ඈතින් පෙනෙන කඳුයායේ ඉහළින්ම ඇති කඳු මුදුනේ පිහිටි යෝධ ඇන්ටෙනා කුලුනේ දැවටෙමින් නොනැවතී ගලායන වලාකුළු ගංගාවකි. ඒ දෙස හැඟීමකින් තොරව නෙත් යොමා සිටි හේමන්ත දිගු කොරිඩෝවේ වූ ජනෙල් කවුළුවෙන් දෙනෙත ඉවතට ගත්තෙ වලාකුළු මත පතිතවන කෙමෙන් මෝරන හිරු රැස් වලින් ඇසට විඩාවක් දැනුන හෙයිනි.
දැඩි සත්කාර ඒකකය ඉදිරියේ ඇති දිගු පටු කොරිඩෝව ඒ මොහොතේ මහා නිශ්ශබ්දතාවක ගිලී තිබුණි.
කලු පැහැති ගැහැනිය වාඩිවී සිටියේ ඒ කොරිඩෝවේ වම්පස එක පෙළට තබා ඇති සුදු පැහැති ප්ලාස්ටික් පුටු පේළියේ දැඩි සත්කාර ඒකකයට ඇතුල්වන දොරටුව අසලම වූ දෙවන පුටුවේය. තද දුඹුරු පැහැයට හුරු දිගු සායකින් සහ ලා පැහති බ්ලවුසයකින් සැරසී සිටි ඇය ගාථා සහ බෝධි පූජා කවි සහිත සුලබව දක්නට ලැබෙන කුඩා පොත් පිංචක් පෙරළාගෙන මුමුනමින් සිටියාය. මේ දින දෙක තුනේම ඈ සිටියේ මේ ඉරියව්වෙන්මය.
සුදු පැහැති ගැහැනිය වාඩිවී සිටියේ කලු ගැහැනියට පුටු හත අටකට ඈතින් වූ පුටුවකය. ඩෙනිම් කලිසමකින් සහ ලා පැහැති සැහැල්ලු කමිසයකින් සැරී සිටි ඇය දිගු කල්පනාවක සැරිසරන බව පෙනුණි. ඇය අසල අසුනේ සිටි සරසවි ශිෂ්‍යයෙකු වූ ඇගේ පුතා ගේ අවදානය යොමුව තිබුනේ ඔහු අතවූ අයි පෑඩයේ තිරය වෙතය.
ඔවුන් තිදෙනාට අමතරව ඒ දිගු කොරිඩෝවේ ඒ මොහොතේ සිටියේ හේමන්ත පමණි.
පැය භාගයකට පමණ පෙර දැඩි සත්කාර ඒකකය තුළට ගිය විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු කන්ඩායම එළියට එනතුරු ඔව්හු බලා සිටියහ.
මේ දින දෙක තුනේ හේමන්තටද වැඩි කාලයක් ගත කරන්නට සිදුවූයේ රෝහලේය. එය එක් ආකාරයකින් ඔහුට ප්‍රධාන කාර්යාලයෙන් පැවරුන රාජකාරියක් විය. තවත් පැත්තකින් යුතුකමක් විය. පළමු කාරණාවට වඩා ඔහු මුල්තැනක් දුන්නේ දෙවැන්නටය.
ප්‍රියලාල් එදිරිසිංහ අසනීපවූයේ හේමන්ත සමඟ ගමනක් යමින් සිටියදීය. ප්‍රධාන නගරයෙන් තරමක් ඈතින් පිහිටි කුඩා නගරයක වෙළඳ නියෝජිත වරයෙක් හමුවීම සඳහා ඔව්හු යමින් සිටියහ. හේමන්ත රිය පැදවූ අතර ප්‍රියලාල් සිටිය් ඔහු පසෙකින් ඉදිරි අසුනේය.
කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ හේමන්ත නුවර ශාඛාවේ ප්‍රධාන කළමනාකාර වරයා ලෙසින් වැඩ බාරගෙන ඒ වන විට සතියක්වත් ගතවී නොතිබිණි. එහි අළෙවි කළමනාකරු ලෙසින් කටයුතු කළේ ප්‍රියලාල්ය. ප්‍රියලාල් ඔහුගේ නමටම ගැලපෙන ආකාරයේ ප්‍රිය ජනක අයෙකු විය. ප්‍රදේශයේ සියලුම වෙළඳ නියෝජිතයින් සමඟ ඔහු ඉතා යහපත් සම්බන්ධයක් පවත්වාගන ගියේය. හේමන්තගේ මුල් දින කීපයේ රාජකාරිය වූයේ ප්‍රියලාල් සමඟ ගොස් වෙළඳ නියෝජිතයින් හමුවීමයි. රාජකාරියට ලැදිව මහත් කැපවීමකින් කටයුතු කරන ප්‍රියලාල් සැහැල්ලු ගති පැවතුම් ඇති විනෝදකාමී අයෙකු බවත් ඔහු සමඟ කටයුතු කිරීම තමාටද මහත් පහසුවක් බවත් ඒ දින කීපයේදී හේමන්තට ඒත්තු ගොස් තිබිණි.
ඔව්හු නගරයෙන් කිලෝමීටර් පහළොවක් පමන දුරින්වූ කඳුපාරක යමින් සිටියහ.
“ බොස්… ඔන්න ඔය වංගුව පහුකරාම රොටී කඩයක් තියනවා… වෙඩිල්ල වගේ ලුණු මිරිසක් එක්ක උණු උණු රොටියක් කාලා කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට එකක් බීලා යමු…” ප්‍රියලාල්ගේ යෝජනාව හේමන්ත සම්මත කළේ ඔහුට ඒ වන විට සුළුදිය පහකිරීමේ අවශ්‍යතාවක්ද ඇතිවී තිබූ හෙයිනි. වේලාව දවල් එකොළහට ආසන්නව තිබිණි. රොටී කෑමටත් තේ බීමටත් වඩා ප්‍රියලාල්ට අවශ්‍යව තිබුනේ දුම් වැටියක් ඉරීමටය. ඔහු දුම් පානයට තදින් ඇබ්බැහිවී සිටින්නෙකු බව මේ දින දෙක තුනේදී හේමන්ත හඳුනාගෙන සිටියේය. තේ පානයෙන් පසු කඩ මිදුලට පැමිණි ප්‍රියලාල් මහත් ආශ්වාදයකින් යුතුව දුම්වැටියක් උරන්නට පටන් ගත් අතර ඈතින් පෙනෙන කඳුයායේ තැන තැන රිදී පැහැයෙන් බබලන දිය ඇලි වල විසිතුර විඳිමින් හේමන්ත ඔබ මොබ සක්මන් කරමින් සිටියේය. ඔවුන් නැවත ගමන ආරම්භ කර විනාඩි පහක්වත් ගතවූයේ නැත. ඒ මොහොතේ රිය ගමන් කරමින් තිබූ මඟ දෙපස වූයේ ෆයිනස් කැලෑවකි. එක් වරම සිය පපුවේ වම්පැත්ත අල්ලා ගත් ප්‍රියලාල් මහත් වේදනාවකින් ඇඹරෙන්නට වූවේය. ක්ෂණයෙන් ඔහුගේ මුළු සිරුරම දහදියෙන් තෙත්ව ගියේය.
“බොස්… මට… අමාරුයි…”
ඔහු වචන ගලපා ගත්තේද මහත් ආයාසයකිනි. හේමන්ත වහාම අයිනකට කර රිය නවතා ගත්තේය. ප්‍රියලාල්ගේ මූළු සිරුරම එක්වරම වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය. හේමන්ත වහා අසල වූ වතුර බොතලය ගෙන එහි මූඩිය අරින විටත් ප්‍රියලාල් සිටියේ සිහිසුන් තත්වයකය. අසුනේ ආරක්ෂක පටියෙන් බැඳුනු ඔහුගේ සිරුර නොනැවතී ගැහෙමින් පැවති අතර ගෙල පහලට කඩාවැටී තිබිණි. සියල්ල සිදුවීමට විනාඩි දෙක තුනක්වත් ගතවූයේ නැත.
ඒ ෆයිනස් කැලෑව මැද පෙනෙන තෙක් මානයක ගෙයක් දොරක් නැත. මහ පාරද පාළුය. කළයුත්තේ කුමක්ද යැයි සිතාගැනීමට තරම් පියවි සිහියට එන්නට හේමන්තට විනාඩි දෙක තුනක් ගතවිය. වහාම කළයුතුව ඇත්තේ රෝහලක් වෙත ප්‍රියලාල් රැගෙන යාමයි. ඔවුන් යමින් සිටි කුඩා නගරයේ රෝහලක් තිබේදැයි හේමන්ත නොදනී. ඔහු දැන් සිටින තත්වය අනුව ගෙනයා යුත්තේද පහසුකම් සහිත රෝහලක් වෙතය. මෙය අත්හදා බැලීම් කළයුතු අවස්ථාවක් නොවේ.
වහා යූ වටයකින් රිය හරවාගත් හේමන්ත තමන්ට හැකි උපරිම වේගයෙන් පැමිණි දිසාවටම නැවත පැදෙව්වේය. නගරයේ ප්‍රධාන රෝහල වෙත එන්නට ඔහුට ගතවූයේ විනාඩි විස්සකටත් වඩා අඩු කාලයකි. රෝගියා කෙළින්ම ඇතුලත් කරනු ලැබුවේ දැඩි සත්කාර ඒකකයටය. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා හේමන්තට පැවසූවේ එක් වරම හටගත් දරුණු හෘදයාබාද තත්වයක් සමඟ ඇතිවූ මොළයේ ලේ කැටයක් හිරවීමේ හේතුවෙන් ප්‍රියලාල් කෝමා තත්වයකට පත්ව සිටිනා බවය. ඒ වන විටත් ඔහුගේ ජීවිතය රැකීමේ වගකීම යන්ත්‍ර සූත්‍ර කීපයකට පවරා දී තිබිණි. ප්‍රියලාල්ගේ නිවස පිහිටා තිබුනේ නගරයෙන් කිලෝමීටර් තුනක පමණ දුරකිනි. එය කොටස් කර විකුනන ලද ඉඩමක පර්චස් දහයක පමණ බිම් කඩක අඩක් ඉදිකර තිබූ කුඩා නිවසකි. එහි පිටත බිත්ති කපරාරු කර තිබුනේ නැත. ගෙවත්ත මනාව සකසා ඉතා පිරිසිදුව පවත්වාගන යන බව පෙනිණි.
“ගෙදර වැඩ ඉවරකර ගන්න කියලා මිනිහා ලෝන් ඇප්ලිකේෂන් එකකුත් දාලයි බොස් තිබ්බෙ… වයිෆ් ජොබ් එකක් කරන්නෙත් නෑනෙ…” හේමන්ත සමඟ පැමිණි අමරජීව කීවේය.හේමන්ත ඒ මොහොතේ සිතමින් සිටියේ ප්‍රියලාල්ගේ බිරිඳට මේ ගැන කියන ආකාරය පිළිබඳවය. “අමරජීව ප්‍රියලාල්ගෙ වයිෆ්ව අඳුනනවා ඇතිනෙ නේද…?” “ අනේ නෑ බොස්…මම දැකලාවත් නෑ…මම මේ ගෙදර තියන තැන දන්නෙත් අපි කොළඹ මීටින් වලට ගිහින් එනකොට රෑවුනාම එයා බස්සන්න වාහනේ මෙතෙන්ට එන හින්දා…” “ මිනිහට ළමයි ඉන්නවද..?” “නෑ… ඒ හින්දමද කොහෙද මිනිහා එයාගෙ පුද්ගලික විස්තර කියන්න වැඩිය කැමති නෑ වගේ… අපි අහන්නෙත් නෑ…” අමරජීව වසා ඇති දොරට තට්ටු කළේය. “කවුද…?”
දෙතුන් වතාවක් තට්ටු කළ පසු නිවස තුළින් ගැහැණියකගේ සිහින් කට හඬහක් ඇසිණි. “අපි ප්‍රියලාල්ගෙ ඔෆීස් එකෙන්… පණිවිඬේකට ආවෙ…” අමරජීව කීවේය. කලබලවූ පා හඬක් ගෙතුළ ඔබමොබ යනු ඇසී තප්පර කීපයකින් ඉදිරි දොර අඩක් ඇරිණි. බියපත් විසල් දෙනෙතින් යුතු ගැහැනියක් දොර අවුරා සිටගන සිටියාය. ඔවුන් දෙදෙනා දෙසත් පාරේ නවතා ඇති වාහනය දෙසත් යොමුකළ ඇගේ බැල්මේ සැකය, කුතුහලය සහ බිය රැඳී තිබෙනු පෙනිණි. තළ එළලු පැහැයත් කලු පැහැයත් අතර ඡවි වර්ණයකින් යුත් ඇය අවුරුදු තිස්පහක තරමේ එකියක සේ පෙනුන අතර කිසියම් ආකර්ශනීය සුන්දරත්වයක්ද ඈ කෙරෙන් දිස්වෙතැයි හේමන්තට සිතිණි. “මම අමරජීව… මේ අපේ බොස් මිස්ට හේමන්ත…” අමරජීව මහත් අපහසුවෙන් වචන ගැටගසමින් කීවේය. ගැහැනිය විමතියෙන් මෙන් ඔවුන් දෙදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.
“කෝ එයා…?”
තප්පර කීපයකින් පසු ඇය ඇසුවාය. කිසියම් විපතක සැකයක් ඇගේ ස්වරයේ විය. “ප්‍රියලාල්ට හදිස්සියෙ ටිකක් අසනීප වුනා…දැන් හොස්පිට්ල් එකේ ඉන්නෙ…” ඇය ඇරුන දොර පියනට තදින් වාරුවූවාය…
“මට ඇත්ත කියන්න…මොකද වෙලා තියෙන්නෙ..?.”
ඇය මහ හඬින් ඇසුවාය.
“කලබල වෙන්න එපා මිසිස් එදිරිසිංහ… එයාට එච්චර අමාරුවත් නෑ…පොඩි පපුවෙ අමාරුවක්… බයවෙන්න දෙයක් නෑ… දැන් සේරම ප්‍රතිකාර කෙරෙනවා…” හේමන්ත කීවේය.
“උදේ ගෙදරින් එළියට බහිනකොට හූනෙක් ඇඬූවා…මම කිව්වා ටිකක් ඉඳලා යන්න කියලා… ඒත් ඇහුවෙ නෑ..”
ඇය විලාප නඟන්නට වූවාය. හේමන්තට එක්වරම සිහිවූයේ නිරංජලාය. තමා පිළිබඳව මෙවැනි පුවතක් ඇයට අසන්නට ලැබුනානම් ඇය ඒ අවස්ථාවට මුහුණ දෙන අයුරු සිතාගන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් ඒ ගැන සිතනවාට වඩා නොසිතා සිටීම සුදුසුයැයි ඔහුට හැඟුනේ සිතන්නට ගිය විටය. කරකියාගත හැකි දෙයක් නොමැතිව දොරකඩ අසරණවී සිටි හේමන්තට සහ අමරජීවට තරමක සැනසුමක් ලැබුනේ ඇගේ හැඬුම අසා එතනට පැමිණි යාබද නිවසේ පදිංචිවී සිටි මැදිවියේ කාන්තාව නිසාය. කාරුණික ගැහැනියක වූ ඇය ප්‍රියලාල් බිරිඳ සනසමින් ඇය සමඟ රෝහලට පැමිණියාය. සවස් වන විටත් ප්‍රියලාල්ට සිහිය ලැබී තිබුනේ නැත. ඇයට ඔහුව දකින්නට ලැබුනේ දැඩි සත්කාර ඒකකයේ ඔහු වැතිර සිටි කුටියේ වූ කුඩා කවුළුවකිනි. ඔහුගේ සිරුරට සම්බන්ධ කළ නළ බොහොමයකි.පරිගණක තිර කිහිපයක උස්පහත්වන ප්‍රස්තාර රේඛා සමූහයකි. ඈ ඒදෙස බලා සිටියේ මහත් අසීරුවෙනි. කිසිදු රෝග ලක්ෂණයකින් තොරව නිරෝගිමත් සැහැල්ලු ජීවිතයක් ගත කළ ඔහු හිටිගමන් මෙවැනි තත්වයකට පත්වීම ඇයට අදහාගත නොහැක. දෙනෙතින් නොනැවතී ගලන කඳුළු වලකාලමින් ඒ වනවිට ඇය ඕනෑම තත්වයකට මුහුණ දීම සඳහා සිත දැඩිකරගන්නට උත්සාහ දරමින් සිටියාය. හේමන්ත පසුදා උදෑසන කාර්යාලයට යන්නට පෙර රෝහලවෙත යන විටත් ප්‍රියලාල්ගේ බිරිඳ දැඩිසත්කාර ඒකකය ඉදිරියේ කොරිඩෝවේ පුටුවකට වී ගාථා පොතක් දිගහැරගෙන සෙමෙන් මුමුනමින් සිටියාය. සුදු ඇඳමකින් සැරසී සිටි ඇය කෙරෙන් පෙර දිනයට වඩා සන්සුන් බවක් දක්නට ලැබිණි.
“ තවම සිහිය ඇවිත් නෑ… එයාට මේ දවස්වල හුඟක් අපලයි… වරු හතක් බෝධි පූජා තියන්න කියලා ඊයෙ කේන්දරේ බලපු වෙද මහත්තයා කිව්වා… මම පාන්දරම වැල් බෝධියට පූජාවක් තියලයි ආවෙ… දළදා මාළිගාවට බාරෙකුත් වුනා…” ඇය සෙමෙන් කීවාය. ඈ සිටියේ තනියමය.
“නෑදෑයො කවුරුත් තවම දන්නෙ නැද්ද…?” හේමන්ත ඇසුවේය.
“ළඟ පාතක කව්රුවත් නෑ…අපි අනුරාධපුරේනෙ…”
“දෙන්නම..?”
“එයා අනුරාධපුරේ… මම කැකිරාවෙ…”
“කාට හරි කිව්වොත් හොඳයි නේද…?”
ඇය මොහොතක් නිරුත්තරව සිටියාය.
“මිසිස් එදිරිසිංහට තනියම අමාරුයිනෙ… මේ වෙලාවෙ කව්රුහරි නෑයෙක් ළඟ ඉන්නවනම් හොඳයි…”
ඇය කල්පනා කරමින් සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත. ප්‍රියලාල් රෝහල් ගතකර දෙවන දිනයේ සවස් වරුවේ ලා නිල් පැහැති සාරියකින් සැරසුන අවුරුදු තිස්පහක හතලිහක පමණ පෙනුමක් ඇති පැහැපත් ගැහැනියක් අවුරුදු දහ අටක පමණ වයසැති තරුණයෙක් සමඟ හේමන්තගේ කාර්යාලයට පැමිණියාය.
“මම දීප්ති එදිරිසිංහ…අනූරාධපුරේ ඉඳන් ආවෙ….”
හේමන්ත ඉදිරියේ හිඳගනිමින් ඇය කීවාය. “ප්‍රියලාල්ගෙ සහෝදරියක් වෙන්න ඇති…?” “නෑ…මම එයාගෙ වයිෆ්…මේ ඉන්නෙ එයාගෙ පුතා…”
ඇගේ ස්වරයේ සහ පෙනුමේ එඩිතර බවක් සහ අභිමානවත් බවක් රැඳී තිබිණි. හේමන්ත විමතියෙන් මෙන් ඇය දෙස බැලුවේය. ඔහුගේ බැල්මේ අරුත වටහාගත් ඇගේ මුවගට නැඟුනේ උපහාසාත්මක මද සිනහවකි.
“එතකොට…අර…”
“කලු ගෑණු කෙනාද…? එයා ප්‍රියලාල්ගෙ වයිෆ් නෙමෙයි… මමයි එයාගෙ නිත්‍යානුකූල බිරිඳ…”
කිසිදු කණගාටුවක් හෝ පසුතැවිල්ලක් ඒ සුදු පැහැති ගැහැනියගේ මුහුණේ ලියැවී තිබුනේ නැත.
“මට තේරෙන්නෙ නෑ…”
“ඒක ඔබතුමා තේරුම් ගන්නන ඕනැත් නැහැ. එයා මගෙ නිත්‍යානුකූල සැමියා… මේ දරුවගෙ තාත්තා… මේ අපෙ මැරේජ් සෙටිපිකට් එක… අවශ්‍ය වුනොත් අවශ්‍ය ලියකියවිලි මම ඉදිරිපත් කරන්නම්… ප්‍රියලාල්
සම්බන්ධ ඕනැම කාරණේකදි මීට පස්සෙ මගෙත් එක්ක කතා කරන්න… මේ තියෙන්නෙ මගෙ කාඞ් එක..”
අනුරාධපුරයේ බැංකුවක සහකාර කළමනාකාර වරියක් ලෙසින් ඇය කටයුතු කරන බව එම නම් පතෙහි සඳහන්ව තිබිණි.
“කොහොමද ප්‍රියලාල් අසනීපෙන් කියලා දැනගත්තෙ….?”
“එයා පදිංචි වෙලා ඉන්න ගෙවල් ළඟ ඉන්නවා මගෙ නෑයෙක්… එයා තමයි කෝල් එකක් දීලා කිව්වෙ… අපි හොස්පිට්ල් එකට ගියා… මගෙ යාළුවෙක්ගෙ මහත්තයා මෙහෙ හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්… අපි එයා වත් හම්බවුනා… මොළේට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවලු… විශ්වාසයක් තියාගන්න බෑ කියලයි එයා කිව්වෙ…”
ඇය කතා කරන්නේ නන්නාදුනන මිනිසෙකු ගැන තවත් කෙනෙකුට තොරතුරු කියන්නාක් මෙනි.
“සමාවෙන්න මෙහෙම ඇහුවට… ඔබ තුමිය එයාගෙන් ඩිවෝස් වෙලාද ඉන්නෙ…?”
“ඩිවෝස් වෙලා හිටියනම් මෙහෙම අයිතියක් කියන්න මම එන්නෙ නෑනෙ… එයාට නම් ඩිවෝස් වෙන්න ඕනැකමක් තිබ්බා… ඒත් මම ඒකට ඉඩදුන්නෙ නෑ… එකක් මේ ළමයා ගැන හිතලා. අනික මගෙ ආත්ම ගරුත්වය ගැන හිතලා… අපේ පවුල්වල කව්රුත් දික්කසාද වෙලා නැහැ…”
ඇය කීවේ මහත් ආඩම්බරයකිනි.
“දැන් කරන්න දෙයක් නෑ… තීන්දුව තියෙන්නෙ දෙවියන් අතේ… තම තමන් වපුරපු හැටියට තමයි තම තමන්ට අස්වැන්න ලැබෙන්නෙ…”
ඇය අසුනින් නැගිටින ගමන් කීවාය. හේමන්තගෙන් සමුගත් ඇය සිය පුත්‍රයා සමඟ කාර්යාලයෙන් පිටවී එහි මිදුලේ නවතා තිබූ නවීන පන්නයේ කුඩා මෝටර් රථයේ රියැදුරු අසුනට නැඟී පිටව යන දෙස හේමන්ත ජනෙල් කවුළුවෙන් බලා සිටියේය.
“අපි දෙන්නා කසාද බැන්දෙ නෑ… ඒත් දැන් අවුරුදු පහක් එකට ජීවත්වෙනවා… කසාද බඳින්නෙ කොහොමද? එයාගෙ නෝනා එයාට ඩිවෝස් වෙන්න දුන්නෙ නෑනෙ. බැන්දෙ නෑ කියලා අපේ ජීවිත වලට කිසි අඩුවක් තිබ්බෙ නෑ මිස්ට හේමන්ත…. අපි සන්තෝසෙන් ජීවත්වුනා… මම එයාව බලා ගත්තා… එයා මාව බලා ගත්තා… එයා එයාගෙ දරුවටත් සැලකුවා… කව්රුත් කියලාවත් ඉල්ලලාවත් නෙවෙයි එයා හැම මාසෙම දරුවට සල්ලිත් ඇරියා… ඉඳහිට බලන්නත් ගියා… අරයා උදේ මෙතෙන්ට ඇවිත් මට තර්ජනය කරලයි ගියෙ…”
එදින සවස රෝහලේදී හමුවූ කළු ගැහැනිය හඬමින් හේමන්ත සමඟ කීවාය.
“මොනවා කියලද තර්ජනය කළේ…?”
“මට මෙතන කිසිම අයිතියක් නෑ කිව්වා… ප්‍රියලාල් සම්බන්ධ කිසිම දේකට මට කතා කරන්න එපා කිව්වා… මට ඇඟිලි ගහන්න එපාලු… සේරම එයා බලා ගන්නවලු… අනේ එහෙම හරි කරලා එයා සනීප වෙනවනම්…”
ඇය මොහොතක් ඉකි ගසමින් වැලපුනාය. තප්පර ගනනකින් ඇය නිහඬවී කඳුළු පිසදාගත්තාය.
“දැන් මම යන්න ඕනැ… අද වැල් බෝධියෙ හතරවන බෝධි පූජාව… වරු හතක් බෝධිපුජා තිබ්බහම එයාට ගුණ ලැබෙන්න ඕනැ…”
ඇය තෙල් මල් පහන් සහිත බෑගය රැගෙන නික්ම ගියාය. හේමන්ත තුළ මේ ගැහැනිය කෙරෙහි ඇතිවූයේ මහත් අනුකම්පාවකි…
“මේක මාර කේස් එකක් බොස්… අනුරාධපුරේ ඉන්න යාලුවෙක් මට සේරම විස්තරේ කිව්වා… මිනිහා කාලයක් ප්‍රියලාල් එක්ක එකටම වැඩකරපු කෙනෙක්…”
සුදු ගැහැනිය සහ කලු ගැහැනිය පිළිබඳව ඇතිවූ කුතුහලය පසුපස හඹාගිය අමරජීව හේමන්ත සමඟ කීවේය.
“ප්‍රියලාල් ඔය සුදු ගෑනිව බැඳලා තියෙන්නෙ ලව් එෆෙයාර් එකකින්… ගෑනි එහෙ වැදගත් පවුලක කෙනෙක්. දෙන්නා බොහොම සමඟියෙන් ආදරෙන් ඉඳලා තියනවා… ඒ කාලෙ ප්‍රියලාල් වැඩකරලා තියෙන්නෙ ෆිනෑන්ස් කම්පැනි එකක. ඔය කලු කෙල්ලත් එතන තමයි වැඩ කරලා තියෙන්නෙ… දෙන්නා අතරෙ සිරාවට නෙමෙයි ජොලියට පොඩි සම්බන්ධයක් තිබිලා තියනවා… යාලුවා කියපු හැටියට ඒක නිකං කොලුකමට කරපු එස්.එම්.එස්. ප්‍රේමයක් විතරයිලු… දවසක් ප්‍රියලාල්ගෙ නෝනට මිනිහගෙ ෆෝන් එක මාට්ටුවෙලා තියනවා… හැමදාම හවසට මැසේජ් ඩිලීට්කරන මේ යෝධයාට කරුමෙට එදා මැසේජ් ඩිලීට් කරන්න අමතක වෙලා… පැණි වෑහෙන මල් පණිවිඩ වලින් ෆෝන් එක පිරිලා… දන්නවනෙ ඔය වගේ වෙලාවට ගෑනු හැසිරෙන හැටි… ගෑණිට හොඳටම තදවෙලා ප්‍රියලාල්ගෙ ඔෆීස් එකටත් ගිහින්… අර කලු කෙල්ලගෙ ගෙදරටත් ගිහින් ගම කාලා…”
“ඉතින්…?”
“ඇත්තටම ඒ දෙන්නා අතරෙ එහෙම ලොකු සම්බන්දයක් තිබිලත් නැතිලු… නිකං විහිලුවට වගේ වෙච්ච දෙයක්… ඒ වුනාට ප්‍රියලාල්ගෙ නෝනා ඒක එහෙමයි කියලා විශ්වාස කරලා නැහැ. ගෑනි ප්‍රියලාල්ට සමාවක් දීලම නැහැ… හැම වෙලාවෙම ඇනුම්පද කියනවලු… ඉවසන්න බැරිම තැන මිනිහා ගෙදරින් එළියට බැහැලා තියනවා. බෝඩිමක නැවතිලා වැඩට ඇවිත් තියෙන්නෙ… ඒ කාලෙ තමයි කලු කෙල්ල ඇත්තටම මිනිහට ප්‍රේම කරන්න පටන් අරන් තියෙන්නෙ…”
“මට හිතෙන්නෙ ඒක අනුකම්පාවත් එක්ක මිශ්‍රවෙච්ච ප්‍රේමයක්… අර ගෑනි හොයන්නෙ බලන්නෙ නැතුව පුංචි දේකට නෙ කලබල වෙලා තියෙන්නෙ…” “ ඒකනෙ මට හිතෙන්නෙ ප්‍රියලාල්ගෙ වයිෆ් මිනිහට අසීමිත විදිහට ආදරේ කරලා තියනවා… එහෙම ආදරේකට අර වගේ පුංචි සිද්ධියක් ඇති විශ්වාසෙ කඩවෙන්න… ගෑනියෙක්ගෙ හිතක් බිඳුනොත් ලේසියෙන් හදන්න බෑ බොස්….ඒ ගෑනි මිනිහගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වුනෙත් නැතිලු… ඩිවෝස් එක දුන්නෙත් නැතිලු…”
“ඔය තරම්ම පළිගන්න හේතුව මොකක්ද…?”
“එහෙම තමයි බොස් ගෑනු… උන් ආදරේ කරනකොට බඩ බැඳගෙන ආදරේ කරනවා… වෛර කරනකොට සර්පයො වගේ පන්න පන්න දෂ්ඨ කර කර වෛර කරනවා… පුංචි සැකයක් ඇති පස්සෙන් පන්නන්න… මං හිතන්නෙ එහෙම වෛර කරන්නෙත් ආදරේ වැඩිකමට…”
අමරජීව කියන්නේ මහා දැනමුත්තෙකු සේය. සැබැවින්ම ඒ ඔස්සේ සිතිය යුතු දෑ බොහෝය. හේමන්තගේ මනසේ ඒ මොහොතේ ක්ෂණිකව එකිනෙකට ඡේදනය වූ රූප රාමු කීපයකි. ඒවායේ වූයේ කලු ගැහැනිය, සුදු ගැහැනිය සහ නිරංජලාය. දැඩි සත්කාර ඒකකය ඉදිරියේ ඇති දිගු පටු කොරිඩෝව පුරා පැතිර තිබූ මහා නිශ්ශබ්දතාව, එහි දොර ඇරුන හඬින් එක්වරම බිඳී ගියේය. පැය භාගයකට පමණ පෙර ප්‍රියලාල්ගේ තත්වය පරීක්ෂා කිරීම සඳහා එතුලට ගිය විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම පිටතට පැමිණෙමින් සිටියහ. කලු ගැහැනියත් සුදු ගැහැනියත් ඇගේ පුත්‍රයාත් අසුන්වලින් නැගිටගත්හ. මෙතෙක් වේලා කල්පනා ලෝකයක සැරිසරමින් ඔබ මොබ සක්මන් කරමින් සිටි හේමන්තද ඉදිරියට ගියේය. සියල්ලොම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ සිටගත්හ. ඔව්හු කිසියම් තීරනාත්මක පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියහ.
“දවස් හතරක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක්වුනේ නෑ… දැන් එයාගෙ මොළය සම්පුණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මොළය මිය ගිහින්… ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියන එක තේරුමක් නෑ… අපේ තීරණය ඒක අයින් කළ යුතුයි…මොකද ඔය ගොල්ලො කියන්නෙ…?”
විශේෂඥ වෛද්‍යවරයා ඉතා සන්සුන්ව පැවසුවේය.
“අනේ එපා ඩොක්ටර්… තව දවසක් බලමු… හෙට උදේ අන්තිම බෝධි පූජාව… මට විස්වාසයි එයා සනීපවෙනවා… අනේ මැෂින් එක ගලවන්නනම් එපා… වඳින්නම් ඩොක්ටර්… තව දවසක් ඉවසන්න…”
කලු ගැහැනිය මහ හඬින් කෑගසා කීවාය.
“ඔයා ලෙඩාගෙ නෝනද…?”
වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවාය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තරවූ ඇය ඉකිගසමින් හඬන්නට වූවාය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවාය.
“මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්… මට ඩොක්ටර් කියනදේ තේරෙනවා… කමක් නෑ… මෙෂින් එක ගලවන්න…”
ඇගේ ස්වරයේ ඒ මොහොතේද රැඳීතිබුනේ අභිමානයකි. සිය සිරුර පුරා එක්වරම විදුලියක් දිවයන්නාක් සේ හේමන්තට දැනුණි. කලු ගැහැනිය හැඬුම නවතා අයාගත් දෑසින් සහ මුවින් යුතුව සුදු ගැහැනිය දෙස බලා සිටියාය. හේමන්තද සුදු ගැහැනියගේ මුහුණ දෙස බැලුවේ එහි කිසියම් හැඟීමක් ලියවී ඇත්දැයි සෙවීමටය. එහෙත් එහි කිසිවක් තිබුනේ නැත. අඩුම ගනනේ වෛරයක්වත් තිබුනේ නැත. වෛද්‍ය කණ්ඩායමද එකිනෙකාගේ මුහුණු දෙස බලනු පෙනුණි. හේමන්තට එක්වරම සිහිපත්වූයේ තමා එනතුරු දරුදෙදෙනා සමඟ නිවසේ බලා සිටින නිරංජලාවය. ඔහු සෙමෙන් කොරිඩෝවේ වූ ජනෙල් කවුළුව අසලට ගියේය. කඳුමුදුනේ ඇන්ටෙනාවේ දැවටෙන සුදු පැහැති වලාකුළු මතින් පාවෙන කලු පැහැති වලාරොදකි. තව මොහොතකින් එය සූදු වලාවන් වසාගනු ඇත. කලු ගැහැනියගේ ඉකිබිඳුම සිහින් සරින් පසුබිමෙන් ඇසේ. සිය ජංගම දුරකතනයේ පිරී ඇති ඉවෝන්ගේ කෙටිපණිවිඩ සියල්ල මකා දමා ඇගෙන් සමුගතව යුතුව ඇතැයි හේමන්තට ඒ මොහොතේ සිතුණි.
නිමි
2 Responses
Excellent…
Heart touching story
Best wishes
I have all your novels
අපූරුයි චූලා. කලින් කියවා තිබුණු කතාවක් වුවත්, ඒ රසය නැවත වින්දෙමි. කාන්තා චරිතවල අන්තර්ගතයන්ට නොගැලපෙන සේ කළු සහ සුදු වර්ණ හුවමාරු කර තිබීම ම අපූර්වත්වයක් දනවයි. සැබෑ ප්‍රේමය පමණක් නොව, වංචනික විවාහ ජීවිතවල ඇති දරුණුකම හෙළිකරන කෙටිකතාවකි. පාඨකයා ප්‍රකම්පනයට පත්කරවන කූටප්‍රාප්තිය කතාවට එක්කර ඇත්තේ නොමඳ ආලෝකයකි. සුබපැතුම් !
Comments are closed.