සත්‍යක්‍රියාව

මුළු නිවස ම එක ම මළගෙයක් වැනි ය. දියණිය බලාගත් අත බලාගෙන කල්පනා කරන්නී ය. ඇය සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වූ දා නිවස පුරා දෝර ගලාගිය සතුට වෙනුවට මුළු නිවසම පිරී ඉතිරී ඇත්තේ දුක් සුසුම් හා දුක් කඳුළුවලින් පමණක් නොව, බිරිඳ නගන දහසකුත් එකක් අවලාදවලිනි.

දියණියට පාසලක් නොමැතිවීම ගැන මතක් වන වාරයක්-වාරයක් පාසා මෙන් ම, තමා ඇස ගැටෙන වාරයක්-වාරයක් පාසා වරින්-වර උච්චාවචනය වන බිරිඳගේ අවලාද-අපහාස-උපහාස වැස්සට සති දෙකක් තිස්සේ තෙමෙන සේනාරත්නට එය දැන් හොඳින් හුරුපුරුදු ය.

තමාගේත්, බිරිඳගේත්, නෑදෑ හිතමිතුරන්ගේත් අපේක්ෂා මල්ඵල ගන්වමින් සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වූ දියණිය වෙනුවෙන් තමා කළ කැපකිරීම් එකින්-එක බිරිඳගේ අවලාද වැස්ස මැද සේනාරත්නට නිතැතින් ම සිහිපත් වන්නට වී ය. තමා රෑ දෙගොඩ හරි යාමයේ නිවසට පැමිණියත් ඉතාමත් උනන්දුවෙන් පාඩම් වැඩකටයුතුවල යෙදුණු දියණියගේ පාසල් නිල ඇඳුම් සෝදා පිරිසිදුකර මනාව රැළි තබා මැද දුන්නේත්, දිනපතා කිලිටිවන ඇගේ සුදු සපත්තු ජෝඩුව සෝදා පිරිසිදු කර දුන්නේත් තමා නොවේ දැයි ඔහු ආත්මාභිමානයෙන් සිහිපත් කළේ ය.

දියණියගේ පාසලේ සංවර්ධන සමිතියේ ලේකම්වරයා ලෙස පත්වී තම කාලය, ශ්‍රමය හා මුදල් වැයකර පාසලේ දහසකුත් එකක් කුදු මහත් කටයුතු කොපමණක් නම් තමා ඉටුකර දුන්නේ ද? එපමණක් ද? උදෑසන වැඩිපුර ටිකක් නිදාගන්නට කැමැත්තක් දක්වන තමා හැමදා ම පාන්දරින් අවදිව නිදිමතේ පාසල් බසයට ඇය කැටුව ගිය අයුරු ද ඔහුට මතක ය. බිරිඳ ඒ සියල්ල ඉතා හොඳින් ම දැන සිටිය ද දැන් ඇයට ඒ කිසි දෙයක් ගැන වගේ වගක් නැත.

එපමණක් ද? ඉල්ලුම් කළ කිසිදු පාසලකින් සම්මුඛ පරීක්ෂණ සඳහාවත් කැඳවීමක් නොලැබුණු විට එම බාලිකා පාසල්වලට ගොස් විදුහල්පතිවරියන් හමුවී මේ පිළිබඳ විමසන්නට තමා ගත් නිරර්ථක උත්සාහ නම් කොපමණ ද? පාසල් ගේට්ටුවෙන් ඇතුළට යන්නට අවසර නැතිව, පැමිණි කාරණය ආරක්ෂක අංශ වෙත ලියා දී විදුහල්පතිනියගේ පිළිතුරක් ලැබෙන තෙක් දෑස් දල්වා බලා සිටි අවස්ථා නම් කොපමණක් ද? ඒ සෑම අවස්ථාවක ම තමාට ලැබුණු පිළිතුර වූයේ උසස්පෙළ පන්තිවලට ඇතුළත් කරගන්නේ ‘ඒ’ සාමාර්ථ නමයක් ඇති අය පමණක් ය යන්න හෝ අලුතින් ආරම්භ කරන තාක්ෂණවේදය විෂයය අංශයට නම් දියණිය ඇතුළත් කරගත හැකි ය යන්න නොවේ ද? ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන්නට ඉතාමත් ආශාවෙන් සිටින දියණියගේ අහිංසක බලාපොරොත්තු එවන් සෑම අවස්ථාවක දී ම කොපමණ වරක් නම් බිඳ වැටුණේ ද?

තම ජීවිතයේ දී තමා තම බිරිඳ වෙනුවෙන්වත් නොකළ දියණිය වෙනුවෙන් ම කරන ලද අනෙක් වැදගත් ම කැපකිරීම පවා එක්කෝ බිරිඳට අමතක වී ගොස් ය. නැතිනම් ඇය එය හිතාමතා ම අමතක කරනවා වියයුතු ය. විවාහ වන්නටත් පෙර සිට ම මත්පැනට ඇබ්බැහි වී සිටි තමා දියණියගේ සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵලයත් සමඟ ඇයගේ ඉල්ලීමක් ඉටුකරමින් ඊට තිත තැබීම තම පවුලේ පමණක් නොව, නෑ හිතවතුන්ගේ ද සතුටට සහ අගය කිරීමට හේතු වූ බව සේනාරත්න අභිමානයෙන් යුතුව සිහිපත් කළේ ය. අන් අය එය අගය කරන සෑම අවස්ථාවක දී ම ත්, තමා මත්පැනින් වැලකී සිටි සෑම අවස්ථාවක දී ම ත් ඒ සතුට වැඩියෙන්ම භුක්ති වින්දේ දියණිය බව ඇගේ ඉරියව්වලින් සේනාරත්න වටහාගෙන සිටියේ ය.

වෘත්තීය සමිති ජීවිතයේ දී බොහෝ අවස්ථාවල ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව, ජනාධිපතිවරයා පවා සමීපව ඇසුරු කරන්නට සේනාරත්නට අවස්ථාව ලැබී තිබුණ ද, වෘත්තීය සමිති හා දේශපාලන වැඩකටයුතුවලට හැර පෞද්ගලික ඕනෑ එපාකම් සඳහා එම සම්බන්ධතා භාවිත කරන්නට ඔහු කිසිවිටෙකත් කටයුතු නොකළේ ය. දියණිය අගනුවර සුපිරි බාලිකා පාසලකට ඇතුළත් කරගැනීමට සහ බිරිඳට වැඩි ප්‍රතිලාභ ලැබෙන රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරුවක් ලබාගැනීමට තමා එම සම්බන්ධතා ඔස්සේ කටයුතු නොකිරීම ගැන මතක්වන වාරයක්-වාරයක් පසා බිරිඳගේ මැසිවිලි, දෙස්-දෙවොල්, අපහාස, උපහාස විඳින්නට දැනුදු සේනාරත්නට සිදුව තිබේ.

අවසානයේ තමා අකැමැති ම දෙය දියණිය වෙනුවෙන් ඉටු කරන්නට සේනාරත්න තීරණය කළේ මෙය අනවශ්‍ය බලපෑමක් හෝ අසාධාරණ ඉල්ලීමක් නොවන බවත්, පාසලක් නොලැබීම නිසා අසාධාරණයට පත්ව සිටින්නේ තම දියණිය බවත් බොහෝ වාරයක් සිතා බැලීමෙන් අනතුරුව ය.

මැති ඇමැතිවරුන් සමඟ කොපමණ සමීප සම්බන්ධකම් තිබුණ ද, අධ්‍යාපන ඇමැතිවරයා හමුවන්නට සේනාරත්නට සති දෙකක් ම අමාත්‍යාංශයට බඩගාන්නට සිදු වී ය. ඒ යන සෑම දිනෙක ම ඔහු එක්කෝ ජනාධිපති සමඟ සාකච්ඡාවකට ගොසින් ය. නැතිනම්, කුමක් හෝ නිල උත්සවයකට ගිහින් ය. ඒ දෙසතියේ යෙදුණු මහජන දින දෙකේ දී ද ඔහු අමාත්‍යාංශයට නොපැමිණියේ ය. ඇමැතිවරයා හමුවන්නට පැමිණි අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ මෙන්ම, දෙමව්පියන්ගේ ද දුක්ගැනවිලිවලට සවන් දුන්නේ අධ්‍යාපන ලේකම්වරයා ය. ඒ දුක්ගැනවිලි සඳහන් ලිපි භාරගනු ලැබුවේ ඔහුගේ තරුණ සුරූපී පෞද්ගලික ලේකම්වරිය විසින් ය.

අමාත්‍යවරයා හමුවීමේ සියලු බලාපොරොත්තු බිඳවැටුණු ඒ අවාසනාවන්ත දෙසතිය අවසානයේ ඔහු හමුවීමේ අදහස මුළුමනින් ම අතහැර දැමූ සේනාරත්න තම දුක්ගැනවිල්ල අධ්‍යාපන ලේකම්වරයා වෙත පවසන්නට තීරණය කළේ ය. අධ්‍යාපන වෘත්තිකයන්ගේ සේවා ගැටලු සම්බන්ධ සාකච්ඡාවල දී ඔවුන් දෙදෙනා නිතර මුණගැසී ඇති හෙයින්, අධ්‍යාපන ලේකම්වරයාට සේනාරත්නත්, සේනාරත්නට අධ්‍යාපන ලේකම්වරයාත් අමුත්තන් නොවූයේ ය.

ලේකම්වරයාගේ සීතල කාමරයට ඇතුළුවත්ම “ආ… එන්න! එන්න! සේනාරත්න සහෝදරයා… එන්න! එන්න!” යැයි කියමින් සේනාරත්න උණුසුම් අයුරින් පිළිගත් ලේකම්වරයා ඔහුට වාඩිවන ලෙස අතින් සන්කරමින් ඒ හා සමඟ ම හැඬවෙන්නට පටන්ගත් දුරකථනයක රිසීවරය ඔසොවා “ආයුබෝවන්!” කියමින් එය කණ තබා ගත්තේ ය. තම දුක්ගැනවිල්ල කියන්නට ලේකම්වරයාගේ දුරකථන සංවාදය අවසන් වනතෙක් සිටින්නට අදහස් කළ සේනාරත්න නිකමට මෙන් ලේකම්වරයාගේ සුවපහසු සුඛෝපභෝගී කාමරය සිසාරා බැල්මක් හෙළී ය. එහෙත්, දුරකථනයට සවන් දෙමින් ම සේනාරත්න දෙස බැලූ ලේකම්වරයා දුරකථන රිසීවරයේ මුවවිට අතකින් වසාගෙන සේනාරත්න අමතන්නට වී ය.

“ආ… කියන්න! සේනාරත්න සහෝදරයා… කියන්න! අපෙන් මොනවද කෙරෙන්න ඕනි.” එසේ විමසමින් නැවතත් දුරකථන සංවාදයේ යෙදෙන්නට පටන්ගත් ලේකම්වරයා සේනාරත්න පැමිණි කාරණය පවසන ලෙස අතින් සන් කරන්නට පටන් ගත්තේ ය.

දියණිය සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉහළින් සමත් වූ තැන් පටන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත විෂයය ධාරාවෙන් උසස්පෙළ හැදෑරීමට පාසලක් නොලැබීම දක්වා වූ සියල්ල සේනාරත්න කටපාඩමින් මෙන් කියාගෙන ගියේ ය. දුරකථන සංවාදයේ යෙදෙමින් ම සේනාරත්නගේ දුක්ගැනවිල්ලට සවන්දෙන බවක් පෙන්නූ ලේකම්වරයා දිගු දුරකථන සංවාදය අවසන් කරමින් රිසීවරය තැබී ය. 

“හොඳයි! අපි මොකක් හරි සාධාරණයක් කරන්න බලන්නං. ඇමැතිතුමා වුණත් සේනාරත්න සහෝදරයාට නොකරන දෙයක් තියෙනව යෑ. කාරණේ සඳහන් කරලා ලියුමක් ගෙනාවනේ. ඒක භාරදීල යන්න. නිලන්ති මේ ලියුම අරන් හෙට ඇමැතිතුමා ආ ගමන් මේ සේනාරත්න සහෝදරයාගේ වැඩේ ගැන කතා කරන්න මට මතක් කරන්න.” දුක්ගැනවිල්ල අවසන් කරන්නටත් පෙර ගනුදෙනුව අවසන් කළ ලේකම්වරයා විසල් මේසය මත වූ සීනුව නාද කළේ සේනාරත්නගේ කාලය අවසන් බව නොකියා කියමිනි. පෞද්ගලික ලේකම්වරියට ලිපිය භාරදුන් සේනාරත්න සීතල කාමරයෙන් පිටවූයේ දහසකුත් එකක් බලාපොරොත්තුවලින් පිරී තිබුණු සිත සැහැල්ලු කරගනිමිනි.

ඔහු ලේකම්වරයාගේ වදන් මොනතරම් විශ්වාස කළේ ද කියතොත්, ඔහු බිරිඳට පැවසුවේ ඇමැතිතුමා හමුවී මේ ගැන කතා කළ බවත්, ඔහු දියණියට හොඳ ම පාසලක් ලබාදෙන්නට පොරොන්දු වූ බවත් ය. දුක්මුසු සිතිවිලි හා ක්‍රියාකාරකම් අතර ගෙවුණු දෙසතියක පමණ කාලය අවසන්ව නිවසට සතුට සහනය නැවත පිවිසියේ ඔහුගේ ඒ විශ්වාසදායී මුසාබසත් සමඟ ය. මුසා බසක් නිසා හෝ නිවසට පැමිණි එම සතුට සහනය සේනාරත්න සිය සුතනඹුවන් සමඟ ඒ දින කිහිපයේ නො අඩුව භුක්ති වින්දේ ය.

සේනාරත්න විශ්වාස කළ ආකාරයට ම සියල්ලන්ගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගන්වමින් සතියක් යන්නටත් පෙර අමාත්‍යාංශ ලියුම ලැබුණි. ලංකාවේ රජයේ ආයතනයකින් ඉතිහාසයේ පළමු වතාවට ඉතාමත් කෙටි කාලයක් තුළ ලැබුණු පළමු ලියුම මෙය වන්නට ඇතැයි තැපැල්කරු ගෙනවිත් දුන් ලියුම දෙස බලමින් සේනාරත්න කල්පනා කළේ ය. අමාත්‍යවරයාගේත්, අමාත්‍යාංශ ලේකම්වරයාගේත් තීන්දු තීරණ ගැනීමේ දක්ෂතාවත්, අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවත් ගැන ඔහු සැබැවින් ම සතුටට පත්වී ය. මෙම කාර්යක්ෂමතාව පිළිබඳ අගයා තම සංවිධානයේ නිල පුවත්පතේ සටහනක් ලිවිය යුතු යැයි ඒ සමඟ ම ඔහු තීරණය කළේ ය.

අමාත්‍යාංශ ලිපිය විවෘත කරන්නට පෙර සේනාරත්න දියණියත්, බිරිඳත් ළඟට ගෙන්වා ගත්තේ තම දස්කම ඔවුන්ට ප්‍රදර්ශනය කිරීමේ සාඩම්බර හැඟීමෙන් යුතුව ය. බලාපොරොත්තු දල්වාගත් දෑසින් කඩිනමින් සේනාරත්න වෙත පැමිණි ඔවුන් දෙදෙනා සේනාරත්නගේ දෙ උරහිසට ඉහළින් එබීගෙන ලිපිය විවෘත කරන තුරු බලා සිටියේ දැඩි නොඉවසිල්ලකිනි.

වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණේ ලිපිය විවෘත කිරීමත් සමඟ ය. දියණිය මහහඬින් හඬාගෙන ගෙතුළට දිව ගියා ය. තවමත් විශ්වාස නොකළ හැකි ලිපියේ අකුරු පේළි දිගේ සේනාරත්නගේ දෑස නැවත-නැවතත් දිව ගියේ ය. ‘පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාට මැදිහත්විය නොහැකි බව එතුමාගේ නියමය පරිදි කරුණාවෙන් දන්වමි.’ අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපියේ සඳහන් අවසන් වැකිය සේනාරත්න මේ කියවූයේ කී වැනි වතාවට දැයි ඔහුට ද නිනව්වක් නැත. දියණිය උසස් පෙළ පන්තියකට ඇතුළත් කරගැනීම සඳහා දරන ලද අවසන් උත්සාහයත් ගඟට කපා දැමූ ඉන්නක් සේ ගඟ පහළට ගසාගෙන ගියා නොවේ දැයි ඔහුගේ සිතට නැගුණේ බිරිඳගේ දෙස්දෙවොල් තැබීමේ කන්දොස්කිරියාව අතරිනි.

“ඔය කරල තියෙන්නෙ යස අගේට. මහ ලොකු යූනියන්කාරයා… ආණ්ඩුවට කඩේ ගියාට මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැහැ. මොකද කෙල්ල අඩුවෙන් විභාගෙ පාස්වෙලා ද ඒ අටයි බී එකයි. අනිත් එක ඉංග්ලිෂ් මීඩියම්. හිටපු ඉස්කෝලෙ ඒ ලෙවල්ස් ඉංග්ලිෂ් මීඩියම් නැති එකේ මේක අපූරුවට කර ගන්න තිබුණා. කොහෙද… ගෙදර කිසි වැඩක් වුවමනාවෙන් කරන එකක් යෑ. ඔන්න යූනියන් එකේ වැඩක් නං… පණ එපා කියලා නැහේවි. අනේ…! අනිච්චං මෙහෙමත් මනුස්සයෙක්…”

බිරිඳගේ දෙස්දෙවොල් තැබීම් හමුවේ නිරුත්තර වෙනවා හැරෙන්නට සේනාරත්නට වෙනත් කරන්නට දෙයක් ඉතිරිව නැත. තවදුරටත් ඇය අසල සිටීමෙන් වන්නේ ඇගේ කන්දොස්කිරියාවට තිරිංග නැතිවීම පමණක් බව වටහාගත් ඔහු නෑසූ කන්ව මිදුලට බැස්සේ ය. බිරිඳගේ දෙස්දෙවොල් හඬ පරයා අධ්‍යාපන ලේකම්වරයාගේ මාන්නක්කාර කටහඬ ඔහුගේ මනස තුළ දෝංකාර දෙයි. ‘පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාට මැදිහත්විය නොහැකි බව දන්වමි.’ මේ මොනතරම් උද්ධච්චච කියමනක් ද? විශේෂයෙන් ම මේ ආණ්ඩුව බලයට පත්කරන්නට වැඩකරන ජනතාව සංවිධානය කරමින් දරදිය ඇද්ද තමාට මේ ඔවුන් සැලකූ ආකාරය ද?

‘පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාට මැදිහත්විය නොහැකි බව දන්වමි.’ අධ්‍යාපන ලේකම්වරයාගේ මාන්නක්කාර හඬ නැවත-නැවතත් සේනාරත්නගේ මනස පීඩාවට පත්කරන්නට වී ය. ඔහු දෑතින් සිය දෙකන් තරව වසා ගත්තේ එමගින් හෝ කිසියම් අස්වැසිල්ලක් ලබාගන්නා අටියෙනි.

“අප්පච්චි! අප්පච්චි!” එවර අධ්‍යාපන ලේකම්වරයාගේ මාන්නක්කාර හඬ වෙනුවට දියණියගේ කටහඬ ඔහුගේ කන් කුහර තුළ දෝංකාර දෙන්නට වී ය. දෙකන වසා සිටි දෑත මෑත් කළ ඔහුට ඒ හඬ ඇසෙන්නේ නිවස දෙසින් බව වැටහිණි. ඔහු හිස හරවා නිවස දෙස බැලී ය. දියණිය කිසියම් කලබයකින් තමා දෙසට දිව එමින් සිටින්නී ය. මොහොතකට පෙර හැඬූ කඳුළින් ඇගේ දෙකොපුල් තවමත් තෙත් වූ ගමන් ය.

කුමන හෝ නරකක් නපුරක් සිදුව ඇතැයි සේනාරත්නට සිතිණි. එකත් එකට ම මොහොතකට පෙර කෝපයෙන් මෙන් ම ශෝකයෙන් ද පරල වී සිටි බිරිඳට කිසියම් ඇබැද්දියක් සිදුව තිබේ. අධිරුධිර පීඩනයෙන් පෙළෙන ඇයට අධික කෝපයත්, හදිසි වේදනාවත් කිසිසේත් ම නුසුදුසු බව වෛද්‍යවරුන් පවසා ඇත්තේ වරක්-දෙවරක් නොවේ.

“මොකද පුතේ! මොකද අම්මට මොකද?” කලබලයෙන් තමා වෙත දිවවිත් තවමත් හතිලන දියණියගෙන් සේනාරත්න විමසුවේ පණ නැතිව යමින් තිබෙන දෙපා මෙන් ම, හඬා වැටෙන්නට ආසන්න තම සිත ද ශක්තිමත් කර ගන්නට උත්සාහ දරමිනි.

“අප්පච්චි! විශල්‍යා මේ දැන් කෝල් කළා අප්පච්චි…” හති දමමින් ඇය පවසන වදන්වලින් ඔහුගේ නතර වී තිබුණු හදවත යළි වැඩකරන්නට පටන්ගත්තේ ය. නතර වී තිබුණු ලේ නැවත නහර තුළ ගලා යන්නට පටන්ගත්තේ ය.

“විශල්‍යා කියනවා අප්පච්චි! ඉංග්ලිෂ් මීඩියම් මැත්ස්වලට එයාගේ පන්තියෙ ළමයි විසි අට දෙනයිලු ඉන්නෙ. අදත් ඉන්ටර්වීව් වගයක් තියෙනවලු. ඇවිත් බලන්නලු.” දියණිය එක දිගට කියාගෙන ගියා ය. 

එය නිරර්ථක ගමනක් වන බව සේනාරත්නට එසැණින් වැටහිණි. විධිමත් සම්මුඛ පරීක්ෂණ ලිපියක් නොමැති තමන්ට යා හැකි වන්නේ බාලිකා විදුහලේ ප්‍රධාන දොරටුව අසල ඇති ආරක්ෂක කුටිය දක්වා පමණක් බව සේනාරත්න අත්දැකීමෙන් දනී. එහෙත්, ඒ බව කියා දියණියගේ හිත කඩා දමන්නට ඔහුට නොහැකි ය. ඊටත් වඩා බිරිඳගේ දෙස්දෙවොල් වැඩිකර ගන්නට ඔහු කිසිසේත් ම කැමැත්තක් නොදැක්වී ය.

දියණිය සමඟ බාලිකා පාසල වෙත යන තෙක් ම ඔහු කල්පනා කළේ තමා දියණිය වෙනුවෙන් කරන ලද කැපකිරීම් ගැන ය. ඉන් ඉහළ ම සහ අසීරුතම කැපකිරීම වූයේ අධික ලෙස මත්පැනට ලොල් වී සිටි තමා ඇගේ එකම-එක ඉල්ලීමකින් මත්පැන් පානය මුළුමනින්ම නතර කර දැමීම ය. ඊට ඇයගේත්, අන් අයගේත් ස්තූතිය, ආදරය, සෙනෙහස තමා වෙත නො අඩුව ලැබුණ ද, තමා ඇයට අද ඒ සම්බන්ධයෙන් හදවතින් ම ස්තූති කරනවා නොවේ දැයි ඒ සමඟ ම ඔහුට සිහිපත් වී ය. කිසිදු වැඩකට නැති නරක පුරුද්දකින් තමා ගලවාගෙන තම ජීවිතයට මේ සැහැල්ලුව, සතුට සහ ගෞරව සැලකිල්ල ලබාදුන්නේ ඇය නොවේ දැයි දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිව රිය කවුළුවෙන් පිටත බලාගෙන සිටින දියණිය දෙස බලමින් ඔහු සෙනෙහසින් සිහිපත් කළේ ය.

ඒ සමඟ ම ඔහුගේ සිත තුළ අලුත් අදහසක් විදුලියක් සේ ඇති වී නැති වී ගියේ ඉන් සිහින් ගිනි පුපුරක් හදවත මතුපිට ඉතිරි කරමිනි. එම සිතිවිලි ගිනි පුපුර ඇගේ හෙට දවස වෙනුවෙන් ඔහු සතු අන්තිම තුරුම්පුව බවට පත්කර ගන්නට ඔහු ඒ සමඟ ම අදිටන් කරගත්තේ ය. තම හදවතට ඉහළින් දකුණත තබාගත් ඔහු නිහඬව එහෙත්, ස්ථිරසාර ලෙසින් සිය කටහඬ අවදි කළේ ය. ‘මගේ දූ වෙනුවෙන් මගේ මත්පැන් බීම මං නතර කළ එක සත්ත නම්, මේ යන ගමන හරියන්න ඕනි’ යැයි තෙවරක් ම සිතින් එසේ පවසා දිගු සුසුමක් හෙළූ සේනාරත්නගේ දෑස අග වැටෙන්නට දඟලන කඳුළක් එල්ලී තිබිණි.

දියණිය ද සමඟ සේනාරත්න පාසල වෙත පැමිණියේ වෙනදා මෙන් ම, පාසලේ ප්‍රධාන දොරටුවේ දී ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන සූදානමිනි. කිසිදු බුරුලක් නොදක්වන සුපුරුදු ආරක්ෂක නිලධාරියා දුටු ගමන් සේනාරත්නගේ සිත කඩා වැටුණි. සේනාරත්නත්, වෙනත් පාසලක නිල ඇඳුමකින් සැරසී සිටි දියණියත් දැක ඉදිරියට පැමිණ මග හරස්කළ ආරක්ෂක නිලධාරියා පළමු ප්‍රශ්නය සේනාරත්න වෙත දමා ගසමින් සුපුරුදු ප්‍රශ්න පත්‍රය දිග හරින්නට සූදානම් වූවේ ය.

“ඇයි? ප්‍රින්සිපල් හම්බවෙන්ඩ ද?” ඔහු විමසන්නේ කිසිදු ගරුසරුවක් නැතිව ය. විදුහල්පතිවරයා හමුවන්නට කීවොත්, කෙසේවත් ඇතුළට යන්නට නොදෙමින් ඔහු ම විදුහල්පති භූමිකාව රඟදක්වන බව අත්දැකීමෙන් දන්නා සේනාරත්න ඇත්ත ම කියන්නට තීරණය කළේ ය. ඔහුට වුවමනා වුණේ ‘තවමත් දියණියට පාසලක් නොලැබුණු බවත්, අද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ආරංචි වී පැමිණි බවත්’ පවසන්නට ය. ඔහු ඒ සඳහා වචන සූදානම් කරගනිමින් කටහඬ අවදි කළේ ය.

“අද ඉන්ටර්වීව් තියෙ…” සේනාරත්නට පවසන්නට ලැබුණේ එපමණකි.

“දැන් ඉන්ටර්වීව් ඉවර වෙන්නත් ළඟයි… ඉක්මනට යන්න…ඉක්මනට යන්න..” බෙහෙවින් කලබලයට පත් ආරක්ෂක භටයා කියාගෙන ගියේ, තමා අතින් ප්‍රමාදයක් සිදුවූයේ යැයි සිතාගෙන මෙන් ය. 

මේ නම්, ඇත්තෙන් ම ප්‍රාතිහාර්යයක් යැයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය සොයා යන ගමන් සේනාරත්න කල්පනා කළේ ය. සියල්ලට ම වඩා අමාරු කාර්යය වන පාසල ඇතුළට ඒම දැන් ඔවුන් ජයගෙන ඇත. කැඳවීම් ලිපියක් නැතත්, සම්මුඛ පරීක්ෂණයේ දී අඩුතරමින් සියල්ල පැහැදිලි කරන්නට හෝ හැකිවනු ඇත. ඔවුන් දෙදෙනා සම්මුඛ පරීක්ෂණ කාමරයට ගියේ එවන් දහසකුත් එකක් පැතුම් පොදි බැඳගෙන ය. එහෙත්, එහි සිටි ගුරුවරියක විසින් පැවසූ දෙයින් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු කිසිදු අනුකම්පාවක් නොමැතිව ම යළිදු වරක් සුන්නද්දූලි වී ගියේ ය.

“අයියෝ… දැන්නෙ ඉන්ටර්වීව් ඉවර වුණේ. අර අලුත් ටෙක්නොලොජි ක්ලාස් එකට ළමයි තිස්පස් දෙනෙක් සිලෙක්ට් කරගත්තා. අපරාදෙ…දැන්නං වේකන්සි නැහැ… ඇයි ලේට් වුණේ…” ගුරුවරිය දිගින්-දිගට ම කියාගෙන ගියා ය. දියණියගේ ප්‍රතිඵල අනුව ඇය බලාපොරොත්තු වන්නේ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් නොව, ගණිත අංශයෙන් උසස්පෙළ හැදෑරීමට බව සේනාරත්න පැහැදිලි කරන්නට වූයේ, උත්සාහය කිසිසේත් ම අත් නොහරමින් ය.

එම පැහැදිලි කිරීම් මුළුමනින් ම නිරර්ථක ක්‍රියාවක් යැයි ඔහු සිතා සිටිය ද, එය එසේ නොවී ය. ගණිත අංශය භාර ගුරුවරිය හමු වී සාකච්ඡා කරන මෙන් ඇය දුන් උපදෙස් අනුව සේනාරත්න සිය දියණියත් සමඟ ගණිත අංශය භාර ගුරුවරිය සොයා ගියේ, තවත් අලුත් බලාපොරොත්තුවක් දල්වා ගනිමිනි.

සේනාරත්න දුන් දියණියගේ අයදුම්පත මත උඩින්-මත්තෙන් සිය දෑස ගෙනගිය ගුරුවරිය සේනාරත්නගේත්, දියණියගේත් ඒ අලුත් බලාපොරොත්තු කන්දත් සිඳ දමන්නට වූයේ කිසිදු හිතක්-පපුවක් නැති ආකාරයට ය.

“මේකනේ මිස්ටර් අපිට ප්‍රොසිජියර් එක කඩන්න බැහැනෙ. මැත්ස් ක්ලාස්වලට ගත්තෙ නයින් ඒස් තියෙන ළමයි විතරයි. අනිකමෙයාලා වගේ අඩු රිසල්ට්ස් තියෙන ළමයින්ට තමා ටෙක්නොලොජි ස්ට්‍රීම් එක තියෙන්නෙ. මැත්ස් ක්ලාස් හැම එකක් ම දැන් ෆිල්වෙලා. ඉංග්ලිෂ් මීඩියම් ක්ලාස් එකක විතරයි වේකන්සීස් කිහිපයක් තියෙන්නේ.”

ගුරුවරියගේ අවසන් වැකි කිහිපය සේනාරත්නට ඇසුණේ සුරලොවින් ඇසෙන මිහිරි ගීයක් මෙනි.

“මෙයා ඉංග්ලිෂ් මීඩියම් තමයි ටීචර්…” සේනාරත්නට ඉබේ ම කියවිණි. දෑස් ලොකු කරගෙන මුව අයාගත් ගුරුවරිය පෙරට වඩා අවධානයෙන් නැවත අයදුම්පත වෙත තම දෑස යොමු කළා ය. මොහොතක් අයදුම්පත දෙස බලාගෙන සිටි ඇය ඊළඟ මොහොතේ හිස ඔසොවා සේනාරත්න දෙස බැලුවේ වැරදිකරුවකු දෙස බලන නඩුකාරයකුගේ විලාසයෙනි.

“ඇයි මේ ඇප්ලිකේෂන් එක කල් ඇතිව එව්වෙ නැත්තෙ? දැන් කිසිදෙයක් කරන්න බැරිවෙයි.” තම පාර්ශ්වයේ වරදක් සොයාගැනීමට ගුරුවරිය දරන නිරර්ථක උත්සාහය දැක සේනාරත්නගේ මුවග මඳ සිනාවක් නැගිණි.

“මේක ටීචර් අපි… රෙජිස්ටඩ් පෝස්ට් එව්වෙ. මේ තියෙන්නේ ඒ රිසිට් එක…” සේනාරත්න දියණිය අත වූ ලිපිගොනුවෙන් ගත් රිසිට්පතක් දක්වමින් කියා සිටියේ විත්තිකරුවකු චෝදනාවකින් නිදහස් කරන්නට සාක්ෂි ඉදිරිපත් කරන විත්තියේ නීතීඥයෙකු මෙනි.

“ ඔෆිස් රූම් එකට එන්නකෝ. මං මේක චෙක් කරලා… මේ ගැන වයිස් ප්‍රින්සිපල් එක්ක කතා කරන්නම්.” රිසිට්පත පරීක්ෂා කර බලා අවසානයේ පරාජය භාරගත් ගුරුවරිය කාර්යාලය දෙසට වැටී ඇති පෙත්මග දිගේ ගමන් කරන්නට වූවා ය. සුවච කීකරු ගෝලයන් දෙදෙනෙකු මෙන් ඇය පසුපස ගිය සේනාරත්නත්, දියණියත් උප විදුහල්පතිනියගේ කාර්යාලය තුළට ගිය ඇය පිටතට එනතුරු දෑස් දල්වා බලා සිටියේ දැඩි නොඉවසිල්ලෙනි.

කුමන හෝ හේතුවක් කියා උප විදුහල්පතිනිය දියණියගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරයි ද? වරද සිදුව ඇත්තේ කොතන ද, කුමන ආකාරයට ද යන්න සේනාරත්නට දැන් සක්සුදක් සේ පැහැදිලි ය. පාසලට පැමිණි අයදුම්පත මුලින් ම පරීක්ෂා කළ තැනැත්තා හෝ තැනැත්තිය ‘ඒ’ නමයක් නොමැති සිංහල මාධ්‍ය අයදුම්පතක් යැයි සිතා එය ඉවත දමන්නට ඇත. එහි දී එය සිංහල මාධ්‍ය ද, ඉංග්‍රීසි මාධ්‍යය ද යන්න නිසි අවධානයකින් පරීක්ෂා කර නොබලන්නට ඇත. දියණිය ඉල්ලුම් කළ අනෙක් පාසල්වල දී සිදුව ඇත්තේ ද මෙය ම වන්නට ඇතැයි සේනාරත්නට වැටහිණි.

එපමණක් ද? අධ්‍යාපන ලේකම්වරයා ද නිවැරදි අවධානයකින් කටයුතු කර නැහැ නොවේ ද? තමා ඔහු හමු වී තමාගේ දුක්ගැනවිල්ල පවසන මොහොතේ දුරකථන සංවාදයකත් යෙදෙමින් තමාට ඇහුම්කන් දෙන බව පෙන්නමින් ඔහු කරන ලද්දේ ද රඟපෑමක් නොවේ දැයි සේනාරත්නට දැන්-දැන් වැටහෙයි. වගකිව යුතු පුද්ගලයන්ගේ මෙවන් නොසැලකිලිමත්කම් නිසා අසාධාරණයට ලක්වන්නේ සිසුන්ගේ අහිංසක ජීවිත නොවේ දැයි කල්පනා කළ සේනාරත්න මේ පාසලේ ගණිත අංශයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිවල පුරප්පාඩු තිබිය දීත් දියණියට අසාධාරණයක් සිදුවුවහොත්, යායුතු ඉහළම තැනට හෝ ගොස් දියණියට සාධාරණය ඉටු කරන්නෙමැයි නොසන්සුන් සිතිවිලි මැද අදිටන් කරගත්තේ ය.

සේනාරත්නට වැඩි වේලාවක් එසේ නොසන්සුන් සිතිවිලිවල වෙලී කල් ගෙවන්නට අවස්ථාවක් නොලැබිණි. කාර්යාලය තුළට ගිය ගුරුවරිය ඉන් පිටතට පැමිණියේ මඳහසක් මුවග රඳවාගෙන ය. ඊළඟ මොහොතේ ඇගේ මුවින් ගිලිහෙන තීරණාත්මක වදන් අපේක්ෂාවෙන් සේනාරත්නත්, දියණියත් ඇය එන පෙරමගට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු දල්වාගෙන ය.

“දුවගෙ හොඳ වෙලාවට ඉංග්ලිෂ් මීඩියම් මැත්ස් ක්ලාස් එකක වේකන්සි තිබ්බේ. ක්ලාසස් පටන් අරන් ටික දවසක් හින්දා…හෙට ම අස්වීම් සහතිකේ අරන් එන්න. පහසුකම් ගාස්තු, නිලඇඳුම් ගාස්තු…” ගුරුවරිය තවත් මොන-මොනවාදෝ පවසන්නී ය.

තමා වැලඳගෙන සතුටු කඳුළු වගුරුවන දියණියගේ හිස අතගාමින් තම හදවත තෙරපාගෙන ඉහළට පැමිණ ඇස්වලින් එළියට පනින්නට තැත්කරන කඳුළු බිඳු නතර කරගන්නට සේනාරත්න දැඩි උත්සාහයක යෙදුණේ ය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත