රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාෙ වැඩිදියුණු කර දීමේ අරමුණින් ආලෝචනා ඔබවෙත ගෙන එන සමාජමය සත්කාරය “මිනිස් සිරුර” වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන මෙසේ අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙම වැඩසටහන් මාලාව මඟින් මිනිස් සිරුරේ විස්මිත අවයව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරණු ලබයි. මිනිස් සිරුර වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන වූ පසුගිය වැඩසටහනින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ වෛද්‍ය රිස්කා ඉහ්සාන් “මිනිස් සිරුර” වැඩසටහන් මාලාව පිළිබඳ ඔබට පූර්ව හැඳින්වීමක් කරනු ලැබීය. එම වැඩසටහන නැරඹීම සඳහා පහත සඳහන් සබැඳිය ඔස්සේ ඔබට ප්‍රවේශ විය හැකිය.
මිනිස් සිරුර වැඩසටහන් මාලාව පිළිබඳ පූර්ව හැඳින්වීම
මෙම වැඩසටහනෙන් සාකච්ඡා කරනු ලබන්නේ අපගේ හදවත පිළිබඳයි.
මෙම වැඩසටහනෙන් අපගේ හදවතේ ව්‍යුහය සහ එහි මූලික ක්‍රියාකාරිත්වය පිළිබඳ සමාන්‍ය ජනතාවට වැදගත් වන කරුණු කාරණා මෙන්ම සමාජයයේ බහුලව හමුවන හදවත් රෝග කිහිපයක විද්‍යාත්මක පදනමද සාකච්ඡාවට භාජනය වේ.
මීට අමතරව හෘද රෝග වලින් වැලකී සිටීම සඳහා හදවත ආරක්ෂා කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් කෙටි විස්තරයක් මෙම සාකච්ඡාවට ඇතුළත් වේ.
නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන්වන හෘදය වස්තුව නමැති විස්මිත අවයවය පිළිබඳ බොහෝ දෑ විස්තර කිරීමට ඇතත් පළමුව අප ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ හදවත පිහිටා ඇත්තේ ශරීරයේ කුමන ස්ථානයකද යන්න සහ එහි ව්‍යුහය පිළිබඳවය.
ඔබ බොහෝ දෙනා දන්නා පරිදි හෘදය වස්තුව පිහිටා ඇත්තේ අපගේ උරස් කුහරයේය. එමෙන්ම තව දුරටත් විස්තර කරන්නේ නම් මිනිස් හදවත පවතින්නේ පෙණහලු දෙක මැදට වන්නට තරමක් වම් පසට බරවය. හෘදය වස්තුවේ ව්‍යුහය පිළිබඳව අවබෝධයක් නොපැවතුනු අතීත කාලයේ ජීවත් වූ අපගේ ආදී මිනිසුන් විශ්වාස කරනු ලැබුවේ හදවත විසින් ජීවන තාපය නැමැති උණුසුමක් (Heat) එසේත් නැති නම් ශක්තියක් නිපදවන බවත් ලේ නහර මගින් එම ශක්තිය මිනිස් සිරුර පුරාම රැගෙන යන බවත්ය. එමෙන්ම පෙණහලු මඟින් සිදු කරන්නේ එම තාපය නිවා දැමීමට පවන් සැලීම බවත්ය. එහෙත් වර්තමානයේදී හදවත මගින් සිදු කරන්නේ එවන් කාර්යයක් නොවන බවත් පෙණහලු මගින් හදවතේ තාපය නිවාදැමීමට පවන් සැලීමක්ද සිදු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. සරලව හඳුන්වන්නේ නම් හෘදය වස්තුව යනු පොම්පයකි. එනම් මාංශ පේශීන් වලින් සකස් වූ පොම්පයකි. වැඩිහිටි පුද්ගලයෙකුගේ හදවතෙහි බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 350 ක් පමණ වන බව පැවසේ. . ප්‍රමාණය සලකා බැලීමේදී එය අපගේ අත මිට මෙලවූ විට ඇති ප්‍රමාණයට සමාන වේ. මෙම වීඩියෝවේ පෙන්වා ඇති හදවතේ ආකෘතිය එහි සැබෑ ප්‍රමාණයට වඩා විශාල වූවකි. හදවතෙහි ප්‍රධානම කාර්යභාරය වන්නේ රුධිර සංසරණය කිරීමේ පොම්පාගාරයක් ලෙස ක්‍රියා කිරීමයි.
මේ අනුව අප දන්නා පරිදි හදවත යනු අපට නැතුවම බැරි ශරීර අංගයක් බවත් එය රුධිරය පොම්ප කිරීම සඳහා අවශ්‍ය වන බවත් දැන සිටියද සත්‍ය වශයෙන්ම මෙලෙස රුධිරය වැදගත් වන්නේ ඇයි? රුධිරය පොම්ප කිරීම වැදගත් වන්නේ ඇයි? මේ අනුව සත්‍යය වශයෙන්ම හෘදය වස්තුවෙන් සිදුවන්නේ කුමක්ද? දැන් අප මේ පිළිබඳ පැහැදිලි කරගනිමු.
අපගේ සිරුර පුරා මෙලෙස රුධිරය සංසරණය වීම ඉතාමත් වැදගත් වේ.. මන්ද අප විසින් සිදු කරන සෑම කාර්යයක් සඳහාම ශක්තිය නැතිනම් “energy” යන්න අවශ්‍ය වේ. එනම් අපගේ මාංශපේශියක් සෙලවීම සඳහා, එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම සඳහා, සිතීමට, කතාකරන්නට, ආහාර ජීර්ණය සඳහා වුවද ශක්තිය අත්‍යවශ්‍යම වේ. මෙම ශක්තිය අපගේ සිරුරේ සෛල නිපදවා ගනු ලබන්නේ ආහාර එසේත් නොමැති නම් ග්ලූකෝස් ඔක්සිජන් සමග දහනය කිරීමෙනි. ආහාර එනම් ග්ලූකෝස් අපට ලැබෙනුයේ ආහාර ජීර්ණ පද්ධතියෙනි. ඔක්සිජන් අපට ලැබෙනුයේ පෙණහලු මගිනි. මේවා අවශ්‍ය සෛලවලට, පටක වලට රැගෙන යාම සදහා මෙම රුධිර සංසරණ පද්ධතිය මිනිසාට අත්‍යවශ්‍ය වේ. මෙහිදී හදවත පොම්ප කරන විට එක් විනාඩියක් සැලකිල්ලට ගත්විට, එක් විනාඩියකට ලීටර් පහක් පමණ නාල පද්ධතිය ඔස්සේ ගමන් කිරීමට සලස්වයි. මෙම නාල පද්ධතිය එකට එක්කොට ගැට ගැසීමක් කළහොත් කිලෝමීටර අනුහය දාහක පමණ දිග ප්‍රමාණයක් ගනු ඇති. අප පෘථිවියේ විෂ්කම්භය සැලකිල්ලට ගත්තද එය කිලෝ මීටර හතළිස්දාහක පමණ අගයක් වේ. එයින් අදහස් වන්නේ එතරම් විශාල ප්‍රමාණයක සියුම් රුධිර නාළ මිනිසා සතුව පවතින බවයි. මිනිස් හදවත එහි මධ්‍යයේ සිට මේ සියලු රුධිර නාළ පද්ධතිය ඔස්සේ රුධිරය පොම්ප කිරීමේ කාර්යය දිගින් දිගටම සිදුකරයි. වතුර පොම්පයකින් පොම්ප කිරීමේදී එම ජල ප්‍රවාහය ඒකාකාරී ප්‍රවාහයකින් ගමන් කරයි. හදවත ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන් නොවේ. එය ස්පන්දනය වෙමින් පවතී. එසේ ස්පන්දනය වන වාරයක් පාසා මෙම රුධිරය විශේෂයෙන්ම මහා ධමනිය (aorta) ට තල්ලු වේ. එම ස්පන්දනය අතරතුර හදවත ඉහිල් (relax) වේ. මෙම ස්පන්දන සාමාන්‍යයෙන් විනාඩියකට හැත්තෑවක අසූවක පමණ ප්‍රමාණයක් සිදුවේ.
මේ අනුව ධමනි සහ ශිරා වලින් මුළු ශරීරයටම රුධිරය සපයන බව අපට පැහැදිලිය. නමුත් හෘදය වස්තුව යනුද අවයවයකි. නිසා එයටද රුධිරය අවශ්‍ය වේ. ඒ අනුව හදවතට රුධිරය සැපයීම සඳහා වෙන්වූ කිසියම් පද්ධතියක් පවතීද? එය අභ්‍යන්තරයේ රුධිර ගමනාගමනය සිදු වන්නේ කෙසේද? අපි මේ පිළිබඳ සාකච්ඡා කරමු.
හදවත නැමැති පොම්පය ද මාංශ පේශීන්ගෙන් සකස් වූ මිනිස් අවයවයකි. එමෙන්ම හදවත කිසිදු විරාමයක් ලබා නොගෙන දිගින් දිගටම ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙසේ දිගින් දිගටම ක්‍රියා කිරීමට එයටද ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය රැගෙන ඒමට රුධිර නාළ පද්ධතියක් පවතී. මෙසේ මාංශ පේශීන්ට රුධිරය සපයනු ලබන මෙම නාළ පද්ධතිය කිරීටක ධමනි ලෙස හඳුන්වයි. දැන් අපි මෙහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ අවධානය යොමු කරමු. සිරුර පුරාම සංසරණය වී හදවතට පැමිණෙන රුධිරය පැමිණෙන්නේ එහි දකුණු කර්ණිකාවෙනුයි. මිනිස් හදවත තුළ කුටීර හතරක් පවතී. දකුණු පැත්තට පැමිණෙන්නේ සිරුර පුරා සංසරණය කරන ලද රුධිරයයි. ඒවා දකුණු කර්ණිකාවේ සිට දකුණු කෝෂිකාවට ගමන් කරයි. එයින් සිදු වන්නේ එම රුධිරය පෙණහල්ල දක්වා පොම්ප කිරීමයි. පෙණහල්ලට ගිය පසු එම ස්ථානයේදී රුධිරයට ඔක්සිජන් ලැබීම සිදුවේ. එසේම රුධිරයේ එක්ව තිබූ අපද්‍රව්‍ය, කාබන්ඩයොක්සයිඩ් පෙණහල්ලට මුදා හැරීම ද මෙහිදී සිදු වේ. හදවතේ දකුණු පසින් සිදු කරනු ලබන්නේ ඔක්සිජන් ප්‍රමාණය අඩු කාබන්ඩයොක්සයිඩ් වැඩි රුධිරය පෙණහල්ල වෙත යවා පෙණහල්ලෙන් ඔක්සිජන් සැපයුම ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් එයට මුදාහැර එම රුධිරය හදවතේ වම්පස වෙත ගමන් කරයි. එහිද කුටීර දෙකක් පවතී. එනම් වම් කර්ණිකාව සහ වම් කෝෂිකාවයි. එම ස්ථානයේදී ඔක්සිජන් සහිත කාබන්ඩයොක්සයිඩ් මුදා හරින ලද රුධිරය සිරුරේ අනෙකුත් ස්ථානවලට රැගෙන යාම සඳහා වම් කෝෂිකාවෙන් මහා ධමනිය වෙත මුදා හරී. දිනක් තුළදී බොහෝ වාර ගණනක් අප සිරුර තුළ මෙය නැවත නැවත සිදු වේ. හදවත තුළ මෙම සංසරණය ක්‍රමවත්ව තිබීමට වෑල් කරවල් (valve cover) හා සමාන කපාට (valvulars) කිහිපයක් පිහිටා තිබේ. ප්‍රධාන කපාට 4 ක් ඇත. මෙම කපාට නිරන්තරයෙන් විවෘත වීම සහ වැසීම සිදුවේ. වාහන සම්බන්ධයෙන් සලකා බැලීමේදී මේවා හැම විටම ක්‍රියාත්මක නොවූවද ශරීරය තුළ ඇති මෙම අවයව මිනිසා මරණයට පත්වන තෙක් කිසිදු විවේකයක් නොගෙන නොනැවතී ක්‍රියාත්මක වේ. රුධිර ගමනාගමය දෙපසටම සිදුවීම වළකා එක් දිශාවකට පමණක් රුධිර ගමනාගමනය පහසු කිරීම මෙම කපාට විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යභාරය වේ.
හෘදවස්තුව මගින් සිදුවන තවත් එක් බැරෑරුම් කාර්යභාරයක් වන්නේ නොනවත්වා සිදුවන්නා වූ හෘද ස්පන්දනයයි. එය ඔබ අප විසින් සිතා මතා සිදු කරනු ලබන්නක්ද නොවේ. මෙය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කිරීම වෙත අපි දැන් යොමු වෙමු.
අනෙකුත් මාංශපේශීන් මෙන් හදවත අපට සිතා මතා පාලනය කිරීමක්, සංකෝචනය කිරීමක් සිදු කිරීමට නොහැකියි. එය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියකි. මේ සිදුවීමට හදවත තුළ විද්‍යුත් පරිපථයක් පිහිටා ඇත. මෙම විද්‍යුත් පරිපථයෙන් ඉතාමත් සුළු විද්‍යුත් ධාරාවක් අදාළ මාංශ පේශීන්ට ගමන් කිරීමෙන් හදවතේ ඇති මාංශ පේශීන් සංකෝචනය වේ. මෙසේ විදුලිය ජනනය කිරීමට විදුලි බලාගාර දෙකක් ද හදවත තුළ පිහිටා ඇත. ඉන් ප්‍රධාන බලාගාරයෙන්, උදාහරණයක් ලෙස මිනින්තුවකට 70 වාරයක් පමණ කුඩා විදුලි ධාරාවන් හදවතේ මාංශපේශීන් වෙත නිකුත් කරයි. එමගින් හදවත නොනවත්වා සංකෝචනය වීම සිදුවේ. මෙය අපට සිතා මතා අඩු වැඩි කර ගැනීමට හැකියාවක් නොමැත. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙය අඩු වැඩි වීම සිදුවේ. එනම් සිතන්න ඔබ පාරේ ගමන් කරන විට බල්ලෙක් ඔබ වෙත කඩා පනී. එවිට ඔබගේ හදගැස්ම පිටතට ඇසෙන්නට පටන් ගන්නා අතර අත තබා බැලුවහොත් හද ගැස්ම ඉතාමත් වේගවත් වී ඇති බව ඔබට දැනෙනු ඇත. එය එසේ සිදුවන්නේ අප නිර්මාණය වී ඇත්තේ අනතුරකදී එයින් ආරක්ෂා වීම මගින් අපගේ පැවැත්ම රැක ගැනීම උදෙසාය. බල්ලා නැමැති අනතුරින් බේරී ජීවිතය රැකගැනීම වෙනුවෙන් පැන දිවීම සඳහා අවශ්‍ය හැකියාව ලබා දීමට මෙසේ ඔබේ හදගැස්ම ඉහළ දමා හදවත ඔබව සූදානම් කරයි. මේ අනුව අප මුහුණ දෙන අවස්ථාවන් අනුව හෘද ස්පන්දන වාර ගණන වෙනස් වේ. ඇතැම් විට සත්‍ය වශයෙන්ම තර්ජනයක් නොමැති වුවද හෘද ස්පන්දනය ඉහළ යා හැක. ඔබ තුළ පවතින චකිතය, ආතතිය මෙයට හේතු විය හැක. මේ සියල්ල සිදු කරනු ලබන්නේ මිනිසා තුළ ඇති විද්‍යුත් පරිපථය මගිනි.
හෘදය වස්තුව පිළිබඳව පෙරට වඩා ඉහළ දැනුමක් දැන් ඔබ සතුව ඇති බව අප දැන් විශ්වාස කරනවා. දැනට ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යා ලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ වැඩිම මරණ ගණනකට බලපාන හේතුව වන්නේ හදවත් රෝගයි. එම නිසා හෘදය වස්තුව සම්බන්ධව ඇතිවන රෝග ආබාධ පිළිබඳවද ඔබව දැනුවත් කිරීමද අපි බලාපොරොත්තු වන්නෙමු.
පළමුවම අප සමාජය තුළ නිරන්තර ඇසීමට හා දැකීමට හැකි එමෙන්ම මිනිසුන් වඩාත් බියට පත්වන හෘද රෝගයක් වන Heart attack එසේත් නැතිනම් පපුවේ අමාරුව පිළිබඳව ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා.
පළමුවෙන්ම පපුවේ අමාරුව නැතහොත් heart attack යන රෝගී තත්ත්වය පැහැදිලි කිරීමට පෙර මහාචාර්යතුමන් විසින් එම තත්ත්වය ඔබට අවබෝධ කර දීමට පහසු වීම වෙනුවෙන් එයට ප්‍රථම වෙනත් හදවත් රෝගී තත්ත්වයක් පිළිබඳව පැහැදිලි කරනු ලැබුවා. මෙම වැඩසටහන ආරම්භයේ දී අප විසින් හදවත යනු මාංශ පේශියක් බවත්, නොනවත්වා ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා ශක්තිය නැතහොත් energy අවශ්‍ය වන බවත්, එයට ඔක්සිජන් සහ ග්ලූකෝස් අවශ්‍ය වන බවත් එසේම එම මාංශ පේශියට අවශ්‍ය සැපයුම් ලබා දෙන නල පද්ධතිය කිරීටක ධමනි ලෙස හඳුන්වන බවත් පැහැදිලි කළා. ඇතැම් විට විවිධාකාර හේතූන් මත මේවා සිහින් විය හැක. කිරීටක ධමනි තුළ මේදය තැන්පත් වීම ඒවා සිහින් බවට පත්වීමට ප්‍රධානම හේතුව වේ. උදාහරණයක් ලෙස නිවසේ ඇති ජල නළ පද්ධතියේද මලකඩ බැඳීම, කුණුරොඩු රැඳීම හේතුවෙන් කරාමය ඇර ජලය ලබා ගැනීමට යාමේදී ඉන් ජලය මද වශයෙන් පමණක් පිටතට පැමිණෙන බව ඔබට නිරීක්ෂණය වූ අවස්ථාවක් ගැන සිතන්න. ඔබගේ හෘද ස්පන්දනය හැත්තෑවක් අසූවක් පමණ පවතින විවේකයෙන් සිටින අවස්ථාවලදී මෙවැනි කිරීටක ධමනි සිහින් වීමක බලපෑම් එතරම්ම නොදැනෙනු ඇත. නමුත් ඔබ විසින් ඉක්මන් ගමනක් යාම, පඩිපෙළවල් දෙක තුනක් ඉහලට නැග ගියහොත්, ඔබගේ හදවතේ වේගය වැඩිවීම නිසා ඒ මොහොතේ පැමිණෙන රුධිර සැපයුම මදි බව දැනීමට පටන් ගනී. එය හඳුන්වනු ලබන්නේ angina යනුවෙනි. මෙම වේදනාව වැඩිපුරම දැනෙනුයේ පපුවේ මැදටය. පපුව මැද සිදුවන තද වීමක් සේ ඔබට මෙම වේදනාව ඇති වෙයි. මෙය විවේකයෙන් සිටින අවස්ථාවලදී ඔබට නොදැනෙනු ඇත. පෙර කී ආකාරයට වේගවත්ව කිසියම් ගමනක් යාම, පඩිපෙළවල් කිහිපයක් ඉහලට නැගීම, බසයක් අල්ලා ගැනීමට දුවන විට වැනි අවස්ථාවන් වලදී මෙම වේදනාව ඔබට ඇතිවිය හැකියි. එය වම් අත දිගේ පැතිරී යන දැනිය හැක. ඇතැම්විට බෙල්ලට, හක්කට ආදියටත් මෙම වේදනාව දැනෙනු ඇත. මෙහි ඇති විශේෂම ලක්ෂණය වන්නේ අප එම වෙහෙස දැනෙන ක්‍රියාකාරකම නතර කළහොත් හෘද ස්පන්දනයද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බැවින් එම වේදනාවද ටිකෙන් ටික අඩු වී යයි. මෙය සිදුවන්නේ කිරීටක ධමනිය එනම් Coronary arteries යන්න සිහින් වූ විටයි. දැන් අපි heart attack නැතිනම් පපුවේ අමාරුව යන්න පැහැදිලි කරගැනීමට යොමු වෙමු. රුධිර නාල සිහින් වීමේදී මේද වැනි ද්‍රව්‍ය තැන්පත් වූ විට ඒවා මත ඉරිතලා මෙන් ඒ මතට ලේ කැටිද ගොස් සවි විය හැකියි. එවිට සිරවී තිබූ රුධිර නාලය සම්පූර්ණයෙන්ම අවහිර (block) විය හැක. එසේ වූ විට එය heart attack එසේත් නොමැති නම් myocardial infarction ලෙස හඳුන්වනු ලබයි. එම පේශියේ අදාල තැනට ලැබුණු සම්පූර්ණ රුධිර සැපයුම නතර වේ. මල බැඳුණු නළ පද්ධතියක් ඇති කරාමය විවෘත කළ විට ජලය සෙමෙන් සෙමෙන් ආවද බිල නොගෙවා හෝ කිසියම් හේතුවක් මත රජය විසින් ජල සැපයුම කපා හරින ලද විටක ජලය බිඳුවකුදු නොලැබෙන අවස්ථාවකට මෙය සමාන කළ හැක. එම සෛල වලට රුධිර සැපයුම නොමැතිව වැඩි වේලාවක් පැවතිය නොහැකියි. මන්ද යත් ඒවාට අවශ්‍ය ග්ලූකෝස් සහ ඔක්සිජන් රැගෙන එන්නේ රුධිර සැපයුම මගින් වන බැවිනි. එවන් අවස්ථාවක අදාල ස්ථානයේ සෛල යාමකට ලක්විය හැක. මෙය heart attack එසේත් නොමැති නම් පපුවේ අමාරුව ලෙස හඳුන්වනු ලබයි. ඔබ මේ පිළිබඳව දැන ගැනීමේ ප්‍රධානම වැදගත්කම වන්නේ මේ මගින් ඔබට මෙවැනි රෝගවලින් වැළකීමට හැකියාව ලබා ගත හැකි බැවිනි. වළක්වා ගැනීමට ක්‍රම පවතින අතර ඒ සඳහා මෙම රෝග පිළිබඳව ඔබ තුළ දැනුමක් ද පැවතිය යුතුයි.
මේ අනුව heart attack එකක් ඇති වන්නේ රුධිර නාල වල රුධිර කැටියක් සිර වීමෙනි. මෙලෙස රුධිර කැටියක් සිර වීමෙන් වැළකී සිටීමට හැකියාව පවතින්නේ කෙසේද යන්න දැන් අපි විමසා බලමු .
ඒ සඳහා මෙවැනි අවහිරතාවන් ඇතිවීමට බලපාන අවදානම් සාධක පළමුව හඳුනාගත යුතුයි. සමහරක් අවදානම් සාධක අපට වළක්වා ගැනීමට හැකියාවක් නොමැත. එනම් අපගේ පවුලේ ළඟම සාමාජිකයෙකුට හෘදයාබාධයක් ඇති වී තිබේ නම් ජානමය හේතූන් මත අපටද හෘදයාබාධයක් වැළදීමේ සම්භාවිතාව අන් අයට වඩා ඉහළ වේ. තවද පිරිමි පාර්ශවයට හෘදයාබාධ ඇතිවීමේ අවදානම කාන්තාවන්ට හෘදයාබාධ වැළඳීමේ අවදානමට වඩා ඉහළ අගයක් ගනී. අප වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ වෙනස් කළ හැකි අවදානම් සාධක පිළිබඳයි. එයින් ප්‍රධානම අවදානම් සාධක අංක එක දෙක සහ තුන ලෙස දුම්පානය හඳුන්වන්න පුළුවනි.. දුම්පානය ඔබගේ කිරීටක ධමනි සිහින් වීමට විශාල වශයෙන් බලපෑම් කරයි. අනෙකුත් සාධක ලෙස දියවැඩියාව නිසි ලෙස පාලනය කර නොගැනීම, අධික රුධිර පීඩනය, එමෙන්ම ඔබ අප සියලු දෙනාම දන්නා කොලෙස්ටරෝල්ද හඳුනාගත හැකියි. බොහෝ පුද්ගලයින් වැඩිපුර කලබලවන්නේ කොලෙස්ටරෝල් පිළිබඳයි. එමගින් අනෙකුත් වැදගත් සාධක අමතක කර දමයි. අප සමාජය තුළ අධික ලෙස දුම්පානය කරන පුද්ගලයින් එම දුම්පානය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා කොලෙස්ටරෝල් පිළිබඳ පමණක් අවධානය යොමු කරනු දක්නට හැකියි. එයින් නිසි පරිදි මෙම අවදානම වළක්වා ගැනීමට හැකියාවක් නොලැබේ. එමෙන්ම තවත් සාධකයක් ලෙස ශරීරයේ ස්ථූලභාවය ද හැඳින්විය හැකියි. වසේම ව්‍යායාමයක් නොමැති, කායික ක්‍රියාකාරකම්හි අඩුවෙන් යෙදෙන පුද්ගලයින්ටද හෘදයාබාධ වැළඳීමේ අවදානම ඉහළයි. ඉහත සඳහන් කරන ලද සාධකයන් කිරීටක ධමනි අවහිර වීමට බලපාන ප්‍රධානම සාධක ලෙස හඳුන්වා දිය හැකියි.
මේ අනුව අවදානම් සහ සාධක බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඉන් අපට පාලනය කළ හැකි සාධක හෝ පාලනය කරගෙන කටයුතු කිරීම හෘදයාබාධ වලින් වැළකීමට ඉතා වැදගත් වෙනවා. මෙහිදී ඇතිවන තවත් වැදගත් රෝග ලක්ෂණයක් වන්නේ කකුල් ඉදිමීමයි. සමාජය තුළ බොහෝ දෙනා සිතන්නේ මෙය වකුගඩු රෝගී තත්ත්වයක් හා සම්බන්ධ දෙයක් මිස හෘද රෝග වලට අදාළත්වයක් නොමැති බවයි. සත්‍ය වශයෙන්ම හෘදය වස්තුව දුර්වල වීමද මෙවැනි රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීමට හේතු වෙනවා. දැන් අපි මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ගනිමු.
හදවත් රෝග කාලයක් තිස්සේ පැවතිය හොත් විශේෂයෙන්ම පාලනය නොකළ අධික රුධිර පීඩනය, නිසි පරිදි ප්‍රතිකාර නොකරන ලද කිරීටක ධමනි ආශ්‍රිත ගැටලු, යනාදිය හේතුවෙන් හෘදය වස්තුවේ මාංශපේෂි දුර්වල වේ. මෙය අප හඳුන්වනු ලබන්නේ හෘදය වස්තුව අකර්මණ්‍යවීම (heart failure) ලෙසයි. හෘදය වස්තුවේ අකර්මණ්‍යතාවය පවතින විට එම පුද්ගලයාට වෙහෙසක්, තෙහෙට්ටුවක්, විඩාවක් දැනීමට හැකියි. ඇවිදින විට, පඩිපෙළක් නගින විට හතියක්ද දැනීමට හැකියි. එසේම කකුල් ඉදිමීමද මෙහි ලක්ෂණයකි. තවත් වැදගත් රෝග ලක්ෂණයක් වන්නේ මෙවන් පුද්ගලයන් රාත්‍රියේ සමතලා (flat) ඇඳක නිදා සිටින විට මධ්‍යම රාත්‍රියේ අධික හතිය, වෙහෙස සමග හුස්ම ගැනීමේ අපහසුතාවෙන් නින්දට බාධා පැමිණ අවදි විය හැකියි.
මෙම වැඩසටහනින් හෘදවස්තුව පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබට පැහැදිලි කර දුන්නා. Sukhitha Lifestyle Medicine අනුග්‍රහයෙන්, ආලෝචනා අන්තර්ජාල සඟරාව මගින් ඔබ වෙත ගෙන එන මිනිස් සිරුර ඊළඟ වැඩසටහනින් පැහැදිලි කරනු ලබන්නේ පෙණහලු නැමැති මිනිස් සිරුරේ තවත් එක් විස්මිත අවයවයක් පිළිබඳවයි. පහත සබැඳිය හරහා ඔබට ඒ සඳහා ප්‍රවේශ විය හැක.
ආලෝචනා වෙතින් ගෙන එන මෙම වැඩසටහන පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සිට ශ්‍රී ලාංකේය සමාජයේ සියලු දෙනාගේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සාක්‍ෂරතාව නංවා සිටුවීම සඳහා පිටිවහලක් වේයැයි අපි විශ්වාස කරමු.