වසංගත සමයකදී ව්‍යාපාර පවත්වාගෙන යෑම / Operating businesses during pandemics – Professor Indika Karunathilake

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් වසංගත සමයකදී ව්‍යාපාර පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව ඉහතින් දැක්වේ.

Professor Indika Karunathilake, Professor in Medical Education at the Faculty of Medicine of the University of Colombo and the President of Sri SLMA, explains ‘the proper way to operate businesses during a pandemic’. This video is produced by the Institute of Multimedia Education under the guidelines of the Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.

වසංගත සමයකදී ව්‍යාපාර පවත්වාගෙන යෑම

කොවිඩ් 19 ආසාදනය පැතිරීම වළක්වා ගනිමින් ඔබගේ ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමට ඔබට විශාල වගකීමක් පවතිනවා. විවිධ ව්‍යාපාර ස්ථාන එකින් එකට වෙනස් වන බව සත්‍යයක් වුවද, මෙම සියලු ආයතන වලට පොදුවේ අදාළ වන පරිදි කොවිඩ් 19 වැනි වසංගත තත්ත්වයක් හමුවේ ව්‍යාපාර කටයුතු කෙසේ පවත්වාගෙන යා යුතුද යන්න අපට සාකච්ඡා කළ හැකියි. එමගින් ඔබට ඔබගේ ව්‍යාපාර ස්ථානයට අනුරූප වන වෙනස් වූ ක්‍රමවේදයක් සකසා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ව්‍යාපාර සහ ආයතන ලෙස ගත යුතු ක්‍රියාමාර්ග, අංශ හතරක් ඔස්සේ ප්‍රධාන  වශයෙන් විස්තර කළ හැකියි. එනම්,

  • මානව සම්පත්,
  • භාණ්ඩ හා උපකරණ,
  • ආයතනයේ අවකාශයේ කළ යුතු වෙනස්කම්
  • ආයතනයේ ක්‍රියා පටිපාටියේ කළ යුතු වෙනස්කම් 

ලෙසයි.

මානව සම්පත් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග,
  • සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් විමසිලිමත් වීම
  • සෑම සේවකයකුම ආයතනයට ඇතුලු වීමේදී උෂ්ණත්වය මැන බලා නියමිත අගයට අයත් සේවකයින් පමණක් සේවයේ යොදා ගැනීම. එසේ නොමැති නම් එම සේවකයින් සම්බන්ධයෙන් වැඩිදුර සෞඛ්‍ය උපදෙස් ලබාගෙන ක්‍රියා කිරීම.
  • සේවා ස්ථානයේදී සේවකයකු අසනීප තත්ත්වයක් පෙන්නුම් කළහොත්, අදාළ සේවකයා සේවා ස්ථානයේ  වෙනමම ස්ථානයක රදවා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන්න.
  • අසනීප තත්ත්වයේ පසුවන සේවකයින් තමා නිවසේම රැදී සිටීමට හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුවත් කරන්න.
  • අත් සේදීමේ වැදගත්කම නිතරම පැහැදිලි කිරීමත්, හැකි සෑම අවස්ථාවකදීම දෑත් සේදීමේ පහසුකම් සපයා දීමත් සිදු කළ යුතුයි.
  • එසේ කළ නොහැකි නම් සියයට හැත්තෑවක හෝ ඊට වැඩි ඇල්කොහොල් සාන්ද්‍රණයක් සහිත විෂබීජහරණ ද්‍රාවණයක් තවරා දෑත් පිරිසිදු කර ගැනීමේ පහසුව ලබා දෙන්න.   
භාණ්ඩ හා උපකරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග,
  • නිතර ස්පර්ශයට ලක්වන මතුපිටවල් විෂබීජහරණය කිරීම. එනම් මේස, පුටු, දොර අගුලු, විදුලි ස්විච,  කවුන්ටර මතුපිට වැනි දෑය. 
  • එසේම කවුන්ටර මත පාරිභෝගිකයන්ට අත් නොතබන ලෙස ඉල්ලා පත්‍රිකා හෝ දැන්වීම් පුවරු තබන්න.
  • එසේම කාර්යාලයේ භාවිතයට ගන්නා දුරකථන, පරිගණක යතුරු පුවරු, වැසිකිළි, සොරොව් බේසම් (sink), බැංකුවක නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) යනාදියද විෂබීජහරණය කළ යුතුයි.
ආයතනයේ අවකාශයේ කළ යුතු වෙනස්කම්
  • භෞතික දුරස්ථභාවය රැදෙන සේ ව්‍යාපාරික ගොඩනැගිල්ල පිළියෙල කරන්න.
  • ආයතනයට පැමිණෙන ගණුදෙණුකරුවන්ට පනවා ඇති ආසන, නියමිත දුර ප්‍රමාණයකින් යුතුව ඈත් කොට තබන්න.
  • ගොඩනැගිල්ලට වාතාශ්‍රය ලැබීමට හැකිවන අයුරින් කෑම පැයේදී හෝ වායුසමන යන්ත්‍ර ක්‍රියා විරහිත කොට දොර ජනේල විවෘත කර තබන්න.
ආයතනයේ ක්‍රියා පටිපාටියේ කළ යුතු වෙනස්කම් 
  • සේවකයින් සියලුම දෙනාට එකම වේලාවක ආහාර ලබා ගැනීමට කාලය වෙන් කර තිබුණේ නම් එය වෙනස් කොට හැකිතාක් වෙන් වෙන් වශයෙන් ආහාර පාන ලබා ගත හැකිවන පරිදි එක් එක් සේවකයින්ට වෙන් වෙන් වශයෙන් කාල පරාසයන් ලබා දෙන්න.
  • පිඟන්, කෝප්ප හා ආහාර පාන යනාදිය එකිනෙකා අතර හුවමාරු කර නොගන්නා ලෙස සේවක පිරිස දැනුවත් කරන්න.
  • පාරිභෝගිකයන්ට අත සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් ආයතන පරිශ්‍රයට ඇතුලු වීමට පෙර පිටතින් සපයන්න.
  • ආයතනයේ ඇතුළුවන හා පිටවන දොරවල් බාහිර පාර්ශව වෙත ඇරීමට හා වැසීමට සේවකයින් රඳවන්න.
  • භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් නම් පාරිභෝගිකයන්ට බෑගයක්, කූඩයක් වැනි භාණ්ඩ රැගෙන යාමට අවශ්‍ය පැසක් රැගෙන ඒමට දිරිමත් කර එයට භාණ්ඩ ලබා දෙන්න.
  • ඔබ ආයතනය සාප්පු මලු (shopping) වලට භාණ්ඩ ලබා දෙනවානම් එය පාරිභෝගිකයා අතට ඍජුව ලබා නොදී තට්ටුවක් මත තබා  එය පාරිභෝගිකයාට ලබා ගන්නා ලෙස පැවසීමෙන් දෙපාර්ශවය අතර භෞතික ස්පර්ශයක් වීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීම.
  • පාරිභෝගිකයා ලබා දෙන මුදල අතින් ලබා නොගෙන බන්දේසියක් කවුන්ටරය මත තබා එයට මුදල් ලබා ගන්න.
  • මුදල් ගනුදෙනු වලදී හැකිතරම් නියමිත මුදලම රැගෙන එන ලෙස පාරිභෝගිකයින් උනන්දු කරවන්න. 
  • එසේ නොමැති අවස්ථා වලදී ඉතිරි මුදල් පාරිභෝගිකයා අතට නොදී කවුන්ටරය මත තබා, එය ලබා ගන්නා ලෙස පවසන්න.
  • ගනුදෙනු සඳහා ණයපත්/හරපත් (credit card/debit card)  භාවිත කරයි නම් ආයතනයේ මුදල් අයකැමි විසින් එය අතින් නො අල්ලා පරිභෝගිකයටම ණයපත් කියවීමේ යන්ත්‍රයට කාඩ්පත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමට අයකැමි දැනුවත් කරන්න.

මේ සියල්ල සිදු කිරීමේ අරමුණ සියලු දෙනාගේ යහපත සලසා ගැනීම බවත්, එසේ නොමැතිව නීති රීති නිසා නැතහොත්, පොලිසියෙන් හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගැලවීමට නොවන බවත් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙනවා.

මෙවන් යහපත් සෞඛ්‍ය පුරුදු වලට අප සැමදෙනා හුරු වීමටත්, එසේම අන් අයටද මෙම ආරක්‍ෂිත ක්‍රියාමාර්ග වලට අනුගත වන ලෙස ඉල්ලා සිටීමටත් ඔබට වගකීමක් මෙන්ම අයිතියක්ද තියෙනවා. 

ඇතැම් විට විශාල සේවක පිරිසක් සිටින ආයතන වල මෙම නව සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අපහසු විය හැකියි. එවන් අවස්ථාවන් වලදී ඔබ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් හෝ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.      

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් “වසංගත සමයකදී ව්‍යාපාර පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි පහදා දීම” ඇතුළත් වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් කොරෝනා වයිරසය පැතිරීම පාලනය කර ගනිමින් හෝටල් සහ ආපන ශාලා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.

 

කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සදහන් සබැඳි හරහා පෙර  වීඩියෝ නැරඹිය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  3. කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
  4. මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando
  5. කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando
  6. ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් | High Risk Groups – Professor Shyam Fernando
  7. කොරෝනා නිවසට නොගෙන ඒමට නම්/ Keeping Corona away from home – Professor Manuj Weerasinghe

 

අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු. 

වර්ගීකරණය
සංරක්‍ෂිත