“ බහුං චෙ සරණං යන්ති – පබබතානි වනානි ච
ආරාම රුක්ඛ චෙත්‍යානී – මනුස්සා භය තජ්ජිතා…”
(බෞද්ධ ඉගැන්වීම අනුව, මිනිසුන් ආරාම, ගස්, ගල්, දාගැබ් වැඳීමෙන් පිහිටක්, සරණක් සොයා යාමට මූලික හේතුව වන්නේ සන්තානගත අප්‍රමාණ භීතියයි)
ධම්මපද පාලිය, බුද්ධ වග්ගය. 10 ගාථාව.
“බෝ මළුව අවට නිකරුණේ ගැවසීමෙන් වළකින්න.”
“ මෙය ආගමික ස්ථානයක් බැවින් විනීතව හැසිරෙන්න.”
“පාවහන් හිස් වැසුම් ගලවා ඇතුළුවන්න.”
“විහාර ගෙය තුළ පහන්, හඳුන් කූරු, කපුරු දැල්වීමෙන් වළකින්න.”
“මෙම ස්ථානයේ තබා යන පාවහන් පිළිබඳ විහාරස්ථානයේ කිසිවකු වග කියනු නොලැබේ.”
මේ නියෝග දකින විට විහාරස්ථානවලට සැම විටම ඇතුළුවනුයේ විනය විරෝධී, අධම, අසංවර මිනිසුන්ද යන පැනය මසිතෙහි නැඟේ. ඔවුන්ගේ ඒ විනය විරෝධී අසංවර ගුණයන්ට විහාරස්ථානය කිසිදු අයුරකින් වග නොකියන බවක් සෘජුව පැවසේ. බෝ මළුවක, විහාර ගෙයක, සෑ මළුවක සැබෑ උරුමකරුවන් කවුදැයි කල්පනා කළෙමි. මම දළදා මන්දිර භූමියේ පත්තිනි දේවාලයට මුහුණ ලා උස් ගොඩැල්ලක පිහිටි වැල් බෝ සමිඳු මළුවේ වැලි මත්තේ හිඳ ගත්තෙමි.
ඉඩකඩ මද බෝ මළුවේ තෙරපෙමින් ආමිස වැඩීමට පොර කන සැදැහැවතුන්ගේ තෙහෙට්ටුවෙන් අඳුරු වූ මුහුණු බෝධි වෘක්ෂයේ මුදුනතට එක එල්ලේ යොමු වී ඇත. සුළඟින් ඇවිස්සී අපිළිවෙලට එහෙ මෙහෙ දිව ගිය කෙසින් යුතු කතුන්ගේ හිස් ගෙඩි වලට ඉහළින් එසවුණු දෑත් මත සුවසේ සැතපෙන පිච්ච මල් වට්ටි, ජල කුම්භ, නෙළුම් මල්, එකී මෙකී නොකී පූජා ද්‍රව්‍ය විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. පූජා වට්ටි අතැති ඇතැම් සැදැහැවතුන් දේවාලයට යන පාර වැරදී වැල් බෝ මළුවට තල්ලුවී ආවාදැයි කල්පනා කළෙමි.
උස් බෝධි මළුවට පහළින් පිහිටි වැලි මළුව පුරා තැනින් තැන දැල්වෙන පහන් වැට පරිසරය කළඹවා හමා එන දැඩි සුළඟින් නිවී යයි. පහන් වැටට මඳක් එපිටින් සරුවට වැවුණු කොට්ටම්බා ගස යට ඉදි කළ දිගු සිමෙන්ති බැම්ම මත විඩාබරව වාඩි ගත් සැදැහැවතුන් පිරිසකි. උපකාරක පන්ති සඳහා පැමිණි අතර බෝ මළුවට තල්ලුවී ආවායැයි අනුමාන කළ හැකි තරුණ ජෝඩු ද අතරින් පතර වාඩිගෙන සිටිති. මළුව සිසාරමින් බිම පතිත වූ භෝජන අහුලන කුකුළන් කිහිප දෙනෙකුත් කොට්ටම්බා ගස මුදුනේ තොර තෝංචියක් නැතිව නද දෙන කපුටු රංචුවත් මා තුළ ඇති කළේ අප්‍රසන්න හැඟීමකි.
ඔවුන් සිමෙන්ති බැම්ම මත පමණක් නොව මළුව පුරාද අපිළිවෙළ චීත්ත මෝස්තරයක හැඩයට හෙළුැ වසුරු මග හරිමින් බැතිමත්තු අපුලෙන් ගමන් කරති.
නිරුවත් පාදවලින් එහෙ මෙහෙ දුව පනින ළමා ලපටි දූවිල්ලෙන් දුර්වර්ණවී ඇත්තාහ.
කොමඩු, අන්නාසි, අඹ, ඇඹුල් කෙසෙල්, දිවුල් ආදී පලතුරු හා තැන තැන විසි කළ ලෙලි, පොතු, ඇට වසා ගත් කෝඳුරු රැලකි. එක පෙළට තබා ඇති කුණු භාජන අස් කරන්නට පැමිණි සේවකයන්ගේ මුහුණු හැඟීම් විරහිතය.
ඉහළ මළුවේ තදබදයත් දහවල දැඩි දාහයත් නොරිස්සූ මම මහත් වෙහෙසක් ගෙන කපුටු මෙන්ම කුකුළු වසුරුද, පරවුණු මල් හා පලතුරු අපද්‍රව්‍ය විසිරුණු පහත මාලයේ කොට්ටම්බා සෙවණට පිවිසුනෙමි. එහි සිට බලන විට බෝධිය සාඩම්බරව වැඩ සිටින අයුරු මනාව දර්ශනය වේ. එම මනා දර්ශනය කැමරාවක සටහන් කර ගැනීමට මහත් උනන්දුවකින් වෙහෙසෙන විදේශීය තරුණ ජෝඩුවකි. ගරුසරු ඇතිව විනීතව හැසිරෙන මේ තරුණ ජෝඩුව බතික් මෝස්තරයකින් යුතු සරම් හා ලුන්ගිවලින් සැරසී සිටිති. ප්‍රංශ භාෂාවෙන් කතා කරමින් සිටි ඔවුන් දෙස බලමින්, කෙලිළොල් ලෙස හැසිරෙමින් පිටව ගිය දේශීය තරුණ කණ්ඩායම විනෝද චාරිකාවක් අතරතුර අහඹු ලෙස මෙහි පැමිණෙන්නට ඇතැයි අනුමාන කළෙමි. සැදැහැතියන්ගේ ප්‍රාර්ථනා වැකි දරා සිටින කොඩි වැල් බෙරයක තාලය නුහුරුව නැටීමට තතනන ආධුනික නර්තන ශිල්පීන් පෙළක් මෙන් ඒ මේ අත ලෙල දේ.
ඉඩෝරයෙන් වියළී ගිය පරිසරයෙන් බැට කෑ බෝධියෙහි අතරින් පතර ශේෂ වූ පත්‍ර එක දෙක ඕනෑවට එපාවට මෙන් වැනි වැනී නිසල වේ. හනි හනික දිව ගොස් බෝ සත්කාර කළ පින්වත්තු ලහි ලහියේ කපුටු හා කුකුළු වසුරු වලින් අපිළිවෙළ චීත්ත මෝස්‌තර නැංවූ කොට්ටම්බා ගස යට සෙවණට දිව එති.
ඉඩෝරය කෙතරම් වුව කොට්ටම්බා ගස් නම් සරුසාරව වැදී ඇත. තප්පරෙන් තප්පරේ බලාන ඉද්දී තව තවත් වැඩේ.
මට පසු පසින් ආ වෘද්ධ ස්ත්‍රී හඬ දෙස හැරී බැලුවෙමි. අව පැහැ ගත් සුදු ඔසරියෙන් සැරසුණු ඇය කෙරෙන් දිස් වූ දැඩි විඩාවට හේතුව මේ කටුක තාපයම නොවන බව ඒ දෙනෙත් වල ලියැවී තිබුණි. ඉඟුරු අල ඉත්තක හැඩයක් නැති හැඩයට ඇඹරි ගිය ඇගේ නිරුවත් පා ඇඟිලි දෙස මට එක වරම බැලුණේ මන්දැයි මම නොදනිමි. ඇය පසු පසින් ගමන් ගත් චාම් චීත්ත ගවුමකින් සැරසුණු, ඇස් ගිලී ගිය කෙසඟ තරුණිය අත පූජා ලට්ට ලොට්ට ශේෂයන් රැඳවු සිලි සිලි උර කීපයකි. පූජා බිමෙන් නික්ම යන දියණිය පිවිසුම් ගේට්ටුව අභියසදී ආපසු හැරී බෝධිය දෙස අවසන් ආයාචනාත්මක බැල්මත් හෙළුවාය.
“ මැඩම් ……”
මම තිගැස්සුණෙමි. “ කීපදෙනෙක් විතරයි මැඩම් අල්ලගන්න පුළුවන් වුණේ. මිනිස්සු හිනාවෙලා දුවනවා. කොහේ දුවනවද මන්දා” කටකාර නිමන්ත තනිවම මුමුණයි.
“ඔහොම නම් රිසච් කරන්න බෑ ළමයි. ඉවසීමෙන් කාලයක් ෆීල්ඩ් එකේ කැප වෙන්න පුළුවන් වෙන්න ඕන”
“මාත් බෝධියෙන් ඉල්ලන්න ඕන ලෝබ නැතුව හිතේ තියෙන ප්‍රර්ථනා ගැන තොරතුරු කියන සැදැහැවතුන් පෝළිමක් හැදිලා එන්න කියලා………… ඇවිත් බලෙන්ම තොරතුරු කියන්න කියලා……. හරියට මහපොළ දෙන දවසෙ බැංකුව ගාව පෝළිම වගේ.
“ඇයි ගෙම්බ එකේ කෑම පෝළිම?” ඒ තවත් පර්යේෂක හඬකි.
“ ඔව් ඔව් ගෙම්බ එකෙනුත් අපි පතන්නෙ කෙලෙස්……. රසමසවුළු, කිරි පැණි, එළකිරි, මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්….. දිලිසෙන රන් තැටියෙ දාලා…. සෙකන්ඩ් ඉයර් එකේ නංගියෙක්ගේ සුකොමළ සුන්දර දිගැටි රෝස පැහැ අතකින් රිදී හැන්දෙන් බුදින්ට නේද…… නේද?
ඒ නිශාදිගේ කටකාර සම්මාදමයි.
“නෑ නෑ….. එතන තමයි අපට ජීවිතේ නිස්සාරත්වය, සරල බව පෙන්නල දෙන නියම තැන, ප්‍රාර්ථනා බෝධියක්ම නෙමේ. සිව්වසරක කෘතගුණ දක්වන්ට සුදුසු නියම අනිමිස පූජා බෝධියක්” යි තවත් සිසුවෙක් ගැඹුරු පෙනුමක් ආරූඪ කර ගනිමින් පැවසුවේය.
“ මැඩම් මොනවද ප්‍රාර්ථනා කළේ ?”
“ මමත් නියැදියක්ද එතකොට?” පැනයට් පිළිතුරු මග හරිමින් සිනාසී විමසුවෙමි.
“ මම පැතුවා පොළවේ, බංකුවල චීත්ත මෝස්‌තර අඳින මේ කොට්ටම්බා ගහ යට නිල් තෘණ සුර විමනක් මවෙන්න කියලා, සැදැහැවතුන් බෝ මළුවෙන් මෙතෙන්ට දුවගෙන එනව වෙනුවට මෙතනින් බෝ මළුවට දුවගෙන යන දවසක් ඇස් පනාපිටම දකින්ට ලැබේවා කියලා”
“ එක අම්ම කෙනෙක් කොඩියක් එල්ලුවා. ඒකෙ ලියලා තිබ්බා මගේ පුතුට නුවණ පැදෙවා කියලා.”
“ උඹේ අම්මා වෙන්නැති.”
“කටකාර තරුණයා මා දෙස බැලුයේ ගෝලයාගේ තරම වැටහුණා දැයි” අසන්නාක් මෙනි.
ඒ පාර මේක විහිළුවක් උනාද? යි නිශාදි අමනාපයෙන් පර්යේෂණ සගයන් දෙස බැලුවේ ඇස් කොණින් මා දෙසද බලමිනි. ලැබෙන්න ඔන්න මෙන්න යැයි කිව හැකි දරු ගැබක් උසුලා ගත් තරුණ මවක් ආයාසයෙන් බෝධි මළුවට නගිමින් සිටියාය. ඇගේ සැමියා යයි සිතිය හැකි මැදි වියේ පුරුෂයෙක්ද ඇය අසලින්ම ගමන් ගනිමින් සිටියේය. ඔහු අත ඇගේ අත් බෑගය එල්ලෙමින් සිටියේ පවුලේ සාමාජිකයෙක් මෙනි.
පහන් වැටට මඳක් එපිටින් වූ තෘණ පිඩැලි මත හිඳගත් සිල් මාතාවක හා හත් අට දෙනෙකුගෙන් යුතු උපාසිකාවන් කණ්ඩායමකි. බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමේ අරමුණු සිල් මාතාව අතින් නිරවුල්ව පැහැදිලි කෙරෙමින් පවතී.
“ යස්ස මූලෙ නිසින්නොව – සබ්බාරී වීජයං අකා
පත්තෝ සත්ථා – වන්දෙ නං බෝධි “
“ මේ සිල් ඇත්තන්ට මතක ඇති අපි බෝධීන් වහන්සේලා පාමුළ වැඳ වැටිලා කෘතගුණ දක්වන්නේ කුමන කාරණේකටද කියන එක ගැන. ‘ශාස්තෘන් වහන්සේ යම් මූලයක වැඩ සිටිමින් සියලු මරුන් දිනා සර්වඥතාඥානයට පත් වීද, ඒ බෝධි වෘක්ෂ මූලය වඳිමි.’ කියලා මහාබෝධිවංසේ වදාරණ මේ කාරණේ මේ ඇත්තෝ නිතර නිතර මෙනෙහි කර ගන්ට ඕන”
ඊට මදක් ඈතින් සිටි ඇතාගේ බඩ යටින් එහාටත් මෙහාටත් යාමට බලා සිටින කුඩා දරුවන් වඩා ගත් වැඩිහිටි පෝළිමකි.
“ බුදුන් සියල්ල අත් හැරිය තැන……..
අපි සියලු කෙලෙසුන් පතන තැන……” යි මම මිමිණුවෙමි.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
“ඔහොම නම් රිසච් කරන්න බෑ ළමයි. ඉවසීමෙන් කාලයක් ෆීල්ඩ් එකේ කැප වෙන්න පුළුවන් වෙන්න ඕන”
“මාත් බෝධියෙන් ඉල්ලන්න ඕන ලෝබ නැතුව හිතේ තියෙන ප්‍රර්ථනා ගැන තොරතුරු කියන සැදැහැවතුන් පෝළිමක් හැදිලා එන්න කියලා………… ඇවිත් බලෙන්ම තොරතුරු කියන්න කියලා……. හරියට මහපොළ දෙන දවසෙ බැංකුව ගාව පෝළිම වගේ.
“ඇයි ගෙම්බ එකේ කෑම පෝළිම?” ඒ තවත් පර්යේෂක හඬකි.
“ ඔව් ඔව් ගෙම්බ එකෙනුත් අපි පතන්නෙ කෙලෙස්……. රසමසවුළු, කිරි පැණි, එළකිරි, මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්….. දිලිසෙන රන් තැටියෙ දාලා…. සෙකන්ඩ් ඉයර් එකේ නංගියෙක්ගේ සුකොමළ සුන්දර දිගැටි රෝස පැහැ අතකින් රිදී හැන්දෙන් බුදින්ට නේද…… නේද?