වරිග හතක් නිවන් යන්න
හිස මුඩු කර දන් දුන් පුතු
පහළ කොටුවේ එකිත් එක්ක
දරුවෝ හතක් හැදුවේ…
මුවින් නොබැණ දුක් විඳ ගෙන
උන් කරදඬු වැඩුවේ
උඹම තමයි අම්මේ…
නොකා නොබී ශිල්ප පොවා
උපාධි ගෙන ගම ආ දූ
කුඩු සුමනෙගෙ පතිනිය වී
ගෙදර බින්න බැස්සේ…
නින්දා වැස්සේ තෙමි තෙමි
බෑනණ්ඩිගෙ සුව බලන්න
සිර ගෙදරට වැඩියේ
උඹම තමයි අම්මේ…
ලුණු මදි වී බත ඇල් වී
මදන මතින් තිරිහන් වී
පය වරදින වරක් ගානේ
හිරි ඇර ගත් සෝමේ…
ගහෙන් වැටී ඔත්පල වී
ඇඳට වැටුනු වෙලේ ඉඳන්
තෙල් සාත්තු කෙරුවේ
උඹම තමයි අම්මේ…
පෝය දාට වැට අයිනේ
දිරපු කොස් මුලේ ඉඳගෙන
යකඩ කටින් යාන්තමට
බණ අහනා අම්මේ…
මේ සසරෙන් එතෙර වෙන්න
උඹට තවත් පිං මොකටද
හිත හදාන කදුළු පිහන්
මෙහෙට වරෙන් අම්මේ…!
2 Responses
කවිය නියමයි, දිගටම ලියපන් මචං.
Hari agei
Comments are closed.