විවර කල විට ට්‍රන්ක පෙට්ටිය
හිනාවෙන පෙම්පත් ට්‍රෙෂරය
ඔබේ අත‘කුරු අතර සුවඳක
තිබේ පළමුම දූලි මතකය…
ඇවිද යමි පටු මගෙක තනියම
තාර අතුරන වත්මනෙක වුව
විසුල වැළිකැට මතින් මතුවෙයි
පිය ලකුණකට යටවූ මතකය…
අවදිවෙන මහ පාන්දරකදි
ලැබුණු විද්යුත් සයිබර් පණිවිඩ
විවර කළ විට නැගුණි සුවඳක්
අතීතයක දි හුරුපුරුදු වුණ…
පලා හදගැබ සොයා ප්‍රේමය
අමානුෂික වේදනා ඉවසන
රාත්‍රියක දි පොරෝණය යට
හිඳී තුරුළුව නිදන මතකය…
හැමතැනක ඉඳහිටක හමුවෙන
මතක අතරින් ඉබේ මතුවෙන
මලානික සුවඳකිය තැවරුණ
කියනු බැරි හරියටම කිසි දින…
බොහෝ විට එය මළගෙයකදී
මිනිය ලඟ දැනෙනා සුවඳකි ය.

