පුනරාගමනය

Alochana-Che-Punaragamanaya

හොරණ ටවුමෙන් ත්‍රිවීලරයට ගොඩ වුණේ කවුද කියල අදුන ගන්න මට අමාරු වුනේ නෑ. ‘චේ’. එයා දැනගෙන ඉන්න නැතිව ඇති මගේ ත්‍රිවිලරේ පිටිපස්සෙ එයාගේ පිංතූරයක් අලවලා තියෙනවා කියල.

අපි යාහලතැන්නට එනකොටත් උත්සවය පටන් අරගෙන.

“සහෝදරය මම විනාඩි පහෙන් එනව.”

‘චේ’ ත්‍රිවීලයෙන් බැහැල ‘මැහෝගනී’ ගහ ලගට ගියා.මමත් ‘චේ’ පිටුපසින් ගියා.

උත්සව සංවිධායකයින් හොදටම කලබල වුණා.අවුරුද්දකට සැරයක් මේ ‘මැහෝගනී’ ගහ යට ‘චේ’ අනුස්මරණ උත්සවයක් පැවැත් වුවත් ඔවුන් හිතන්න නැතිව ඇති ‘චේ’ කවදාකවත් සජීවම ඊට සාභාගි වේවි කියල. අනිත් එක මේ ‘චේ’ගෙ පනස් වන අනුස්මරණ උත්සවය.

ආරාධිත අමුත්තො ගල්වෙලා බලාගෙන හිටිය.මාතෘ භූමිය රැක ගැනීමේ නව සමාජවාදීන්ගේ සංගමයෙ සභාපති, සමාජවාදී ත්‍රී සිංහලයේ සංගමයේ ලේකම්ට කනට මොනවාදෝ කෙඳිරුවා.හිටපු රජතුමාගේ රජයේ කසළ සංරක්ෂණ ඇමතිව සිටි නව සමාජවාදී මහලු සංගමයේ සභාපති වූ මහාචාර්යතුමා මූලාසනයේ සිට නොරිස්සුම්ව බලා සිටියා.

කොහොම නමුත් කොහොමද ‘චේ’ අනුස්මරණ උත්සවයේදී ‘චේ’ ට කතාවක් නොදී ඉන්නෙ. සංවිධායකයින්ට කරන්න දෙයක් තිබුණේ නෑ.

1959 / අගෝස්තු මාසයේ තමන් විසින්ම රෝපණය කළ, අද විශාල වෘක්ෂයක්ව පවතින ඒ මැහෝගනී ගස යට සිට ‘චේ’ කථා කළා.

” මැහෝගනියා. මේ රටට ගෙනා විදේශීය ශාකයක්. දකුණු අමෙරිකාව සහ මෙක්ෂිකෝව තමයි මේ ශාකයේ නිජ බිම. මෙලියසී පවුලට අයත් මේ ශාකයේ උද්භිද විද්යාත්මක නාමය වන්නේ ස්ටෙනියා මැක්‍රොෆිලා.පසු ගිය කාලයේ මෙහි දැව පළමුවන ශ්‍රේනියේ දැව වර්ගයක් ලෙසින් නම්කර තිබුණත් මෑතක සිට එය ඉවත් කර ඇති බව දැන ගන්න ලැබුණා.කොහොම නමුත් මේ ගහ යට හරිම සුවදායකයි. විනාඩි කීපයක් හෝ මෙතන ගත කරන්න ලැබීම හරිම අපූරුයි. අවස්ථාවක් ලැබුණොත් ලබන අවුරුද්දෙත් මම එනව. ස්තුතියි…..”

“යමු සහෝදරය…”

පසු පස අසුනේ ඉඳගත් ‘චේ’ දිග සුරුට්ටුවක් දල්වා ගත්ත.

ආපසු එන ගමනේදී මට කතා නොකර ඉන්නම බැරි වුණා.

” ‘චේ’ සහෝදරය, මම බලාපොරොත්තු වුණේ අර විදියේ කතාවක් නම් නෙමෙයි.”

‘චේ’, ඉදිරි පස කන්නාඩියෙන් මගේ මූණ දෙසට ඒ තියුණු නෙත් හැරෙවුව.

“ඒ කිවුවෙ…?”

“මම හිතාගෙන උන්නෙ සහෝදරය සමාජවාදය ගැන, විප්ලවය ගැන, කස්ත්‍රො ගැන කතා කරාවි කියල.”

දුම් වළාවක් මගේ මූණට එවපු ‘චේ’ කතා කළා.

“සහෝදරය, මී හරකුන් එක්ක තණකොළ ගැන මිසක් වෙන අහවල් දෙයක් ගැන කතා කරන්නද…?”

සල්ලි දීල “චේ” බැස්ස. මම බලාගෙන හිටිය.චේ ඈතට යනකම්…….,

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත