සීයාට නත්තල්

ධනවතුනට සොම්නසත් දිළින්දනට දොම්නසත් රැගෙන සීත කාලය එළැඹ තිබිණ. ළඟ එන උත්සව සමය පිළිගන්නට නගරය සූදානම් ය. නගරයේ් වීදි, දස දහස් ගණනින්, නිවී නිවී දැල්වෙන, නේකවර්ණ විදුලි පහනින් ආලෝකමත් ය. සෑම නිවසක් ම සෑම ගොඩනැඟිල්ලක් ම නෙක් විසිතුරු සැරසිලිවලින් හැඩ ගැන්වී ඇත.

අවන්හල්වලින් නැගෙනා මියුරු සංගීතය වීදි පුරා ගලා ගියේය. නගරය පිරී තිබුණේ මිනිස් ගංගාවකිනි. නගරයේ අසිරිය විඳින්නටත්, උත්සව සමයට අවැසි ඇඳුම්-පැළඳුම්, නත්තල් උත්සවයට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගැනීමටත් පැමිණි ජනයා නිසා, සියලුම මංමාවත් පිරී ඉතිරී ගොසිනි. නත්තල් සමය වෙනුවෙන් මිහිපිට සුරපුරයක් බවට පත්කළ නගරය, ඒ හේතුවෙන් ම එහි විසූ ඇතැම් ජන කොට්ඨාසයකට මිහිපිට අපායක් බවට පත් කරන්නට සමත් විය.

ඉතාලියේ උතුරු ප‍්‍රදේශයේ අගනුවර වූ ”මිලානෝ” නගරය, අනවසර සංක‍්‍රමණිකයන්, යාචකයන්, අබිසරු ලියන්, පාතාල සාමාජිකයින්ගේ තෝතැන්නක් ලෙස ප‍්‍රසිද්ධව තිබිණ. වසන්ත සමයේ නගරයේ උද්‍යාන තුළ, උමං දුම්රිපොළවල හෝ පදිකවේදිකාවල රාත‍්‍රිය ගත කළ මිනිසුන්ට නගරයේ බොහෝ කලාප තහනම් කොට තිබිණ. රජය විසින් නොමිලේ ලබාදෙන නවාතැන්පොළවල් පිරී ඉතිරී ගොස් තිබූ නිසා බොහෝ මිනිසුන් අන්ත අසරණ බවට පත්වූයෙන් ඔවුන්ට හිමිවූයේ මහා මගයි. රාත‍්‍රියේ අධික සීතලට නිරාවරණය වීම නිසා මියෙන මිනිසුන්ගේ ජීවයෙන් තොර සිරුරු එකතු කර, ආදාහනය කිරීමට වෙනම අංශයක් නගර සභාව විසින් මෑතක දී පිහිටුවා තිබිණ.

මිලානෝ, දෝමෝ් දේවස්ථානය ඉදිරිපිට තැනූ දැවැන්ත නත්තල් ගස අසල සිටින මිනිසෙකි. තම වියපත් දෙමවුපියන්, සිය දුවා දරුවන් විසින් මහලු මඩමකට හෝ මහ මගට ඇද දැමීම සංස්කෘතියේ අංගයක් වූ රටක, එම ඉරණමට පත් වූ දහසක් මිනිසුන් නියෝජනය කළ එක් මහල්ලෙක් වන, මේ මහල්ලා ජීවත් වූයේ පල්ලිය අසල හිඟා කෑමෙනි. ඔහු නමින් මාටින් විය. මේ මහල්ලා ඔහු ඉදිරියේ ඇති දැවැන්ත ගොඩනැගිල්ලේ තිබූ හෝරා ස්ථම්භය දෙස නෙත් යොමු කළේය. වේලාව දැක්වුණේ රාත‍්‍රී 9.00 ලෙස ය. එහි වූ ඩිජිටල් උෂ්ණත්ව මාපකයේ අගය, සෙල්සියස් සෘණ අංශක 2 ලෙස සටහන්ව තිබිණ. ඔහුට වඩා වැදගත් වූයේ එම අගයයි.

”අද එළියේ හිටියොත් වෙවුලලා මැරෙනවා…”

තමාටම කියා ගත් මිනිසා නවාතැන්පොළක් සොයා ගමන් ඇරඹීය.

ඔහු සොයා ගියේ නගරයේ එක් අඳුරු වීදියක අතහැර දැමූ කර්මාන්ත ශාලාවක් අනවසරයෙන් අල්ලාගත් පාතාල කණ්ඩායමක්, එහි ගරා වැටුණු ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබූ ලැගුම් හලකි. එය මිනිස් වාසයට නුසුදුසුව ජරාජීර්ණ වී තිබුණේය. එහි වූ එකම පහසුකම වූයේ එක් ශාලාවක් තුළ වූ උණුසුමයි. එය සීතලෙන් නොමැරී සිටීමට ප‍්‍රමාණවත් විය. රාත‍්‍රිය ගත කිරීමට අය කළේ ඉතා සුළු මුදලකි. එක් රාත‍්‍රියකට අදාළ මුදල් ගෙවූ මහල්ලා ලැගුම් හලේ කොනක වැතිරිනි. මොහොතකින් නිදි දෙව්දුව ඔහුව වැළඳ ගත්තාය.

පසුපසට වැදුනු පා පහරකින් උදයේ ඔහු ඇහැරවනු ලැබිණ. ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ ගුබ්බෑයමේ හිමිකරු බෙනිටෝ ය.
”වරෙන් යන්න මාත් එක්ක.”

බෙනිටෝ අණ කළ අතර ඔහු පසුපසින් ගමන් කළ මහල්ලා. ඔහුලේ කාර්යාලයේ මේසය ඉදිරිපිට නැවතිණි. එහි ගණනින් දහයක් වූ එවැනිම වියපත් පිරිසක් එක්රැස්ව සිටියහ. බෙනිටෝ සිය හඬ අවදි කළේය.

”අපි උඹලට නත්තලට රස්සාවක් දෙන්නයි යන්නේ අද ඉඳන් හොඳට කන්න බොන්න දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. දවසට යුරෝ 20 ක් දෙනවා. කැමතිද?”

පිරිස අතර ඇති වූයේ නිහැඬියාවකි. ඔවුන් සියල්ලෝම සිටියේ වික්ෂිප්තවය.
පාතාලයන්ට එරෙහි වීම ඉතා භයානක ඉරණමකට මුහුණ දිමට හේතු විය හැක.
එක්වරම එක් මිනිසෙක් නිහඬ බව බිඳීය.

”හිඟා කන්නද?”
”අපෝ නෑ. හිඟාකන්න උඹලට වැඩිය හොඳ උන් අපි ළඟ ඉන්නවා.”
බෙනිටෝ පිළිතුරු දුන්නේ උපහාසයෙනි.

තෝරාගත් මහල්ලන් පිරිස පළමුව යොමු වූයේ නාන කාමරය වෙත ය. ඔවුන්ව සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව සියල්ලන් වෙත හැඳ ගැනීමට අලුත් ඇඳුම් ලබා දෙන ලදී. ඉන්පසු වාහනයට නැංවූ පිරිස, නගරයේ ආයතනයක් වෙත රැගෙන ආවේය. ආයතනයේ වූ විශේෂිත කාමරයක් වෙත වෙන් වෙන් වශයෙන් මහල්ලන් රැගෙන ගියේය.

කාමරයට ඇතුළු වූ මහල්ලන් එයින් එළියට පැමිණියේ වෙනත් වේශයකිනි. කාමරය තුළ සිටි වේශ නිරූපණ ශිල්පීන් විසින් මේ මහල්ලන්, ශෝභමාන ලෙස හැඳගත් ‘නත්තල් සීයලා’ බවට පත් කර තිබිණ. සිදුව තිබුණේ, උත්සව සමයේ දී වෙළෙඳ ආයතනවලට සහ උත්සවවලට නත්තල් සීයලා සපයන වෙළඳ ප‍්‍රචාරක ආයතනයක් වෙත, මහල්ලන් පිරිස, පාතාලයන් විසින් විකුණා තිබීමයි. නත්තල් සීයාගේ පෙනුම අනුව ඔවුන් එක් එක් කාණ්ඩවලට වර්ගීකරණය කරනු ලැබිණ. ඒ අනුව, පෙනුමෙන් අඩු සීයලා යොමු කෙරුණේ සුපිරි වෙළෙඳසැල් අසල දැන්වීම් බෙදා දීමට ය. දෙවැනි පිරිස අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් ට ත්‍යාග බෙදාදීමට යොදවනු ලැබිණ. දෝමෝ පල්ලිය අසල තැනූ පිනිමුවන් සහිත හිම යානය අසලට පැමිණෙන ජනයා සමඟ ඡායාරූප ගැනීමට දෙදෙනෙක් යොමුවිය.

ස්වභාවිකව වැඩුණු සුදු රැවුලත් පුෂ්ටිමත් සිරුරකින් සහ ශෝභමාන මුහුණකින් යුතුව සිටි මාර්ටින් සීයා තෝරාගනු ලැබුවේ ධනවතුන්ගේ නිවෙස්වල පැවැත්වෙන නත්තල් සාදවලදී දරුවන්ට තෑගි බෙදා දීමට ය. සන්ධ්‍යා කාලයේ ඔහුව ඉතාම අලංකාර කරන ලද විශේෂිත වාහනයට නංවා මන්දිර වෙත ගෙන යන ලදී.

තමා වටේ එක්රොක් වන කුඩා දරු දැරියන්, නත්තල් සීයා වැළඳගත්තේ සෙනෙහසිනි. ”සැන්ටා ක්ලෝස් කමින් ටු ටවුන්” යන ගීතය අනුව තාලයට පාද තබමින්, නර්තනයක් ඉදිරිපත් කරමින් ළමුනට තෑගි බෙදා දුන් නත්තල් සීයා වෙත තුටු පඬුරක් තබන්නට ගෙහිමියා අමතක නොකළේය.

පළමු දිනය අවසානයේ සියලූ‍ම මහල්ලන් නවාතැන් වෙත පැමිණුනි. ඔවුහු සියල්ලෝ බෙනිටෝ ගේ මේසය ඉදිරිපිටට එක්රැස් වූහ.

”කොහොමද ජොබ් එක හොඳයි ද? බඩ පිරෙන්න කන්න, බොන්න හම්බ වුණානේ? දැන් උඹලට ලැබුණු සන්තෝසම් මුදල් මට ලැබෙන්න ඕන. හොරකම් කරන්න බෑ.”
බෙනිටෝගේ අණට අනුව එක් එක් අය තමාට ලැබුණු මුදල් මේසය මත තැබුවේය. මහල්ලා ද වෙව්ලන දෑතින්, තමාට ලැබී තිබූ යුරෝ 50 ක නෝට්ටුව බෙනිටෝ වෙත දිගු කළේය. එහි යුරෝ 2000 ක් වැනි විශාල මුදලක් එකතු වී තිබිණ. ඒ දෙස ගිජු බැල්මක් හෙලූ තානායම්පල්ලා ඇසුවේ, “ලැබුණු මුදල මෙපමණ ද?” යන්නයි. හිස සැලීමෙන් සියල්ලෝ එය අනුමත කළෝය.

එක්වරම මහල්ලෙක් වෙත පීනූ බෙනිටෝ ඔහුගේ නත්තල් ඔළගුවේ සඟවාගෙන සිටි නෝට්ටුවක් සොයා ගත්තේය. ඒ සමගම ඔහුගේ හිසට එල්ල වූ මුගුරු පහරින් ගලා ගිය රුධිරය මහලූු මිනිසා හැඳ සිටි ලෝගුවේ රත් පැහැය හා මුසු විය.

”හොරකම් කරන එවුන්ට මගෙන් සමාවක් නැහැ.”

තානායම්පල්ලා ගිගුරුවේය.

කාලය වේගයෙන් ගලා ගොස් නත්තල් දිනය එළැඹිණි. මහල්ලා සිටියේ කනස්සල්ලෙනි. ඔහු ගෙවූ සොඳුරු දිනයන් අවසන් වීමට කාලය එළඹ තිබේ. ‘හැමදාම නත්තල් තිබුණා නම් කොපමණ හොඳද?’ ඔහුට සිතිණි. තමා රැගෙන යාමට පැමිණි රථයට ගොඩ වූ මහල්ලාට තමන් හුරු පුරුදු පෙදෙසකට ගමන් කරනා බවක් දැනුණි.

සාලය මැදට වන්නට සැදූ දැවැන්ත නත්තල් ගසකි. ඒ අසලම ගවලෙන තනා ඇත. උත්සවය සඳහා පැමිණි අමුත්තන්ගෙන් නිවස පිරී ඇත. තමා පැමිණ සිටින නිවසේ ආගන්තුක බවක් මහල්ලාට නොහැඟිණි. ප‍්‍රබෝධමත් සිතිවිල්ලකින් ඔහු ප‍්‍රාණවත් ව සිටියේය. සාදයේ වැදගත්ම අවස්ථාව එළැඹිණි. සංගීතයේ තාලයට අනුව පාද තබමින් ‘නත්තල් සීයා’ උත්සවය වෙත පැමිණියේය. ළමුන් ඔහු වටා එක් රොක් වූ අතර, තම මල්ලෙන් ගත් ත්‍යාග දරුවන්ට බෙදා දීම ඇරඹිණි.

ඒ අතර කුඩා දරුවෙකු තුරුළු කරගෙන තෑගි ලබාගැනීමට එන ගෙහිමියා වෙත ‘නත්තල් සීයාගේ’ අවධානය යොමු විණි. ඔහු සීයා වෙත ළඟා වූ විගස මහල්ලා ගෙහිමියා වෙත සුබ පැතුවේය.

”සුබ නත්තලක් මහත්මයා! ඔබගේ නම එන්රිකෝ පිකලූග ද?”

”ඔව්”

”මහත්තයාගේ උපන් දිනේ 1990 මැයි 26 නේද?”

”ඔව්”

ගෙහිමියා පිළිතුරු දුන්නේ විශ්මයෙනි. ඒ සමගම ‘නත්තල් සීයා’, සිය මුහුණ වසාගෙන සිටි වෙස්මුහුණ ගැළවීය.

”තාත්තා…!!”

ගෙහිමියාගේ කෑගැසීම නිවස පුරා දෝංකාර දුනි.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත