“මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත”. 2014 වසරේ තම අවසාන ගීතයේ එසේ ගැයුවේ අමෙරිකානු ගායක ග්ලෙන් කැම්ප්බෙල්. ග්ලෙන් කන්කළු ඉංග්රීසි ගීත රාශියක් ගැයූ ජනප්‍රිය ගායකයෙක්. 2010 වසරේ අග භාගයේ ග්ලෙන්ට ඇල්ස්–හයිමර් රෝගය නමැති දරුණු ඩිමෙන්ශියාව ඇති බව සොයාගනු ලැබුවා. ඉන්පසු ග්ලෙන් සිය අවසාන සංගීත චාරිකාව සිදුකොට සිය ගායන ජීවිතයට සමු දුන්නා. පවුලෙන් සමුගෙන ඩිමෙන්ශියා රෝගීන් සඳහා තනා ඇති නේවාසික සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථානයකට ගියා. ඇල්ස්–හයිමර් රෝගය වසරෙන් වසර උග්‍ර වුණා. ඔහු 2017 වසරේ වයස 81 දී මිය ගියා.
වයසට යනකොට හැමෝටම ටික ටික අමතක වෙනවා. ඩිමෙන්ශියාව කියන්නෙ, ඒ අමතක වීමට වඩා හුඟක් වෙනස්, දිනෙන් දින උග්‍ර වෙන දරුණු අමතක වීමට. එය ඉතා බිය ගෙන දෙන, ශෝචනීය අත් දැකීමක්. නමුත් ඒ බිය, ශෝකය, තනිකම දැනෙන්නෙ කාටද? මුල් අදියර වල තමාට දැනෙන්න පුළුවන්, නමුත් රෝගය උත්සන්න වෙනකොට තමා කවුද, තමාගෙ ආදරණීයයන් කවුද කියන එක සම්පූර්ණයෙන්ම අමතක වෙනකොට, ඒ ශෝකය, පාළුව දැනෙන්නෙ තමන්ට නෙවෙයි, වටේ ඉන්න අනිත් අයට. ඒක ඉතා කටුක අත් දැකීමක්. එම අතිශය කටුක අත් දැකීමට එක එක අය මුහුණ දෙන හැටි වෙනස්. සමහරුන්ට තම ප්‍රියයාගේ මේ වෙනස් වීම දරා ගන්න බැහැ. ඔවුන් හිතනවා තම ඥාතියා/ප්‍රියයා බොරු කරනවා කියලා. මොකද සමහර වෙලාවට මේ අමතක අඳුර අස්සෙන්, හිටපු ගමන්, ලයිට් එලි පත්තු වෙනවා වගේ පරණ මතක කෑලි එලියට එනවා. බොරු කරනවා කියල හිතන බලාගන්න අයට එතකොට තරහ යනවා. ඒත් එක්කම, ඉතා ස්වාධීනව ජීවිතයක් ගෙවපු කෙනෙක්, ලදරුවෙක් වගේ වගකීම් විරහිතව ක්‍රියා කරන්න ගන්නව වගේ පේන කොටත් වටේ ඉන්න අයට තරහ යනවා. මේ වේගන යන දේ පිළිගන්න ඔවුන් අපොහොසත් වෙනවා. ගිය වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනාගත් ඇන්තනි හොප්කින්ස් The Father ( තාත්තා) කියන චිත්‍රපටයේ රඟපාන්නෙ මෙහෙම ඩිමෙන්ශියාව නිසා තම දියණියන්ව අමතක වේගෙන යන මහළු පියෙකුගෙ චරිතයක්. හොප්කින්ස් ඉතාම තාත්ත්වික ලෙස එම රංගනයේ යෙදෙනවා.
අපේ සමාජයේ බොහෝ කටුක අත්දැකීම් ගැන වාගෙම අපි මහළු විය සමග එලඹෙන ශාරීරික මානසික අභියෝග ගැන කතා කරන්න මැලියි. බොහෝ වෙලාවට දෙමාපියනුත් දුක් විඳ විඳ, දරුවනුත් දුක් විඳ විඳ, නිශ්ශබ්දව දරාගෙන ඉන්නවා. අපිට ඩිමෙන්ශියාව ඇති අයව බලාගන්න සුදුසු තැනුත් නැහැ, සැප පහසුකම් සහිත, ආරක්ෂිත ස්ථාන ඉතා අල්පයක් තිබුණත් එහෙම තැන් මිලාධිකයි, ඒ නිසා ඒක විකල්ප අතරෙන් ඉවත් කරන්න වෙනවා. එහෙම තැනකුත් තිබිලා, මිල දැරිය හැකි උනත් සමාජයෙන් එල්ල වෙන ද්වේශ සහගත චෝදනා නිසා බොහෝ අය ඒ ගැන හිතන්න මැලි වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සෙ සංස්කෘතිය මගින් අපි පුරුදු වෙලා ඉන්නෙ එහෙම ආයතන වල දාලා අපේ ආදරණීයයන්ගෙන් ගැලවෙන එක වරදක් සහ නොකළ යුතු දෙයක් කියලා. ඉතින් ප්‍රශ්නය සංකීර්ණයි.
එක් කිට්ටු මිතුරියක් ඇගේ ඩිමෙන්ශියාව තිබුණු මවයි පියයි දෙන්නම බලා ගත්තා. ඇගේ ජීවිතෙන් සෑහෙන්න අවුරුදු ගණනක් ඇය ඒ සඳහා කැප කළා. මිතුරිය එයට මුහුණ දුන්නෙ මවගේ වෙනස් වීම සියයට සියයක් බාර ගැනීමෙන්. මව දුවට ‘අම්මා’ කියලා කතා කරන්න පටන් ගත්තා. මම තැති ගනිමින් මිතුරිය දිහා බැලුවේ ඇය කුමක් කියයිද කියලා. නමුත් ඇය සිය මවට ‘ඔව් බබා, ඔයාට මොනාද ඕනා?’ කියමින් කතා කළා. “මම ඔයාගෙ අම්මා නෙවෙයි, ඔයාගෙ දුව”, කියා කොයි විටක වත් තර්ක කලේ නෑ, වැරදි හදන්න ගියේ නෑ. ඔවුන්ගේ චරිත වල, කාර්ය භාර වල ආපසු හැරවීමක් සිදු වුණා. දුව නැළවිලි ගීත ගයා මවව නළවා නිදි කෙරෙව්වා. ඇය තම මවගෙ අමතක වීමට මුහුණ දුන්න හැටි දිහා බලා ඉඳලා මම ඉගෙන ගන්න උත්සාහ කළා.
ග්ලෙන් ගෙ අවසාන සිංදුවට ආපහු ගියොත්, ග්ලෙන් ගෙ වචන සරලයි, නිර්දයයි, අවංකයි. ඔහු ගයනවා…
“මා මෙතැන සිටියත්, මා නික්ම ගොස් ඇත.
මා තව දුරටත් මගේ ගිතාරය වයන්නේ වත්, ගයන්නේවත් නැත.
මා ආදරය කරන අවසන් පුද්ගලයා ඔබය.
මට මතක ඇති අවසන් මුහුණ ඔබේය.
හොඳම දේ නම්, මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත.
ඔබ හඬන විට මට වේදනාවක් නොදැනෙනු ඇත.
ඔබ දරන දුක් කම්කටොළු මා දැන ගන්නේ නැත.
ඉතිරි වී ඇත්තේ එක් ආත්මාර්ථකාමී සිතුවිල්ලක් පමණි.
මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත”
තම ශෝකාන්තයේදී පවා ග්ලෙන් පාලනය තමන් අතට ගන්න විදිය අපූරුයි. ඒ අසරණ නොවීම අපූරුයි. අපට ආගන්තුක ඒ බටහිර විවෘත බව අපූරුයි, ආකර්ෂණීයයි. ඩිමෙන්ශියාව නිසා ග්ලෙන් කැම්ප්බෙල් පරාජය වුණා කියලා හිතෙන්නෙ නැති තරමටම ඒ වචන අපූරුයි.
One Response
I am glad you wrote this piece. I am aware of similar and other sensitive and complex situations such as erroneous spousal recognition, family members face in other countries like Canada. Now, there are laws in place to address these issues such as ” consent”.
At the moment, in Sri Lanka, about 150,000 are considered to be living with dementia and are forecast to rise this number to half a million by 2050.
Comments are closed.