කොවිඩ් -19, අලුත් පුරුදු සහ ක්‍රමවේද ඇතිකරගැනීමේ වැදගත්කම / COVID-19, importance of new habits and processes – Dr Dinil Abeygunawardane

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ සුඛිත හෙල්ත්කෙයාර් අධ්‍යක්ෂ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන විසින් “වසංගත කාලවලදී නව හැසිරීම් සහ හුරුපුරුදු ඇතිකරගැනීමේ වැදගත්කම පහදා දීම” සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව ඉහතින් දැක්වේ.

The Director of Sukhitha Healthcare, Dr. Dinil Abeygunawardane, explains ‘the importance of developing new habits and processes in order to control the spreading of infections, especially during pandemics’. This video is produced by the Institute of Multimedia Education under the guidelines of the Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.

කොරෝනා පරදවමු – අලුත් පුරුදු හා ක්‍රමවේද

කොවිඩ් 19 වසංගත තත්වය යටතේ අලුත් හුරුපුරුදු හා ක්‍රමවේද වලට හුරු වීමේ වැදගත්කම මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනු ලබනවා. 

එනම් කොරෝනා වැනි බෝ වන රෝග පැතිරෙන අවස්ථාවලදී  පැතිරීම වළක්වා ගැනීම සඳහා නව හැසිරීම් රටා මාලාවක්, විද්‍යාත්මක ක්‍රමවේදයන් මත පදනම් වී පිහිටුවා ගැනීම ගැනත් එසේ ඇති කරගනු ලබන ක්‍රමවේද අපට ආයාසයක් නැතුව සිදු කළ හැකි පුරුදු පුහුණු පද්ධතියක් බවට පත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳවත් මෙම වීඩියෝව හරහා අප ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙලෙස ඇති කරගත යුතු නව හැසිරීම්, නව පුරුදු බවට පත්කර ගැනීම මෙවන් වසංගත තත්වයන් වල මෙන්ම ඉන් පසුව වුවද වඩාත් සෞඛ්‍යාරක්ෂිත පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ. එම නිසා කොරෝනා වැනි තත්ත්වයන් නැවත නැවත ඇති උනත්, අපගේ සමාජ ජීවිතයට ආර්ථිකයට අවම බලපෑමක් වන ආකාරයට මෙවැනි තත්වයන්ට මුහුණ දීමේ හැකියාව අපට ලබා ගත හැකි වෙනවා.

උදාහරණයක් ලෙස අප යමක් අල්ලන ආකාරය, සමාජය සමඟ හැසිරෙන විදිය කාලාන්තරයක් තිස්සේ අප ඇඟට ජීර්ණය වී ඇති බව දකින්නට පුළුවන් කම තියෙනවා. අප ගමනක් බිමනක් යනවිට, කාර්යාලයේ දී, පාසලේ දී, අපගේ නෑ හිතමිතුරන් සමඟ කණ්ඩායම් ලෙස ක්‍රියා කිරීම දක්නට ලැබෙනවා. සමාජයේ එකිනෙකා මුණ ගැසීමේ දී  සුහදතාව පෙන්වීම උදෙසා අප අතට අත දෙනවා. බදා ගැනීම්, වැළඳ ගැනීම් සිදු කරනවා. මෙවැනි වසංගත තත්වයක් යටතේ අපට මේවා යම් ආකාරයකින් මග හැර අපේ ආචාර සමාචාර කරගැනීම් වුවද ටික කලකට හෝ වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිදු කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස මෙම කාලයෙදී අතට අත දෙනවා වෙනුවට සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් දුර සිට අත් එක්කොට ආයුබෝවන් වැනි ආමන්ත්‍රණයක් භාවිතා කොට අනෙකා කෙරෙහි අපගේ පවතින සුහදතාවය පෙන්විය හැක. 

තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔබ යමක් ඇල්ලීමේදී එනම් දොරගුලු කරකවා විවෘත කිරීම, එහෙමත් නැතිනම් හැඩලයෙන් අල්ලා තල්ලු කර විවෘත කිරීම සිදු කරනු ලබනවා. මෙවැනි පුරුදු වෙනස් කර ගත යුතුමයි. හැඩලය අතින් නොඅල්ලා වැළමිටින් තල්ලු කිරීම සිදු කළ හැක. පඩිපෙළවල්  බැසීමේදී අත්වැට අල්ලාගෙන බැසීම වැනි පුරුදු වලට පහසුවෙන් හුරු වීම ඔබට සිදු කළ හැකියි. විදුලි සෝපානය භාවිතයේදී අප විසින් අපගේ ඇඟිලි තුඩු භාවිත කර බොත්තම් එබීම සිදු කරනු ලබනවා. මෙහිදී ඇඟිල්ල නවා පිටිඅත්ල පැත්තෙන් බොත්තම් එබීම මගින් නැවත දෑත් පිරිසිදු කර ගැනීමට පෙර අපගේ අත්ලෙන් මුහුණ, කට, නාසය ස්පර්ශ වුවද සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට හැකියාව ලැබේ.

බැංකුවකට කාර්යාලයකට යාමේදී එහි ඇති පෑන් භාවිතය වෙනුවට තමා විසින්ම පෑනක් රැගෙන යාමට ඔබට පුරුදු විය හැක. එනම් ඔබ ගෙදරින් පිටවීමට පෙර මෙවන් කාලයකදී ඔබගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා තම ගමන් මල්ලට එකතු කරගත යුත්තේ මොනවාදැයි වඩා හොඳින් සිතා බැලිය යුතුයි. පෑනක්, විෂබීජහරණ  ද්‍රාවණයක්, භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවා රැගෙන ඒමට අවශ්‍ය කරන බෑග් යනාදිය ඔබ විසින් ගෙන යන්නේ නම් ඔබට කොවිඩ් 19 අවදානමෙන් මිදීමට බොහෝදුරට අවස්ථාව සැලසෙනවා. 

මෙලෙස පවතින පුරුදු බැහැර කොට නව පුරුදු සහ ක්‍රමවේදයන් කෙරෙහි අනුගත වීම ඉතාමත් අපහසු කාර්යයක් යැයි ඔබට හැඟී ගියද මේවට පුරුදුවීම පවතින වාතාවරණය යටතේ රටේ ආරක්ෂාව මෙන්ම ඔබගේ ආරක්ෂාව කෙරෙහි ද ඉතාමත් වැදගත් වනු ඇත.     

එසේ නොවීමෙන් සිදුවන්නේ

  •  කොරෝනා රෝගය ඉතා වේගයෙන් පැතිරීම
  • එසේම අප අතර සිටින වැඩි අවදානම් කණ්ඩායම් සංකූලතා ඇති වී ඇතැම් විටෙක මරණයට පවා පත්විය හැක.

මෙම වීඩියෝ මාලාවෙන් ඔබ ඉගෙනගත්  නව පුරුදු හා ක්‍රමවේද නැරඹීම හෝ අවබෝධ කර ගැනීම ප්‍රමාණවත් නොවන අතර අවශ්‍යවන්නේ ඒවා ක්‍රියාවට නැංවීමයි. 

කාලාන්තරයක් තිස්සේ අනුගමනය කළ පුරුදු පුහුණු වූ දෑ වලින් දවසින් දෙකෙන් සතියෙන් මිදෙන්නට නොහැකි බව සත්‍යයකි. නමුත් නිරන්තර අවධානය නිතර නිතර සිහිපත් කර ගැනීම හා සිහිපත් කරවීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී බලපෑම් කිරීම හරහා ද මෙම  නව පුරුදු හා ක්‍රමවේද වලට අනුගත වීම මෙවන් කොරෝනා වැනි වසංගත තත්වයන් පාලනයට අවශ්‍ය වේ.              

මෙවන් ක්‍රමවේද මූලික සිද්ධාන්ත කොරෝනාවෙන් ගැලවීමට මෙන්ම ඕනෑම බෝවන රෝගයකින් ආරක්ෂා වීමට වැදගත් වෙනවා. එමගින් මෙලෙස දෙවැනි වර පැමිණි කොරෝනා තත්වය මෙන්ම අනෙකුත් බෝවන රෝග තත්වයන් ඇති වීම ද පහසුවෙන් මැඩ පවත්වා ගත හැක.

බෝවන රෝග පාලනයට කොපමණ වෙහෙසක් දැරිය යුතුද යන්න තීරණය වන්නේ සමාජයක් වශයෙන් අප කොතරම් දුරට මෙම නව හුරු පුරුදු ඇතිකර ගන්නවාද නැද්ද යන කාරණය මත ය.

අපි සියළු දෙනා එක්ව මෙම වසංගතය මැඬලන්න දැනුවත්ව පෙළගැසෙමු.

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ සුඛිත හෙල්ත්කෙයාර් අධ්‍යක්ෂ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන විසින් “වසංගත කාලවලදී නව හැසිරීම් සහ හුරුපුරුදු ඇතිකරගැනීමේ වැදගත්කම පහදා දීම” ඇතුළත් වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොවිඩ් – 19 වෛරසය නැවත හිස ඔසවමින් සිටින මේ අවස්ථාවේ එයට මුහුණ දිය යුතු ආකාරය සහ කල, නොකල යුතු දෑ පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක කරන්නා වූ දැනුවත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.


කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සදහන් සබැඳි හරහා පෙර  වීඩියෝ නැරඹිය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  3. කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
  4. මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando
  5. කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando
  6. ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් | High Risk Groups – Professor Shyam Fernando
  7. කොරෝනා නිවසට නොගෙන ඒමට නම්/ Keeping Corona away from home – Professor Manuj Weerasinghe
  8. වසංගත සමයකදී ව්‍යාපාර පවත්වාගෙන යෑම / Operating businesses during pandemics – Professor Indika Karunathilake
  9. හෝටල් සහ ආපන ශාලා | Hotels and Restaurants – Professor Manuj Weerasinghe


අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු.

වර්ගීකරණය
සංරක්‍ෂිත