වත්මන් ලාංකේය නර්තන කලාව තුළ ඇති ප්‍රධාන අර්බුදකාරී තත්ත්වයන් කීහිපයක් දක්නට ඇත.
- සුභාවිත නර්තන කලාවක් වර්තමානයෙහි නොමැතිවීම. නො එසේම පෙර පැවති එම සුභාවිත ධාරාව සම්පූර්ණයෙන්ම පාහේ නැති වී යෑම. වත්මන් නර්තනය උත්සව අලංකරණයට හා රූපවාහිනී රියැලිටි ප්‍රසංගයන්ට ලඝු වීම.
- දැනට ප්‍රධාන ධාරාවේ නර්තනය බවට පත්වී ඇති වාණිජ නර්තනය(ජනප්‍රිය නර්තනය) තුළ නර්තන කලාවේ ගුණාත්මක බව සහ ශාස්ත්‍රීයත්වය හා සම්භාව්‍යත්වය නැතිවී හුදෙක් සරල මතුපිටක දිවෙන බාල නර්තන කලාවක් බවට බිහිවී තිබීම.
- එම අවර ගනයේ වානිජ නර්තනයේ බලපෑම ඉතා විනාශකාරී ආකාරයට ආධුනික ශිල්පීන් අතර හා පාසල් පද්ධතියට කිඳා බැස තිබීම.
මෙම අර්බුදකාරී තත්ත්වය වඩාත්ම පවතින්නේ ඊනියා නිර්මාණ නර්තනය තුළය. වාසනාවකට සාම්ප්‍රදායික වශයෙන් නර්තනය පවත්නා ශාන්තිකර්ම හෝ පෙරහර අවකාශයන් හි එකී සාම්ප්‍රදායික ස්වරූපයන් හා කලාවේ අගයන් බොහෝ දුරට ආරක්ෂා වී ඇත.
එසේනම් සුභාවිත නර්තනය යනු කුමක්ද? රසිකත්වය හුදු සරල වින්දන තලයකින් ඔබ්බට ගෙන යමින් ප්‍රේක්ෂකයා සමඟ බුද්ධිමය හා භාවමය ගනුදෙනුවක යෙදෙන ඉහළ කලාත්මක ගුණයන්ගෙන් සමන්විත නර්තන ‘කලාව’ සුභාවිත නර්තනයයි. ඒය ආරම්භ වන්නේ වේදිකාව මූලික කොට ගෙනයි. ගැඹුරු වින්දනයක් සහිත කලාවක් ලෙසින් නර්තනය රස විඳීම සඳහා ඒ වෙනුවෙන්ම රංග ශාලාවකට ගොස් නැටුම් බලන සංස්කෘතියක් දැන් අපට නැවතත් අවශ්‍යයි (1950, 60, 70 දශක වල එවැනි තත්ත්වයක් අපට තිබුණා.)
එවන් සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වේදිකාව මූලික නැටුම් සංදර්ශන, මුද්‍රානාට්‍ය ආදිය නිර්මාණය කිරීමට අප යුහුසුළු විය යුතුයි . මෙම කාර්යයට මුල පිරිය යුත්තේ ද නර්තන ශිල්පීන් වන අපමයි. අපේ බොහෝ ශිල්පීන් බොහෝ විට අනුග්‍රාහකයින් මතම යැපෙමින් අපේ යුතුකම අමතක කොට ඇති බව පෙනේ.
(චිත්‍රසේන, වජිරා, පණිභාරත, ප්‍රේමකුමාර, වසන්ත කුමාර, රංගනාථ, ශේෂා පලිහක්කාර, නිමල් වෙල්ගම, බැසිල් මිහිරිපැන්න, මකුලොලුව වැනි කලාකරුවෝ සිය ආර්ථික ප්‍රතිලාභ ගැන නොසිතා තම යුතුකම ඉටු කළහ.)
අනෙක් අතට නාට්‍ය ශිල්පීන් අපට වඩා මේ ගැන සිතන බව පෙනේ. අද නාට්‍යකරුවන් බොහෝ දෙනා නාට්‍ය කරන්නේ අනුග්‍රහක මුදල් මත පමණක් යැපෙමින් නොවේ. එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන යුගයේ පමණක් නොව නූතන තරුණ නාට්‍යකරුවන්ද එසේය. ඔවුනුත් මූල්‍ය අනුග්‍රහයක් නැත කියා නිහඩව සිටියා නම් අපට නාට්‍ය කලාවකුත් නැත. .
දැන් අපි; නාට්‍ය බලන්න රංග ශාලාවට යනවා
චිත්‍රපට බලන්න සිනමා ශාලාවට යනවා
චිත්‍ර ප්‍රදර්ශන බලන්න කලාගාරයට යනවා (සාපේක්ෂව පිරිස අඩුයි).
ගීත ප්‍රසංග රස විඳින්නට ප්‍රසංග ශාලාවට යනවා.
හැබැයි නැටුම් බලන්න රංග ශාලාවට යන්නේ නැහැ. TV එක ඉදිරිපස වාඩිවෙනවා. හේතුව, රංග ශාලාවට නැටුම් සංදර්ශන, මුද්‍රා නාට්‍ය ආදිය නැහැ. සාමාන්‍ය ජනතාවට නැටුම් ලේසියෙන්ම බලන්න තියෙන්නෙ ටීවී රියැලිටි ප්‍රසංග වලයි. නමුත් අර අවර ගනයේ වාණිජ නර්තන කලාවයි.
එසේ නම් වාණිජ නර්තනය යනු කුමක්ද?
අධිභූෂිත, අධි වර්ණිත, අධි අලංකෘත, අධිවේගී, එමෙන්ම අනවශ්‍ය බාහිර ආටෝපයෙන් පිරි, ඒහෙත් ශිල්පීයත්වය හීන අති සරල නැටුම්, මේ ගණයට අයත්ය. එසේ නැත්නම් ‘කාන්තා සිරුරේ රස තැන් වලට පිරිමින් ආකර්ශනය කරන’ අඩනිරුවත් නර්තනයන්ය. (හෝටල් ප්‍රසංග වල දී දක්නට ලැබෙන, ප්‍රේක්ෂකයන්ට පිටුපා තදින් ඉඟටිය වැනීම වැනි ලක්ෂණ මේ නැටුම් වල බහුලය.) එයට කලාව යැයි කිව නොහැකියි. කලාවක් නම්, ප්‍රේක්ෂක බුද්ධියට ආමන්ත්‍රණය කරන, ප්‍රේක්ෂක රසඥතාව දිනෙන් දින ඉහළට ඔසවන, ගෞරවනීය ක්‍රියාවලියක් විය යුතුයි. එවැනි කෘතියක් නරඹා ආපසු ගොස් නැවත සිතීමට යමක් රසිකයාට ඉතුරු වෙනවා. නමුත් හුදෙක් සරල විනෝදය පමණක් සඳහා කරන නැටුම් නරඹා ප්‍රේක්ෂකයෙකු ආපහු ගෙන යන කිසිවක් නැත. ඒකී හරසුන් නැටුම් පවත්නා ප්‍රධාන අවකාශයන් දෙකක් අපට හඳුනාගත හැකිය.
- රූපවාහිනී රියැලිටි වැඩසටහන්
- පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව ගේ උත්සව විවිධ සම්මාන ප්‍රදානෝත්සව සහ තරු පහේ හෝටල් වල කෙරෙන මංගල උත්සව
එම උත්සව වල නර්තන ඉදිරිපත් කරන සියලු දෙනාම එය සිදු කරන්නේ හුදෙක් වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා පමණයි. ඔවුන් කිසිවෙකු අඩුම ගණනේ වසර තුන හතරකට වරක් හෝ හොඳ සාම්ප්‍රදායික හෝ නිර්මාණ නර්තන ප්‍රසංගයක් හෝ හරවත් මුද්‍රා නාට්‍යයක් සමාජයට දායක කරන්නේ නැත. ඒ ශිල්පීන් බොහෝ දෙනා ලාංකීය සුභාවිත කලා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන්නේ ද නැත. මන්ද?
- ඊට අවශ්‍ය ශිල්පීය දැනුම නොමැති නිසා
- පරිණත කලා රසයක් නොමැති නිසා
- පෙර කී වාණිජ තලයෙන් උඩට ඒමට උවමනාවක් නොමැති නිසා
ඒ නිසාම අප රටේ පොදු ජනතාවත් උසස් කලා රසයක් සහිත නර්තන කලාවක් ඇති බව නොදනිති. ඔවුන් නැටුම කියා හඳුනන්නේ පෙර කී ලක්ෂණ සහිත අවර ගණයේ නර්තනයයි.
මෙහි ඇති තදබල ඛේදවාචකය නම් පාසල් තලයට හා ආධුනික ශිල්පීන්ට මෙම තත්ත්වය දරුණු ලෙස බලපෑමයි. කෙසේද යත්, රූපවාහිනිය පූර්වාදර්ශයට ගන්නා අත්දැකීම් විරල තරුණ පාසල් නැටුම් ගුරුවරුන් හා ආධුනික නිර්මාණ ශිල්පීන් එම නැටුම් අන්ධානුකරණය කිරීමෙන් තම නර්තනයන් ගොඩනැගීමයි. ඊට අවාසනාවන්ත ලෙස ගොදුරු වන්නේ පාසල් සිසුන් හෝ ළාබාල ආධුනික ශිල්පීන්ය. පාසල් වියේ සිටම ඔවුන්ගේ රසඥතාව වර්ධනය වන්නේ එකී අවර ගණයේ කලාව ඔස්සේය අනතුරුව ඔවුහු සිය ගුරුවරුන් අනුකරණය කරමින් එම නිර්මාණ ධාරාවටම එකතු වෙති. ඉන් ගොඩ ඒමට නම් මෙම භයානක නිර්මාණ චක්‍රය බිඳිය යුතුය.
සාම්ප්‍රදායික තත්ත්වය අතික්‍රමණය කරන, එහෙත් වාණිජත්වයට නොයන, ප්‍රේක්ෂක බුද්ධියට ආමන්ත්‍රණය කරන, ඔවුන්ට භාවපූර්ණ සෞන්දර්ය අත්දැකීමක් ලබා දෙන, ලොව වෙනත් රටවල පවතින්නාක් මෙන් වූ ප්‍රබල, සුභාවිත, සම්භාව්‍ය හා ශාස්ත්‍රිය නර්තන කලාවක් නැවත ඇති කළ යුතුය.
- ඒ සඳහා අඩු වියදමින් නිර්මාණය කළ හැකි, රංග ශාලා පමණක් නොව වෙනත් රංගාවකාශයන්හි ද පෙන්විය හැකි, නැටුමේ මූලික හරය වන මිනිස් සිරුරේ කලාත්මක චලනය උත්කර්ෂයට නංවන, භාවාත්මක චලන සෞන්දර්යයකින් යුතු විකල්ප නර්තන කලාවක් නිර්මාණය කිරීම පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුය.
- ඒ සමගම, අපගේ සාම්ප්‍රදායික නැටුම් වඩාත් ආකර්ෂණීය හා කලාත්මක අයුරින් නූතන වේදිකාව සඳහා ප්‍රතිනිර්මාණය කිරීම ද කාලීන අවශ්‍යතාවකි. (සාම්ප්‍රදායික නැටුම් ප්‍රසංග වර්තමානයෙහි ඉතා විරලය) සම්ප්‍රදාය අමතක කොට නිර්මාණ ක්‍රියාවලියකට පිවිසිය නොහැකිය.
- එමෙන්ම සමකාලීන මිනිසා පිළිබඳ ගැඹුරින් කතා කරන හරවත් මුද්‍රා නාට්‍ය කලාවක් (නර්තනය මූලික, ඉතා විශිෂ්ට කලාව මුද්‍රානාට්‍යය යැයි මම සිතමි.) ගොඩ නැගීම පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුය.