ආලෝචනා පසුගිය කලාපයට මම බොබ් ඩිලන් ගේ Blowing in the wind ගැන ලිව්වා. එයින් පස්සේ දෙන්නෙක් මගෙන් අහල එවලා තිබුණා ඇයි සංගීත කාමරයට දිගටම ගීත රචනා ගැන ලියන්නේ කියල.
ඇත්තටම ගීතයක් කියන්නේ මොකක්ද?
ගීතය යනු සංගීතයමද? ගීතයක් මුල් කරගෙන සංගීතයටත්, සංගීතය මුල් කරගෙන ගීතයටත් ප්‍රවිෂ්ඨයක් ගන්න බැරිද?
ගායනය කරන පුද්ගලයාගේ කාර්යභාරය කුමක්ද?
මේ පද, තනු සහ ගායනය ගැන කල්පනා කරගෙන යද්දී මට මෙහෙම දේවල් ටිකක් හිතුණා…
ලංකාවේ බහුතරයක් ගීත රචනා වෙලා තියෙන්නේ පද රචනයකට තනුවක් දැමීම හරහා..
නමත් බටහිර සංදර්භයෙදී ගීත රචනාව යන්නෙන් අදහස් වන්නේ පරිපූර්ණ ගීතයක් නිමැවීම කියන එක.
ඒ කියන්නේ වචන, නාදමාලව කියන දෙකම නිර්මාණය කිරීම තමයි ගීත රචනය වන්නේ..
මෙනිසා සමහර චරිත හඳුන්වා දීමේදී singer-songwriter (ගායක – ගීතරචක) ලෙස හඳුන්වා දෙනවා.
මෙයින් අදහස් වෙන්නේ නැහැ ගීතයක් නිමැවීමේ එකම ක්‍රමයක් තිබෙන බව, මේ ලියන මටත්, ඔබටත් ඉතා ප්‍රිය බොහෝ ගීත එක් අයෙකු ලියා, තවකෙකු තනු නිර්මාණය කර, ඒ දෙදෙනාගෙන්ම පරිබාහිර ගායන ශිල්පියෙකු හෝ ශිල්පිනියක් ගයන ගීත වීමට තමා බොහෝ ඉඩ තිබෙන්නේ..
බීට්ල්ස්, මයිකල් ජැක්සන්, බොබ් ඩිලන්, ඇලිශියා කීයිස්, කෝල්ඩ් ප්ලේ, වගේම 2020 ග්‍රැමී ත්‍යාග හතරක් දිනාගත් දහඅට හැවිරිදි බිලී ඓලිෂ් ගායක-ගීතරචක කණ්ඩායම් සහ පුද්ගලයින් ලෙස අන්තර්ජාතිකව අපිට පෙනෙද්දී මේ ගායක-ගීතරචක කම අපේ අතරින් ගිලිහිලාම ගිහින්දෝ කියල හිතෙන මට්ටමට පසුබැහැල තිබූ බවක් තමයි ලංකාව දිහා බලද්දී අපිට පෙනෙන්නේ..
කොහොම වුණත් දැන් දැන් ලංකාවේ මේ ගායක-ගීතරචක ප්‍රණතාව නව පරපුරෙන් අපට යම්තාක් දුරකට නැවත මතුවේගෙන එනව බවක් පෙනෙන්නට තියෙනවා.
කාලයක් පස්සට ගිහින් බලද්දී ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වගේ ගීතයක් සම්පූර්ණයෙන්ම නිමවපු ගායක-ගීතරචක පතාක යෝධයෝ ලංකා ඉතිහාසයෙන් මතුවෙනවා.
ගීතයක ජවය, හැගීම් දනවන බව, නාද මාලාව සහ ගායනය සමග කොපමණ සම්බන්ධද?
හොඳ පද රචනාවක් හැම විටම හොඳ ගීතයක් වෙනවද?
අපට දැනුණු ගීතයක පදවල ප්‍රබල බව අපට දැනුණේ පද නිසාද, සංගීතය නිසාද, ඒ සියල්ල එක්කොට ගත් ගීතය ප්‍රබල ප්‍රකාශනයක් බවට පත් කරන්නේත්, වචන හැඟීම් දනවමින් අරුත් ගන්වන්නේත් සංගීතය නිසාද?
අපිට බොක්කට වැදුණු සින්දුවක පද ගැන අපි මෙච්චර වද වෙන්නේ පද වැල නිසාමද…