සිව්වෙනි ආණ්ඩුව යුධ ප්‍රකාශ කළ යුතුය

“පුවත්පතක් ආරම්භ කරනවා කියන්නේ විශ්වවිද්‍යාලයක් ඇතිවෙනවා වගේ දෙයක්” යැයි එදා දේශනා කළේ කළුකොදයාවේ හාමුදුරුවෝයි. පුවත්පතක් කියන්නේ ඒ තරමටම දැනුම් සම්භාරයක් එහි පාඨකයින් ඒ මඟින් ලබා දීමට හැකිවන තැනකි. එහෙත් කළුකොදයාවේ ප්‍රඥාසේකර මහනාහිමියන් මෙය කීවේ දැනට දශක පහකට කළිනි. නමුත් අද උන්වහන්සේ වැඩ සිටියා නම් කියන්නේ “බාල ටියුෂන් පන්තියක් තරම්වත්” අද ඇතැම් පත්තර වටින්නේ නැත කියා විය නොහැකිද? පුවත්පත කොතරම් වටිනා මෙහෙයක් සමාජයට කර ඇතිද? කළ හැකිද? කළ යුතුද?

පුවත්පත කොතරම් වටින්නේද කියා කිවහොත් රූපවාහිනිය හඳුන්වා දීමට පෙර ජනමාධ්‍ය සන්නිවේදනයේ තිබූ ප්‍රධාන ආයතනය වූයේ ගුවන් විදුලිය හා පුවත්පතයි. එබැවින් එදා දහ අටවන සියවසේ සිට ජනමාධ්‍ය හඳුන්වා ඇත්තේ සිව්වන ආණ්ඩුව ලෙසිනි. එදා මහා බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලය, පාර්ලිමේන්තුව හා පල්ලිය සියලු කාර්යයන් ගේ මුල්තැන ගෙන කටයුතු කළේය. ඉන් පසුව එම තත්ත්වය එදා පාලනයේදී හා සමාජ කාරියේදී හිමි කරගන්නේ ජනමාධ්‍යය යැයි “තෝමස් කාලයිල්” කියා සිටියේය.

නමුත් අද එරට පමණක් නොව සෙසු බොහෝ රටවලත් “පල්ලිය” ගත් තැනට අද ජනමාධ්‍ය පත්වී ඇති බව පෙනේ. ඒ අනුව වර්තමාන දේශපාලන සමාජයේ තෙවැනි ආණ්ඩුව වන්නේ මාධ්‍යයි.

මේ අනුව පෙනී යන්නේ අද ජනමාධ්‍ය ජනමත ප්‍රධානියෙකු (OPINION LEADER) තත්ත්වයට වී ඇති බවකි. එය මෙරට බොහෝ මැතිවරණ වලදී ඔප්පු වී ඇති බව පෙනෙන්නේ ඈත අතීතයේ සිටමය. ආණ්ඩු පෙරළීමේදී හා පත් කිරීමේදීද මෙරට පමණක් නොව විදේශ රටවලද ජනමාධ්‍ය ප්‍රධාන භූමිකාවක් රගපා ඇති බව ප්‍රකට රහසක් සේම සත්‍යයකි.

මේ අනුව මාධ්‍යකරුවා යනු ඉතා ප්‍රබල පුද්ගල චේෂ්ටාවකි. එසේ නම් මේ චරිතය ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාවලියේදී කොතරම් සාධනීය භූමිකාවක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත්ය.

එදා මාධ්‍යයේ ඉහළින් වැජඹුණේ පුවත්පතයි. ගුවන්විදුලි සේවාවන් තිබුණේ එකක් වුවද එය රජයේ ආයතනයක් වූ නිසා එයින් රජයට අවශ්‍ය දෙය හැර රජය පිළිබඳ විචාරශීලී හෝ විවේචනාත්මක සංවාදයත් තිබූ බව නොපෙනේ. ජනමාධ්‍ය කොතරම් ප්‍රබලව මේ රටේ සමාජ ජන විඥානය සමඟ බද්ධ වී ගියේද කිවහොත් එය පසුව විශ්වවිද්‍යාලීය හා පාසල් විෂයයක් වශයෙන් අනුමත වූ පාඨමාලාවක් බවට පත්විය. ඒ අනුව අද ජනමාධ්‍ය කරුවන් පමණක් නොව ඒ පිළිබඳ හැදෑරූ ආචාර්ය මහාචාර්යවරුන් ද රාශියක් අපට සිටි.

එසේම එම විෂයය පිළිබඳ එහි ඉතිහාසය, එහි සිද්ධාන්ත පිළිබඳ, න්‍යාය හා ආකෘති ගැන, ආකල්ප හා සංකල්ප මෙන්ම මාධ්‍ය සංස්කෘතිය ගැනද විවිධ පොත්පත් සඟරා පළව ඇත. පළවෙමින් තිබේ.

පෘථුල විෂයය ධාරාවක් ඇති එම විෂයයේදී එහි යෙදෙන පිරිස් හා ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් සන්නිවේදන විචාරයක් බිහිව ඇත්දැයි සිතීමේ කාලය අපට අද පැමිණ ඇත. එහි අවශ්‍යතාව වඩාත් ගැඹුරින් හා තදින් අවධානයට යොමු විය යුතු අවස්ථා කීපයක් අපි මෑත කාලයේදී මුහුණ දුන් තීරණාත්මක සිදුවීම් විසින් පෙන්වා දෙමින් තිබේ. එයට හේතුව වී ඇත්තේ වර්තමානයේ දී ජනමාධ්‍ය මහජන මතය හැදීම හා වෙනස් කිරීම උදෙසා තීරණාත්මක සාධකයක් බවට පත් වෙමින් තිබීමයි.

එවන් හැකියාවක් වෙතැයි අභි උපගමනයට පාත්‍ර වෙන ජනමාධ්‍ය වැදගත් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාව වෙනස් කිරීම උදෙසා පමණක්ද යන්න මෙහිදී මතුවන ගැටලුවකි. එම හැකියාව ධනවාදී තාක්ෂණික රටාව නො එසේ නම් තාක්ෂණික ධනවාදය (Techno capitalism) යොදාගෙන සමූහ බලය හා නව සන්නිවේදන උපක්‍රම නිරන්තර මන්තරයක් සේ මතුරමින් කරන දේශපාලනික පෙනී සිටීම හා ජයග්‍රහණ උදෙසා පමණක්ද යන්න අද ඉතා ගැඹුරින් සිතිය යුතු තීරණාත්මක මොහොතක අපි පසුවෙමු.

වර්තමානයේ දී ජනමාධ්‍ය සමාජයේ හැසිරෙන බලවන්ත පුද්ගලයෙකි. ඔහුගේ බලවන්තකම මේ වනතුරු සමාජයේ ඉදිරිගමන උදෙසා දක්වා ඇති ආයෝජනය කුමක්ද? මෙය සමස්ත සමාජය වෙතින් වරින් වර ජනමාධ්‍ය සන්නිවේදනය අරඹයා නැඟෙන චෝදනාවකි. බොහෝ ජනමාධ්‍ය රටේ යහපතට කුමන හෝ මෙහයක් කරන බව සැබෑවකි. එහෙත් ඒ සියල්ල තාවකාලික පිළියම්ය. ඒ මගින් ඔවුන් දිනා ගන්තේ සමාජයේ අවධානයයි. එහෙත් එම දෙය දිනා ගැනීමේදී ඒ සඳහා බරපැන දරා ඇත්තේද ග්‍රාහකයාම විසිනි. ඒ මේ අනුව මාධ්‍ය මේ රටේ දිගුකාලීන සංවර්ධනය, දැනුම්වත්භාවය උදෙසා කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. රටේ බහුතරයක් සිදුවන අපරාධ, සූරාකෑම්, දූෂණ ගැන කතා කරන අපගේ මාධ්‍ය, ජනමාධ්‍ය තමන්ගේ ආයතනයෙන් සිදුවන අකටයුතුකම් කිසිදා කිසිවෙකුට කතා කරන්නට තබා සිතන්නට හෝ ඉඩදී ඇත්ද?

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සන්නිවේදනය ප්‍රකට බව මෙන්ම ශක්තිමත් බව පිළිගැනීමට සිදුව ඇත්තේ ඔවුන් විසින් කරගෙන යන ප්‍රචාරණයේ හා ඒත්තු ගැන්වීමේ බලවන්තභාවය නිසාය. අද රාජ්‍ය මාධ්‍ය සන්නිවේදනයටද සිදුව ඇත්තේ මෙරට “ලංගමය”ට සිදු වූ දෙයම නොවේද යන්න සිතෙන්නේ මේ අවස්ථාවේදීය. එදා රාජ්‍ය මාධ්‍ය ජනතාවගේ සිතුම් ප්‍රවාහයේ තෙවැනි ඇස වෙද්දී පෞද්ගලික මාධ්‍ය වෙළඳපොළට නොපැමිණි පෞද්ගලික ප්‍රවාහනය බඳු වූයේය. එහෙත් පසුකාලීනව පෞද්ගලික බස් පිටුපස ලංගමය එලවාගෙන ගියාක් සේ මේ දවස රාජ්‍ය මාධ්‍ය සන්නිවේදනයට, පෞද්ගලික මාධ්‍ය ලුහුබැඳ යාමට සිදුව ඇත.

මේ කුමන දෙයකින් වුවද අපට පෙනී යන්නේ සන්නිවේදන ක්‍රියාවලියේදී මාධ්‍ය ප්‍රබල බවයි.

එයට ගරු කරමින් එම ප්‍රභලත්වය වෙළඳපොළ ජනප්‍රියතාවය නම්වූ Rating මායාව ඔස්සේ නාභිගත නොකොට ජනතාව දැනුම්වත් කරවීම හා ඉදිරි අනාගතය උදෙසා සූදානම් කරවීමේ උදාර කර්තව්‍යය අරභයා යොමුවීමේ මෙහෙයුමට ඔවුන් යොමුවිය යුතු මොහොත දැන් එළැඹ තිබේ.

මාධ්‍ය මෙහෙවරක යෙදිය යුතු මොහොත අද පැමිණ තිබේ. එහිදී තමන්ගේ ඔලොගු බිම තැබීමේ යුගය අද තමන් අභිමුව රැඳී සිටී. එය දේශපාලනික බව සත්‍යයකි. එහෙත් එම දේශපාලනය මෙරට සියලු දේ ජරාජීර්ණ කරන්නාවූද, ගෝත්‍රවාදය කරපින්නා ගන්නා වූ ද පක්ෂ දේශපාලනය නොවිය යුතුය. වත්මන් මාධ්‍යයේ දේශපාලනය විය යුත්තේ රට එක්සත් කිරීමේ ආර්ථික, සංස්කෘතික, සදාචාරාත්මක හා සෞන්දර්යාත්මක මෙහෙයුම උදෙසා ජනතාව දැනුම්වත් කරවා ඒ උදෙසා පෙළ ගැස්වීමයි. “ඇල්බට් නොවාක්” කියන්නාක් සේ නිරන්තර දැනුම්වත් කිරීම මගින් ජනතා ආත්මීය භූගෝලය සකස් කිරීමයි.

රටක පාලනයේ හා පැවැත්මේ සිව්වන නොව තෙවැනි ඇස වූ මාධ්‍යය තවමත් ඒ කාර්යය උදෙසා ප්‍රමාද නැත. එය කිසියම් පුද්ගලයෙකු රැක ගැනීම නම් වූ සාතිශය පෞද්ගලික අනුභූතියෙන් එපිට ගොස් ජනතාව දිනාගත් වරම ඔවුන්ගේ හෙට දවස උදෙසා යොමු කරවීමයි. අපේ රටට සුනාමිය ආවේය. සුනාමිය නිසා ජීවිත මෙන්ම දේපොළද අපේ ආර්ථිකයද විනාශ වී ගියේය. ඉන්පසු කොවිඩ් -19 අපටද ආවේය. එහිදී මුදල නම් සාධකය හා බලය, නිලය හා දේශපාලන හිමිකම වටිනා කමින් තොර වූයේය. අප එහි මෑත කාලීන අභියෝගයටද මුහුණ දෙමින් සිටිමු. භෞතික සම්පත් වලට කළමනාකරණය හෝ නිසියාකාරව කරගන්න ඉඩ නොදී අද එය මුළු රටම බිය වද්දමින් සිටී. මෙහිදී මාධ්‍ය එහි මුල සිට නිරන්තර ක්‍රියාමාර්ගයක් නොකඩවා කරගෙන ගියේ නම් මේ තත්ත්වය මෙයට වඩා යහපත් වීමට ඉඩ තිබුණි. කොරෝනා වැළඳි රෝගියෙකු සොයා මහ මෙහෙයුමක් කළා සේ දැන්වූ මාධ්‍ය කොරෝනාව නිසා සිදු කළ අවිධිමත් ක්‍රියා පිටුපස්සේ ගියේ නැත. මාධ්‍ය යනු වාර්තාකරණය පමණක් යැයි සිතා සිටීමත් එම ප්‍රවෘත්තිය ආලවට්ටම් හෝ කඳුළු තවරා අන් අයට පෙර රසකර කීමට අවස්ථාව ලබා ගැනීම පමණක් මාධ්‍ය මෙහෙවර නොවේ. එසේම එය මාධ්‍යය ම නොවේ.

පුද්ගල දැනුම, ආකල්ප, අභිප්‍රේරණය, අනාගත අපේක්ෂා, සංවර්ධනය, නිපුණතා ගොඩ නැංවීම, ස්වයං කාර්යක්ෂමතාවය ඇති කිරීම යන කාර්යභාරය මාධ්‍යය මගින් ඉතා යහපත් ලෙසින් කළ හැකි කාර්යභාර්යන්ය. ඒ මගින් ඔවුන්ට බලයේ සිටින ආණ්ඩු මෙන්ම එහි නිලධාරීන්ද යහමගට ගැනීමේ අවසර පත්‍රය ජනතාව අතට පත් කළ හැකියි. ඒ සඳහා මේ කදිම අවස්ථාවකි. මෙවර මහ මැතිවරණය මිනිසුන් යොදා ගන්තේ ශ්‍රී ලංකාව රැක ගැනීම, දූෂණය පිටුදැකීම, නීතිය සාධාරණ ලෙසින් ක්‍රියාත්මක කිරීම, විනය ස්ථාපිත කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතයෙන් වළකාළීම මෙන්ම පුද්ගල නිදහස සුරක්ෂිත කිරීමටයි.

ඒ අනුව මේ මහජන බලාපොරොත්තු වල කොහේවත් පොහොට්ටු, ශ්‍රී ලංකා කියා හෝ යූ.ඇන්.පී., ජේ.වී.පී. හෝ වෙන යම් දේශපාලනික පක්ෂයක්, පාටක් ආලේප වී හෝ විද්‍යාමාන හෝ වන්නේ නැත. එය පෙන්නුම් කළේ රටේ බහුතර ජනතා අපේක්ෂාවයි. වෙන ලෙසකින් කියන්නේ නම් යහපත කැමති බහුතර ශ්‍රී ලාංකේය අපේක්ෂාවයි. එබැවින් එහි සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජන කොටස් ඇත. ඒ අනුව එම ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් කොට සලකා ක්‍රියා කිරීමේ ගෞරණීය අයිතිය මෙරට සන්නිවේදන මාධ්‍යකරුවා සතුව ඇති පූජනීය අයිතියකි. ඒ අනුව සිය ග්‍රාහකයා වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ට අවශ්‍ය දැනුම්වත්භාවය සපයා දෙමින්, වෙනස්කම් හා ආරක්ෂණය උදෙසා බලපෑම් කරමින් ඔවුන් සවිබල ගැන්විය හැකිය.

එසේම අවශ්‍යතාවය පෙරට ගනිමින් එය ඉටු කරවා ගැනීම උදෙසා පෙනී සිටින සෙසු පිරිස් හා එක්කාසු වෙමින් ඔවුන් උනන්දු කරවා සිය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් මාධ්‍යයට සන්නිවේදනය පෙරට ගෙන යා හැකිය. මාධ්‍ය සැබෑ හැඟීමකින් හා අවබෝධයෙන් කටයුතු කරන විට නිලධාරීන් සේම පාලන තන්ත්‍රය ද සිය න්‍යාය පත්‍රය වංගු හා කරණම් වලින් තොරව ජනතා අපේක්ෂා නම් වූ පීලි මත සිය පාලනය රැගෙන යාමට ප්‍රවේශම් වනු ඇත.

මාධ්‍යයට මෙය කළ නොහැක්කක් නොවේ. එය ජනතාවට “අනේ අපේ මාධ්‍ය” කියා හිතෙන කිති කැවෙන තැන් වලට බලයෙන් ඇනගෙනද සිනාවක් නැඟෙන්නේ නැති විනෝදාත්මක වැඩසටහන් හෝ වින්දනය සපයනවා කියා තිරය මත බහුරූ කෝලම් රඟමින් කැපුණු පණුවන් සේ දඟලන වැඩසටහන් වලින් ජනප්‍රිය යැයි කියා සිතා ගන්නවාට වඩා මෙවැනි ජාතික මෙහෙවරක් උදෙසා කරන සම්මාදම මෙතෙක් කළ නොහැකි වූ ඔවුන්ගේ සමාජ සත්කාරය කළාක් මෙන් වෙනු ඇත.

ජනතාවට ජනතාවගේ පරමාධිපත්‍ය කියා දිය හැකිය. ආණ්ඩුවට තමන්ගේ ඉදිරි දැක්මෙන් යාමට කිව හැකිය. නිලධාරීන්ට සිය යුතුකම සිහිපත් කරවා දිය හැකිය. එහිදී නීතියට සිය ස්වාධීනත්වය සේම යුක්තිය පසිඳලීම පිළිබඳවද ඇරයුම් කළ හැකිය. එම කටයුතු නිරතුරුව සිදු කිරීම මගින් මාධ්‍යයට සන්නිවේදනයේ නාමයෙන් මෙතෙක් එල්ල වූ සියලු චෝදනා වලට අවංකව මුහුණ දිය හැකි වනු ඇත.

මෙසේ සිදු කිරීමට අපගේ සන්නිවේදන මාධ්‍ය පෙරමුණ ගතහොත් 1970 දී ඉම්මෑනුවෙල් වොලර්ස්ටයින්ගේ (Immanuel Wallerstine) ගේ මේ ප්‍රකාශය බිඳ දැමිය හැකියි.
“ධනේශ්වර ලෝක ආර්ථිකයේ සංවර්ධනය මුවාවෙන් පැහැදිලි කළ නොහැකි ක්‍රියාකාරකම් රැසක් සිදුකරයි”
ඔහු රටවල් කීපයක් ඇසුරෙන් කෙරුණු සමීක්ෂණයකින් එසේ කියා සිටියදී අපට අපගේ රට මුල්කරගෙන මාධ්‍යයේ හැසිරීම හා මඟපෙන්වීම මත එය නිවැරැදි කරගත නොහැකිද?

මේ තත්ත්වය මාධ්‍යකරණයට අලුත් දෙයක් නොවිය හැකිය. සැබෑ මාධ්‍යවේදියා සේම මාධ්‍ය උගත් විද්‍යාඥයින්ටද 1976 දී ගේ බෝර්ඩනේව් සහ බෙල්ට්‍රන් (Bordenave and Beltran) සේම ලර්නර් හා විල්බර්ශාම් ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ අමතක කර නැති විය හැකිය.
“ආණ්ඩුවේ නිලලත් මෙන්ම සමාජ ව්‍යුහාත්මක බාධක සේම, අධික ඉඩම් පරිහරණය, සූරාකෑම් ආදියට එරෙහි විය යුතු බව”
ඒ ප්‍රකාශය අනුව මාධ්‍යයට සිය ඉදිරි මඟ සකසා ගැනීමේ සදාචාරාත්මක අයිතිය ආශිර්වාදයක් කර ගත හැකි නොවේද?

සන්නිවේදන මාධ්‍යයේ ග්‍රාහකයාට බලපෑම් ඇති කිරීම සිදු කරයි. එය සන්නිවේදනයේ ලක්ෂණයකි. එහිදී සලකා බැලිය යුත්තේ තමන් ඉදිරිපත් කරන කරුණු වල වැදගත් කමයි. එසේම එම කරුණු ඉදිරිපත් කිරීමේ ආකාරයද ඉතා වැදගත්ය. එහිදී එයට ගැබ්වෙන පණිවිඩය වැදගත් වෙයි. එසේ නම් මෙවර ජනතාව ලද ජයග්‍රහණය සැලකිය යුත්තේ නව දැලි හේනක් ලෙසය. එම භූමියේ ජනතාවගේ අපේක්ෂා නම් බීජ වැපිරීම උදෙසා ඔවුන් මෙහෙයවීමේ මහා හැකියාව පාලනයේ තෙවැනි ඇස වූ සන්නිවේදනයේ මාධ්‍යයන්ට හැකිය. ග්‍රාහකයා ඉතා ප්‍රාණවත් හා දැනුම්වත් අයුරින් මෙහෙයවිය හැක්කේ මාධ්‍යටයි. එය එසේ සිදු කළහොත් මේතාක් සිදු වූ “යුතුකම පළවාහැරීමේ” වින්දනාත්මක චූදිතභාවයෙන් මිදී ගත හැකි වෙයි.

එම තත්ත්වය එසේ සිදුවුවහොත් මේතාක් ජන සන්නිවේදනයේ දී සාකච්ඡා කළ විෂයය මාලාවට අලුතින් “මාධ්‍යයේ ජනතා සහභාගිත්වය” මෙන්ම “සංවර්ධනයෙහිලා ජනතාව මෙහෙයවීම” වැනි විෂයයන්ද එක්විය හැකිය.
ඒ කෙසේ වෙතත් ජනතාවට සිය නැතිවෙමින් හෝ යටපත් වෙන හඬ ලබා දෙමින්, ඔවුන්ගේ අභිලාශ ජයග්‍රහණය කරා යොමු කරවීම හා ක්‍රියා ගැන්වීම සිදු වුවහොත් අපගේ රට අදට වඩා අඩුම වශයෙන් හෙට දවසේදී හෝ පරමාධිපත්‍යයේ හිමිකම එහි අයිතිකරුවාට ලබාදීමක් වූවා විය හැකිය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත