කොරෝනාවේ වත්මන් තත්ත්වය – මහාචාර්ය සරෝජ් ජයසිංහ

කොවිඩ් 19 වසංගතය පිළිබඳ ආලෝචනා ගෙන එන වැඩසටහන් මාලාවේ මේ සාකච්ඡාව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මානව ශාස්ත්‍ර දෙපාර්තමේන්තුවේ නිර්මාතෘ මහාචාර්ය සරෝජ් ජයසිංහ සමඟයි. 

පහත සබැඳිය ඔස්සේ මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා ඔබට සවන්දිය හැකියි.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශය මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වීඩියෝ මාලාව සඳහා පහත සබැඳිය හරහා ඔබට ප්‍රවේශ විය හැකියි.

කොවිඩ් – 19 ගැන

ප්‍ර: කොරෝනා වසංගතය හැදෙන්නේ ඉතා පහසුවෙන් බෝවන වෛරසයකින් බව මේ වන විට බොහෝ දෙනා දන්නවා. ඒ පිළිබඳ බොහෝ දැනුම්වත් කිරීම්, සාකච්ඡා ආදිය විවිධ මාධ්‍ය ඔස්සේ සිදු වී තිබෙනවා. ඉතිං එක් අයෙකුගෙන් තවත් කෙනෙකුට මෙම රෝගය මෙලෙස බෝවන්නේ කෙසේද? අප මහාචාර්යතුමාගෙන්  එලෙස  විමසන්නේ මහජනතාව අතර දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන දන්නා හඳුනන පාර්ශවයන් හා  පවුලේ සාමාජිකයින් සමඟ කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය නොකර වෙනත් බාහිර පාර්ශවයන් සමඟ පමණක් මෙලෙස කොරෝනාවලින් ආරක්ෂාවීමේ සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අනුගමනය කරනවා දක්නට හැකි නිසයි.

පි: මෙය වෛරසයක්  නිසා මිනිසුන් අතර පැතිර යන්නේ අපගේ මුඛයෙන් හා නාසයෙන් පිටවන ශ්‍රාවයන් හා බිඳිති මගිනුයි. මෙම බිඳිති තුළ වෛරස රැඳී පවතිනවා. මෙම වෛරස අංශු කෝටි ගණනක් මෙම එක් බිඳිත්තක් තුළ රැඳී පැවතිය හැකියි. මේ අනුව ආසාදිත පුද්ගලයෙකු ශබ්ද නගා කතා කිරීමේදී, කිවිසුම් යැවීමේදී, කැස්ස නිසා  මෙම වෛරස බිඳිති අවට පරිසරයට මුදා හැරීම සිදු වෙනවා. එම ආසන්නයේ සිටින පුද්ගලයකුගේ මුඛයේ, නාසයේ, දෑස්වල  තැවරී වෛරසය පැතීරීම ආරම්භ වෙනවා. ශරීරය තුළදී විශේෂයෙන්ම ස්වාසනාල පටක තුළ මෙය පැතිරෙනවා. නැතහොත් වෙනත් පෘෂ්ඨයක් මත තැවරී තිබී  ස්පර්ශය හරහා මෙම වෛරසය ඔබට වැළඳීමේ අවදානමක් තියෙනවා. ප්‍රධාන ලෙස පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන්නා සේ මෙය පැතිරී යනවා. එයට අමතරව තෙතමනය සහිත පෘෂ්ඨයක් මතද වෛරසය රැඳී තිබිය හැකි බවට මතක තබාගත යුතුයි. ආසාධිත පුද්ගලයකු විසින් භාවිතා කරන ලද යම් යම් දෑ එනම් සාප්පු මලු, පළතුරු ආදිය මගින් වගේම දොර අගුලු,  අසාදිත පුද්ගලයින් ස්පර්ශ කළ මේස කෝප්ප යනාදිය පරිහරණය කිරීම මගින්ද මෙය පැතිර යාමට හැකියි. නමුත් මෙවැනි පෘෂ්ඨයක් මත මෙම වෛරසය වැඩි වේලාවක් ජීවී ස්වභාවයෙන් පවතින්නේ නැහැ.

ප්‍ර: මහාචාර්යතුමාගේ පැහැදිලි කිරීමෙන් අදහස් වන්නේ මෙම බිඳිති පුද්ගලයෙකුගේ  ස්වාසනාලයට ඇතුළු වී කොරෝනා රෝගය වැළඳෙන බවයි. 

පි: බොහෝ දුරට සිදු කරනු ලබන ලැබූ පරීක්ෂණයන්ගෙන් තහවුරුවී ඇත්තේ බිඳිති හරහා මෙම රෝගය පැතිර යන බවයි.  සුපිරි වෙළඳසැල් ආදියට ඇතුළු වී ගනුදෙනු කරද්දි එහි සිටින මුදල් අයකැමි සේවක සේවිකාවන්ට මෙම රෝගය වැඩිපුර වැළඳී ඇති බව විදේශයන්හි සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා.  විශේෂයෙන්මුදල් හුවමාරුව ආදිය සිදු කිරීමේදී. එකිනෙකා අතර කතාබහ කිරීම සිදුවන්නේ මුදල් ගෙවීම් සිදු කරන විටයි. එවිට එම බිඳිති මුඛයෙන් පිට වී අසාදිත පුද්ගලයින් සමග කතා කරන ඔවුන්ගේ ඉදිරියේ සිටින අනෙකුත් පුද්ගලයන්ට ද වැළඳිය හැකියි. 

ප්‍ර: මහාචාර්යතුමන් ප්‍රකාශ කරන පරිදි කොරෝනා රෝගය වැළඳුණ තරුණ පිරිස් අතර කොරෝනා වලට අදාළ රෝග ලක්ෂණ ඇතැම් අවස්ථාවන් වලදී එතරම්ම පෙන්නුම් කරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනා ගන්නේ කෙසේද?  රෝග ලක්ෂණ වන්නේ මොනවාද? 

පි: මෙහි එක් ගැටලුවක් වන්නේ එයයි. මෙය සෙම්ප්‍රතිශ්‍යාව සේ බෝවන රෝගයක්. එලෙසම මෙයද බෝ වුවත් යම් ප්‍රතිශතයකට මෙය වැළඳුණු විටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඇතැම් පුද්ගලයන් තුළ මෙම වෛරසය ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විනාස කිරීම නිසා මෙම රෝගය ඇති වන්නේ නැහැ. 

ප්‍ර: එයින් අදහස් වන්නේ කොරෝනා වෛරසයෙන් මෙම පුද්ගලයින්ට හානියක් නොමැති බවද?

පි: ඔව් ඇත්තෙන්ම කොරෝනා වැළඳුණු බවද ඔවුන් දන්නේ නැහැ. නාසය මාර්ගයෙන් මෙම වෛරසය ඇතුළු වී ස්වාසනාලය දක්වා ද ගමන් කළ හැකියි. එසේ වුවත් ඇතැම් අයට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී ලෙසින් කිසිදු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. එසේම තවත් සමහරකුට මෙම රෝගය වැළඳුණු විට මද වශයෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස හටගන්නවා. විශේෂයෙන්ම තරුණ පිරිස් තුළ දැකිය හැක්කේ එවැනි ස්වභාවයේ රෝග ලක්ෂණයි. එහෙත් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව යනාදී අවදානම් ලෙස ගැනෙන රෝග ඇති වයස්ගත පුද්ගලයන්ට ඔවුන් තුළ ඇතිවන ප්‍රතිචාරය වෙනස්. එනම් රෝග ලක්ෂණ වැඩියි. ඔවුන්ට කැස්ස, නිව්මෝනියාව, හෘදයාබාධ යනාදී ලෙස නොයෙකුත් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. එලෙස දරුණු රෝග ලක්ෂණ ඇති වන්නේ සුළු කොටසකටයි. 

ප්‍ර: මෙයින් අදහස් වන්නේ මෙවැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් පමණයි නේද මින් එහා ක්‍රියාමාර්ග සඳහා යොමු විය හැක්කේ? නැතහොත් රෝගය අප තුළින්ම සුව වී යනවා නේද?

පි: මෙහි ඇති ගැටලුව වන්නේ එයයි. වෛරස රෝග ලක්ෂණ නැති තරමට පැතිර යාමේ හැකියාව වැඩියි. මන්ද එය අප තුළ ඇතැයි අප කිසිවෙකුත් නොදන්නා බැවිනුයි. මෙය කොරෝනා වෛරසය හා සම්බන්ධ ප්‍රධාන ගැටලුවක්. ඇතැම් පරීක්ෂණ වලින් හඳුනාගෙන ඇත්තේ 40%- 70% දක්වා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි. PCR පරීක්ෂණය මගින් පමණක් කොරෝනා ඇති බවට අනාවරණය වෙනවා.

ප්‍ර: එයින් අදහස් වන්නේ එදිනෙදා අප හමු වන, ගනුදෙනු කරන, කතාබහ කරන පුද්ගලයන්ට කොරෝනා රෝගය තිබිය හැකි බව ද?

පි: අනිවාර්යෙන්ම තිබිය හැකියි. එම නිසා සෑම විටම අප අනෙකුත්  පුද්ගලයින්ට කොරෝනා ඇතැයි සිතා ආරක්ෂිතව කටයුතු කළ යුතුයි.

ප්‍ර: මේ වන විට තනි පුද්ගලයින් වශයෙන් අප විසින්ම වඩාත් ආරක්ෂා විය යුතු බවට මතයක් ගොඩ නගා තිබෙනවා.  නමුත් සමාජය තුළ නිතර දෑත් පිරිසිදු කරන්න, මුව ආවරණ පළඳින්න, දුරස්ථභාවය රැකගන්න යනාදී ලෙස නිරන්තරව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ජනතාව දැනුම්වත් කළත් ඒවා පිළිගැනීමට සමාජය මැළිකමක් දක්වන බව අපට දැකගත හැකියි. ඒ සම්බන්ධයෙන්ද ඔබතුමාගේ අදහස කෙබඳුද?    

පි: ඒ පිළිබඳ අපි මහජනතාව තවදුරටත් දැනුම්වත් කළ යුතුයි. මෙය මිනිස් චර්යාවන්හි සිදු කළ යුතු වෙනසක්. මුහුණු ආවරණ පැළඳීමේ අපහසුතාවයක් තියෙනවා. එමෙන්ම ශ්‍රී ලාංකික සංස්කෘතිය මගින්ද අප ජන සමාජයේ පුද්ගලයින්, ජනකණ්ඩායම් එකිනෙකා සමීපව ඇසුරු කිරීමට හුරුවෙලා තියෙනවා. කරට අත දැමීම, වැළඳ ගැනීම හරහා එකිනෙකා පිළිගැනීමේ පුරුදු ආදිය කාලාන්තරයක් තිස්සේ අප අනුගමනය කළා වුවත් මෙවැනි බෝවන රෝගයක් පැතිර යන සමයේ ඒවායෙන් අපහසුවෙන් වුවත් වැළකී සිටිය යුතුයි. සියලුදෙනා රැස්වී කතාබහ කිරීම, විනෝදාත්මක ක්‍රීඩා වල කණ්ඩායම් වශයෙන් නිරත වීම වැනි සංස්කෘතිය හා සබැඳි ක්‍රියාකාරකම් හුරුපුරුදු එක්වරම වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. මෙවැනි හැසිරීම් අප රටට පමණක් සීමා වී නොමැති බව පසුගිය කාලයේ ගෝලීය වශයෙන් සිදුවූ සිදුවීම් මඟින් ඔබට අවබෝධ කර ගත හැකියි. ඇමරිකාව වැනි රටවල ජනාධිපතිවරයාගේ රැස්වීම් ආශ්‍රිතව සිදුවීම්, ජනාධිපතිවරණයෙන් පසු ජනතාව වීදි බැසීම ආදී හැසිරීම් උදාහරණයන් ලෙස දැක්විය හැකියි. මේවා වෙනස් කිරීම නීතිමය කටයුතු වලට අවතීර්ණ වීම මඟින්ම සිදුකළ නොහැකියි. මේ සඳහා විවිධාකාර ප්‍රවේශයන් අනුව යමින් විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. මෙය නීතිය පැත්තෙන් පමණක් කළ නොහැකියි. මේ සඳහා මනෝවිද්‍යාඥයින්, සමාජවිද්‍යාඥයින්, අලෙවිකරණයේ නිරත පුද්ගලයින් වැනි විවිධාකාර පාර්ශවයන්ගේ දායකත්වය තාවකාලිකව හෝ මේ සඳහා ලබා ගත යුතුයි. එය කෙටි කාලයක් ලෙසම හැඳින්විය නොහැකි අතර ජනතාවගේ චර්යාවන්ගේ වෙනසක් අනිවාර්යයෙන් සිදු කළ යුතුමයි.

ප්‍ර: ඒ කියන්නේ සමාජය නිරන්තර දැනුම්වත් කරමින් ජනතාව බල ගැන්වීම නිරන්තරයෙන් කළ යුතු බවද?

පි: අනිවාර්යයෙන්ම. නමුත් දැනුම්වත් වූ පළියටම මිනිසුන්ගේ චර්යාවන් වෙනස් වන්නේ නැහැ. මෙයට හොඳම උදාහරණයක් තමයි වෛද්‍ය වෘත්තිකයින් දුම්පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව හොඳින්ම දන්නා නමුත් ඔවුන් අතරද දුම්පානය කරන්නන් පිරිසක් සිටිනවා. බොහෝ මත්පැන් පානය කරන වෛද්‍යවරුන්ද  එය අහිතකර බව හොඳින්ම දන්නා නමුත් මත්පැන් බොන අය සිටිනවා. එමෙන්ම ස්ථූලභාවය නිසා ඇතිවන ගැටලුද දැන දැනම ඒ පිළිබඳ පර්යේෂණ කරන එහෙත් වැරදි ආහාර රටාවන් වලට පෙළඹී ඇති අයවලුන්ද වෛද්‍ය වෘත්තිකයින් අතර සිටිනවා. මෙලෙස දැනුමක් තිබූ පළියට චර්යාවන් වෙනස් නොකිරීම අපි බොහෝ දෙනා තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි. දැනගත් පමණින්ම එය සිදු කිරීම අපහසුය. දැනුම දීමෙන් පමණක්, ඇඳිරි නිතිය දැමීම වැනි නීති රීතින් මඟින් පමණක් මෙම වෙනස අපට සිදු කළ නොහැකියි. මෙවැනි සෞඛ්‍යය පුරුදු අනුගමය කිරීමේ විලාසිතාවක්, රටාවක් ඇති කළ යුතුයි. ඇතැම් අය අතර මුහුණු ආවරණ පැළඳීම නව විලාසිතාවක්, ප්‍රවණතාවක් බවට පත්ව තියෙනවා. මෙවැනි නොයෙකුත් ආකාර අපට මේ සඳහා අනුගමනය කළ හැකියි.

ප්‍ර: මෙම කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ඔබතුමාටත් මේ ග්‍රාහකයින් වෙත විශේෂයෙන් ප්‍රකාශ කිරීමට යමක් තියෙනවාද?

පි: මෙම කොරෝනා රෝගය ආසාදනය වූ පමණින් එම පුද්ගලයින්ට, අදාළ පවුලේ සාමාජිකයින්ට වෙනස් කොට සැළකීමෙන් වැළකිය යුතුයි. මෙය වසංගත රෝගයක් වන අතර එය වැළඳීම නිසා කිසිවෙකුත් කොන් කිරීම වැරැදියි. ඔවුන් වැරැදි ලෙස හැසිරීම, අයහපත් ක්‍රියාකාරකම් වල නිරත වීම ආදිය නිසා ආසාදනය වී ඇති බවට පවසමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම, කොන් කිරීම ආදිය නිසා එම රෝග ලක්ෂණ පෙන්නුම් කළද ප්‍රතිකාර සඳහා රෝහල් ගත නොවීමට මැළිකමක් දැක්වීම සිදු විය හැකියි. එම නිසා මෙම රෝගය ආසාදනය වන්නන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අපකීර්තියට ලක් කිරීමෙන් සියලු දෙනාම වැළකිය යුතුයි. බය කිරීම, කොන් කිරීම නොව සුහදව නිවැරදි ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ සියලුදෙනා එක්ව ක්‍රියා කර මෙම රෝගයෙන් ආරක්ෂා විය යුතුයි.

එමෙන්ම දැන් දේශපාලකයින් පවා විශේෂඥයින් වෙන්න යනවා. ඒ අය විද්‍යාත්මක පැත්තෙන් පමණක් නොබලා කරන්නේ දේශපාලනයයි. එම නිසා මේ ගැන විද්වතුන් හා වෘත්තිකයින් කියන්නේ කුමක්ද යන්න පිළිබඳ මහජනතාව විමසිලිමත්ව සලකා බැලුවොත් හොඳයි. 

ඒ වගේම දුම්පානය, මත්පැන් බිම වැනි අයහපත් සෞඛ්‍ය පුරුදු අත්හැරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නට මේ හොඳම අවස්ථාවයි. මන්ද දුම්පානය පෙණහලු වලට අහිතකර වන අතර එය කොරෝනා රෝගයේ බලපෑම දරුණු වීමට හේතු විය හැකියි. තවද මත්පැන් හා වෛරස් සමඟ ඇතිවිය හැකි ආබාධ වැඩි වෙන්න පුළුවන්. එමෙන්ම මත්පැන් වල බලපෑම නිසා සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කළ නොහැකි වෙනවා. 

තවත් වැදගත්ම කරුණක් වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එක් එක් පුද්ගලයන් කෙරෙහි විවිධ මට්ටම් වලින් ආතති තත්ත්වයන් ඇති විය හැකියි. මේ නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය/හිංසනය (Domestic Violence) ඇතිවිය හැකියි. තවද දරුවන්ට සමහර තැන් වල හිරවී සිටීම නිසා ඔවුනට අයහපත්ව බලපාන ආකාරය හැකිතාක් අවම කර ගැනීමට හැකිවන ලෙස පරෙස්සම් විය යුතුයි. එමෙන්ම මෙම කොරෝනා රෝගය යමෙකුට හැදුණොත් සංකූලතා මතුවන අවදානම් අය මෙම රෝගයට නිරාවරණය වීම වළක්වා ගත යුතුයි. මේ සඳහා මුව ආවරණ පැළදීම ඉතා ඵලදායී වනවා. එහිදීද තත්ත්වයෙන් වඩා හොද ස්ථර තුනක් සහිත මුව ආවරණයක් පැළදීම වඩා ප්‍රතිඵලදායක වෙනවා. එය සපයා ගැනීම අපහසුනම් රෙදි මඟින් වුවද එය වඩා හොඳ තත්වයේ පිරිසිදු මුව ආවරණයක් ලෙස සකස් කර පැළඳිය යුතුයි. ඔබ දැනටමත් කොරෝනා ආසාධිතයෙකු නම් ඔබගෙන් මෙය අන් අයට පැතිරීම වළක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයි. 

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත