණු කරමින් ජන විඥාණයේ දියුණුව උදෙසා සෑම ශ්‍රී ලාංකික කලා කරුවෙකුටම සිය නිර්මාණ හරහා මෙන්ම සිය හඬ ඉදිරිපත් කළ හැකි අනෙක් මාධ්‍ය හරහා මහජන සංවාද අවකාශ තුළ පෙනී සිටීමට ප්‍රමුඛ අයිතියක් තිබේ.
ශ්‍රී ලාංකික සමාජයේ ද , විශ්වීය මනුෂ්‍ය ජිවිතයේ ද සමාජ සංස්කෘතික සහ අධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කොට සිය කලාත්මක නිර්මාණ මගින් සාධාරණ සහ අවංක සන්නිවේදනයක් කිරීම ඔස්සේ ජාත්‍යන්තර සමාජය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සෑම වෘත්තික කලා කරුවෙකුටම අයිතියක් තිබේ.
සෑම අනන්‍ය සංස්කෘතික ප්‍රජාවකට ම සිය චිරන්තන කලා උරුමයන් සහ සාමුහික කලා අත්දැකීම් අනාගත පරම්පරාවන් සඳහා සංරක්‍ෂණය කිරීමට ද , ප්‍රවර්ධනය කරමින් ඒවා ඉදිරියට ගෙනයාමට ද සාමුහික අනුලංඝනීය අයිතියක් තිබේ.

