සිදුහත් බෝසතුන්ගේ ධර්ම ගවේශනය

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

බෙල්ලන්විල බිතුසිිතුවම් – සෝමබන්දු විද්‍යාපති
(ඡායාරූපය:
චාන්දනී වනිගතුංග)

බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම ධර්මය අවබෝධ කරගත් අයුර පිළිබඳව යම් දැනීමක් අප තුළ තිබිය යුතු බැවින් මෙතැන් පටන් ඒ පිළිබඳව වැටහීමක් ලැබ ගැනීමට වෑයම් කරමු. සිදුහත් කුමර තෙමේ ගිහිකල වුවද පුද්ගල ආත්මයක් විශ්වාස නොකළේය. චිරප‍්‍රසිද්ධ වෛදික බ‍්‍රාහ්මණ පඬිවරුන් විසින් සිදුහත් කුමරුට ආත්මය පදනම් කරගත් බමුණු දහම ඉගැන්වූවද කුමරු එය එසේම පිළිගැනීමට මැලි වූ බව පෙනේ. එකල සිටි බොහෝ තවුසන් මෙන්ම බමුණු පූජක වරුන්ද ඇදහුවේ ද්‍රව්‍යමය නොවූ හරයක් ආත්මය ලෙස යමෙකුගේ උපතේ දී එම ජීවියා හා බැඳෙන බවය. එසේම ආත්මය ලෙස නම් කළ එම ද්‍රව්‍යමය නොවූ හරය ජීවියාගේ මරණයේ දී ඊළඟ ආත්මය කරා සංක‍්‍රමණය වන බවය. නොකඩා සිදුවන එකම ජීවියාගේ මේ උපත සහ මරණය නම් වූ නොනවතින පුනරුත්පත්ති චක‍්‍රය, සංසාර චක‍්‍රය ලෙස හැඳින්වීය. (වර්තමානය වනවිට බුදු දහමට නොව බුද්ධාගමට මෙම සංසාර චක‍්‍රය, සංසාර සාගරය ලෙස රිංගවා ඇත. එනිසා එකල බමුණු තවුසන් කළේ උපතත් මරණයත් සමග දිගින් දිගටම බැඳුන තම පුද්ගල ආත්මය ගලවා ගැනීමට මංපෙත් සෙවීමය. ඔවුහු ඒ සඳහා යාග හෝම, සත්ව බිලි පූජා සහ දුෂ්කර ක‍්‍රියා දිගින් දිගටම පැවැත්වූහ. මේවා පුහු ප‍්‍රයත්නයන් බව ස්වාධීන චින්තනයෙන් පිරිපුන් සිදුහත් කුමරු මුල සිටම දැන සිටි බැවින් ඒවා ප‍්‍රතික්ෂේප කළේය. පසු පසින් පන්නමින් උපදින සහ මැරෙණ ආත්මයක් මුල් කරගෙන ඉන් ගැලවීමට නොපෙනෙන දෙවිවරුන් උදෙසා පවත්වන යාගහෝම, බලි බිලී පුද පූජා නිරර්ථක ව්‍යායාම බව සිදුහත් වටහා ගත්තේ අසිත තවුසාණන්ගෙන් ශාස්ත‍්‍ර හදාරණ කාලයේ පටන්මය. එකලද කුමරු නිදහස් නිවහල් චින්තනයෙන් පිරිපුන්ව සිටියේය. එනිසා ගතානුගතිකව බමුණු සමාජයේ සම්මත ඇදහිලි, පුද පූජා, චාරිත‍්‍ර වාරිත‍්‍ර එලෙසින්ම පිළිගන්න කුමරා මැලිවිය. එතුමා ක‍්‍රියා කළේ තමන්ගේ ආත්මයක් ගලවා ගැනීමට නොව පොදු ජනතාව මේ ජීවිතයේ විඳින දුකින් මුදවාගන්නේ කෙසේද යන අරමුණින්ය. 

මිනිසා මුහුණපාන දුක් පීඩා වලින් විමුක්තිය සෙවිය යුත්තේ් එක් එක් පුද්ගලයා අරභයා නොව මුළු මහත් මනුෂ්‍ය සංහතියම එල්ල කරගෙනය. ඒ වෙනුවෙන් නියම මාර්ගය සොයා යාමට සිදුහත් කුමරා දැන් සූදානම්ය. ගතානුගතික මනුෂ්‍ය චින්තනය වෙනස් කළ යුතු අතරම ඔවුන්ට සත්‍යය කුමක්දැයි පහදා දිය යුතුය. වෛදික, බ‍්‍රාහ්මණ, ආරණ්‍යක සහ අවසාන වේදාන්ත ලෙස බිහි වූ උපනිෂද් වලින් වුව ද බ‍්‍රාහ්මණ පූජකයින් තැත් කළේ දෙවියන් උදෙසා පවත්වන යාග හෝම පුද පූජා මතින් මිස වෙනත් ක‍්‍රමයකින් විමුක්තිය කරා යා නොහැකි බවය. එයද තම තමන්ගේ පුද්ගල ආත්ම විමුක්තියක් උදෙසාය. සතුන් බිලිදීම පමණක් නොව ඇතැම්විට පුරුෂ මේධ යාගය ඔස්සේ නර බිලි දීම ද සිදුවිය. මේ යාග හෝම, බලි බිලි පුද පූජා නිරර්ථක වූවා පමණක් නොව ඒවා බමුණන් විසින් සමාජය පුරා තම ආධිපත්‍ය පතුරුවා රැක ගැනීම සඳහා උපයෝගී කරගන්නා ලද සූක්ෂම මාර්ග බව සිදුහත් කුමරු වටහා ගෙන තිබුනි. මේවා ගැන සාකච්ඡුා කිරීමට මුල දී සිටියේ සමීප මිතුරන් අතළොස්සක් පමණි. පසුව ඒ අතරට බිම්බා දේවියද සහභාගී වූවාය. තම ස්වාමියාණන් තුළ උපන් කලකිරීම ඇය මෙතරම් හොඳින් දැන සිටියේ එබැවිනි. 

පසු කලෙක සුදොවුන් මහරජු සහ ප‍්‍රජාපතී ගෝතමී දේවිය බිමිබාවන්ට දොස් පැවරුවේ ගිහිගෙය හැර යන්න සිදුහත්ට අනුබල දුන් බව පවසමිනි. එකල යුවරජු වූ සිදුහත් කුමරුගේ රාජ්‍ය පද ප‍්‍රාප්තිය අපෙක්ෂාවෙන් සිටි රජ සභාවේ ජ්‍යේෂ්ඨයෝද එසේ සිතූහ. එය තරමක් දුරට නිවැරදිය. බිම්බා දේවිය තම ආත්මාර්ථය උදෙසා සිදුහත් කුමරුගේ පරාර්ථකාමී අදහස්, උදහස් දැන දැනම ඊට විරුද්ධ වූවා නම් එය වැරදිය. බිම්බාවන් කළේ නිවැරදි දේය. බොධිසත්ව උතුමෙකුට අවශ්‍ය වන්නේ එවැනි ඇඹෙනියක් මිස ඇස අඳුන් ගල්වා, වත් සුනු තවරා, අතුල් පතුල් ලතු ආලේප කර, ස්වර්ණාභරණ පොරවා ගත්, ලාලාසාවන්ගෙන් පිරි මෙහෙසියක නොවේ. සදය හදින් හා පුබුදු කයින් යුතුව ජීවත්විය යුතු වටපිටාවක් ඉතින් නම් ආධ්‍යාත්මික අංශයෙන් මිස  ලෝකායත්ත වශයෙන් නම් නැවත ඇතිවිය නොහැකි බව බිම්බා දේවිය පසක් කරගෙන සිටියා වැන්න. සිදුහත් කුමරුගේ කලකිරීම දුරුවන්නේ එයට හේතු වූ සත්‍යය සොයාගෙනම මිස, නොඑසේව ආපසු හැරෙන ගමනකින් නොවන බව බිම්බා දේවිය පෙර සිටම අවබෝධ කරගෙන සිටියාය. සිදුහත් හැරුණ විට ඔහුගේ කලකිරීම ඔහු තරමටම දැන සිටි එකම ජීවියා ඇය පමණි.

සිදුහත් කුමරු අභිනිෂ්ක‍්‍රමණය කරන්නේ නොසිතූ විරූලෙස නොසිතූවිරූ වේලාවකය. රාහුල කුමරුවාණන් ඉපදීම නිසා මුළු නුවරම සතුටින් ඇලලී සිටි මොහොතක මෙවැනි තීරණයක් ගැනීම අනුවණ බව පිය මහරජු සිදුහත් වෙත දැන්වූයේ තම නොමනාපයද පළ කරමිනි.

‘‘අපගේ චිරාගත සම්ප‍්‍රදාය අනුව ගිහිගෙයින් නික්මී වානප‍්‍රස්ත වන්නේ මැදිවිය පසු කළාමයි. ඔබ තවම එකුන් තිස් වියේ තරුණයෙක්. රාහුල පුත් කුමරා ‘ලොකුමහත්’ වන තුරු ඔබගෙන් ඉටුවිය යුතු රාජකීය කර්තව්‍යයන් බොහොමයි. ඇයි මේ කලබලය?’’ 

‘‘පිය තුමනි, මා නික්මෙන්නේ චිරාගත වානප‍්‍රස්ත වීමේ සමාජ ආකෘතිය ඔස්සේ නොවේ. මේ කිඹුල්වත් පුර ජනයාට පමණක් නොව මුළු දඹදිව් තලයේ මනුෂ්‍ය සංහතියට වගේම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සෙතක් සැලසෙන මගක් සොයන්නයි, මගේ උත්සාහය. එය යා යුතුම ගමනක්. මට එය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙනව. එය නොකොළොත් මා දැඩි ආත්මාර්ථකාමියෙකු වනවා සිකුරුයි. මේ ගැන මා බිම්බාවන් සමග ද කතා කළා. මගේ අරමුණ ඇය වටහා ගත්තා’’.

‘‘පුත, ඔබ අප ගැනවත් රාහුල පුතණුවන් ගැනවත් මොහොතකට හෝ සිතුවාද? අප සැම මෙවේලේ අසරණ නොකරන්න’’. සුදොවුන් මහරජ අතිශය ශෝකයෙන් පැවසීය. 

‘‘යා යුතුම නම් රාහුල දුවපැන ඇවිදින තුරුවත් රැඳෙන්න’’

‘‘පියාණන් වහන්ස, මේ තීරණය ගත්තේ බොහෝ සේ සිතා බැලීමෙන් අනතුරුවයි. මා ගත් තීරණයෙන් යහපතක් වෙනවා මයි. ඒ ශාක්‍යයන්ට පමණක් නොව සියලූ මනුෂ්‍යය සංහතියේ ආධ්‍යාත්මික උන්නතිය වෙනුවෙන්ම ගත් තීරණයක්. මට බාධා නොකරන්න. ඔබේ අමනාපය නොව මෙවෙලේ අවශ්‍ය වන්නේ ම පුතූ ‘ලොකුමහත්’ වන තුරු මගේ රාජකාරි ඔබ වෙතම තබා ගැනීමයි’’.

සුදොවුන් මහ රජු කිසිවක්ම නොපවසා පිට වී ගියේය. මුළු මාළිගයම නිහඬය. කිසිවෙක් හඬනගා කතා කිරීමක් පවා නැත. සේවක සේවිකාවෝ පවා අණ කිරීමක් නොලබන නිසා ඒ ඒ තැන්වල මුලූගැන්වී සිටියහ. මෙවන් පාලූව රජයන වාතාවරණයක් මේ මාළිගයේ කිසිදා තිබී නැත. බිම්බා දේවිය ළදරු කුමරා සමග සයනාගාරයේය. සිදුහත් කුමරු කොයි මොහොතේ හෝ නික්මෙන වග බිමිබා දේවිය දනී. ඒ මොහොත නොකියාම නික්මෙන ලෙස ඇයගේ පැතුම විය. අභිනිෂ්ක‍්‍රමණය කිසි සේත්ම බලා සිටිය නොහැකි, දරා සිටිය නොහැකි බව ඇය මුල සිටම දැන සිටියාය. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. 

රජ සැප හැර දමා මාළිගයෙන් නික්මෙන මේ මොහොතේ කන්ථක අසුගේ හේෂාරවය ස්ථාලය දෙසින් ඇසින. වනාන්තරය දක්වා යන දුර කන්ථක අසු පිටින් යාමට සිදුහත් කැමති විය. ඡුන්න ඇමති ඒ සඳහා සූදානම්ය.  සිදුහත් සිය කුටියට වැදී පුතු තුරුලූ කරගෙන නිදන බිමිබාවන් දෙස මඳ වේලාවක් බලා සිට ආපසු හැරුණේය. අභිනිෂ්ක‍්‍රමණය සියැසින් දැක බලා සිටීම අසීරු නිසා තමන්ට නොදන්වාම නික්මෙන ලෙස බිමිබා දේවිය කලින්ම අයැද සිටියාවත්ද? තම අභිනිෂ්ක‍්‍රමණ අවස්ථාවේ දී බිම්බා දේවිය ගැන සඳහන් නොවන්නේ එබැවින් විය යුතුනොවේද? තමා කෙස් රවුළු බා කහ සිවුරු හැඳ ගිහි ගෙයින් නික්මෙන මේ මොහොත සැම දෙනාටම ඉතාමත් සංවේග ජනක බව කුමරුන්ට වැටහුනි. හඬා වැටෙන සුදොවුන් පිය රජු සහ සුළු මව ගෝතමිය ඇතුළු නෑදෑ හිත මිත‍්‍රාදීන් දෙස බැලූ සිදුහත් මේ නිෂ්ක‍්‍රමණය ඉවසා දරා සිටියේ දැඩි අධිෂ්ඨානයෙනි. 

හිරු බැස යාමට ප‍්‍රථම සැන්දෑ මානයේ ගමන ප‍්‍රිය කළ සිදුහත් තෙමේ ඡුන්න සමග කන්ථක අසු අරා පැමිණියේ සුන්දර අනෝම ගංගා තීරය වෙතටය. එකිනෙක පැටලූනු ලතා මඬුලූ තුරු හිස් වසාගෙන ඇත. නිසසල වනය ශාන්තය. සුදු වැලි තලාව මතින් සෙමෙන් ඇදීයන ගංගාවේ ජල තරංග හඬ ඇසෙන නෑසෙන තරම්ය. කැදලි කරා පියාඹන සියොත් සමූහයාගේ සිහින් කූජනය පමණකි දැන් ඇසෙන්නේ. කුමරුගේ සිත තුළ යම් කාන්සියක් ඇතිවූවා නම් එය පළවා හැරීමට පරිසරය අපූරු ලෙස දායක විය. එතනින් එහා පැමිණීම අනවශ්‍ය බව ඡුන්නට දැන් වූ සිදුහත් තවුසාණෝ මාලිගයෙන් පිට වෙද්දී පොරවාගෙන ආ කසාවත් සිවුර පමණක් දරා ගඟින් එතෙරට යන්නට සූදානම් විය. මහත් වූ ශෝකයෙන් ඡුන්න වැඳ වැටුනේය. කන්ථක අසු දෙපා සිඹින්නාක් සේ ලෙන්ගතුව දෙපා ලෙව කෑවේය. සිදුහත් තවුසාණෝ සිත දැඩිකරගෙන තම ඉදිරි ගමන ඇරඹූහ.

තමන් බුද්ධත්වයට පත් වූ පසු මේ වෙන්වීමේ අත්දැකීම බුදුන් වහන්සේ එක් වරක් දෙවරක් නොව කිහිප වාරයක්ම ධර්ම ශ‍්‍රවණයට පැමිණියවුන්ට දේශනා කළහ. එය තම සිත්හි  තදින් කාවැදී තිබුන නිසා වරින්වර මතක්වූවා විය හැකිය. වරක් විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරන අතර ‘අග්ගිවෙස්සන සච්චක’ ජෛන පඬිතුමා අමතා බුදුන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළහ.

‘‘අග්ගිවෙස්සනය, …බුදු නොවූ බෝසත් වූ මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් රජස් උපදින මාර්ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලූ ආකාරයෙන් පිරිසිදු වූ සියලූ ආකාරයෙන් සම්පූර්ණවූ ලියවන ලද සකක් බඳු වූ මේ බ‍්‍රහ්ම චර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකෙස් දැළි රැවුලූ කපා හැර, කසා වත් හැඳ, ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි සිතුවෙමි. අග්ගිවෙස්සනය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කළු වූ හිස කෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමැති වූ මවු පියන් අඬද්දී, හිස කෙස් දැළි රැවුල් කපා හැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි’’.

(උපුටා ගැනීමථමහා සච්චක සූත‍්‍රය, මජ්ඣිම නිකාය 2, පිටුව 540 ආචාර්ය ඒ.පී.ද සොයිසා පරිවර්තනය)

බුදුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක් අවස්ථාවක භික්ෂූන් අරභයා තමන් වහන්සේ පිළිබඳ ආර්ය තොරතුරු දැක්වෙන අරියපරියේසන සූත‍්‍රය දේශනා කළ සේක. එහිදීද තම ගිහිගෙය හැරයාම පිළිබඳව භික්ෂූන්ට මෙසේ දේශනා කළහ.

‘‘මහණෙනි, ඒ මම තරුණවූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයසවූ සොඳුරු යොව්නෙන් යුක්ත වූයෙම්, නොකැමැතිවූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී, කෙස් රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම … ආළාර කාලාම කරා පැමිණියෙමි’’

(උපුටා ගැනීමථ අරියපරියේසන සූත‍්‍රය, බුද්ධජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මාලා පිටුව 401 මජ්ඣිම නිකාය 1 (බෝධි රාජ, චංකී, සංගාරව, සෝණ දණ්ඩ සහ කූඨදන්ත ආදී සූත‍්‍ර වලද මෙවැනිම විස්තර ඇත.))

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත