ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා අප සිහල දීපයේ මානව වර්ගයා (Homo sapiens) විසූ බවට සාධක ලැබී ඇත. වර්තමානයට පෙර (Before Present) වර්ෂ 125,000 තරම් ඈත යුගයකට අයත් ලෙස තහවුරු කළ හැකි ආදිම මානවයා හමුවන්නේ බූන්දල පතිරාජවෙල, වැලියන්ගොඩ සහ මිනිහාගල් කන්ද ආශ්‍රිතව කළ කැනීම් තුළිනි. (වර්තමානය යනු 1950 ජනවාරි 01 දා ලෙස සැලකේ). මෙහිදී එම මානවයා පරිහරණය කළ මෙවලම් සහ ඔවුන්ගේ යැයි සැලකෙන ඇටකටු ආදිය සොයා ගැනින. මේවා පුරා ශිලා (Paliolithic era) යුගයට අයත් වේ. එහිදී මෙම ජනයාගේ ඇදහිලි පිළිබඳව තහවුරු කළ හැකි සාධක විරල වූ බව සඳහන් කළ යුතුය.
බුලත්සිංහල ආශ්‍රිත පාහියන්ගල ලෙනෙහි ද ක්‍රි.පූ. 33,000 සිට 2,500 දක්වා කාල පරාසයට අයත් වන ප්‍රාග් ඓතිහාසික හෝමෝ සාපියන් ඇටසැකිලි කිහිපයක්ම කැනීම් වලදී සොයා ගැනින. ඊට අමතරව කාබන් 14 නීර්ණයේ දී ක්‍රි.පූ. 28,500 පමණ අයත් ලෙස සැලකෙන කුරුවිට බටදොඹලෙන, ක්‍රි.පූ. 11,000 ට පමණ අයත් යැයි තහවුරු වූ කිතුල්ගල බෙලිලෙන, ක්‍රි.පූ. 4,500ට කාල නියමය කළ බලන්ගොඩ බෙල්ලන්බැඳි පැලැස්ස ආදී ප්‍රාග් ඓතිහාසීය ලෙන් වල ඒ ඒ යුගවලට අදාලව නවීන මානව වර්ගයා (Homo sapiens) විසූ බවට තහවුරු කළ සාධක ලැබී තිබේ. මෙය ප්‍රාග් ඓතිහාසික මානව දාමයක් සේ සඳහන් කළ හැකිය. මානවයා යම් තැනකද, එතැන භය, සංත්‍රාසය, අපේක්ෂා සහ ප්‍රාර්ථනාවන් නොවැරදීම පවත්නා නිසා ඇදහිලි නොතිබුනා යැයි සඳහන් කළ නොහැක. එහෙත් ඒවා ගැන පුළුල් අධ්‍යයනයක යෙදීමට තරම් සාධක හමු නොවේ. වැදි ජනයා මෙම මානව දාමයේම කොටසක් වශයෙන් පුරාවිද්‍යාඥ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හඳුන්වා දෙයි. එය එසේ නම් වැදිජනයා මහත් භක්තියෙන් නෑ යකුන් ඇදහූ බව අපට අමතක කළ නොහැකිය. මළගිය ඤාතියා නෑ යකුන් හෙවත් හැදයා නමින් හැඳින්වෙයි. තමන් ගේ දෛනික කටයුතු කෙරෙහි නෑ යකුන් බලපානා බව ඔවුහු අදහති.
ක්‍රි.ව. 4 වන සියවසේ ලියැවුන දීපවංශයේත්, ක්‍රි.ව. 5 වන සියවසේදී පාලි භාෂාවට පරිවර්තනය කළ මහාවංශයේත් ඉපැරණි ලංකාවේ විසූ ගෝත්‍ර හතරක ජනයා පිළිබඳව සඳහන් වේ. යක්ෂ, රාක්ෂ, නාග සහ දේව යන නාමයන්ගෙන් ඔවුන්ව හඳුන්වා ඇත. මේ ගෝත්‍රික ජනයා මෙරට ආදිම වාසී කොටසක් වූ සිව් හෙලයන් ලෙස විශ්වාස කරති.
විජය කුමරු වෘතාන්තයේ ද යක්ඛ නායිකාවක්වන කුවේණිය ගැන සඳහන් වේ. ආර්යයෙකු වූ විජය යක්ඛ ගෝත්‍රික කුවේණිය හා පෑහීමෙන් දරුවන් දෙදෙනෙකු පවා ලැබුවේය. උතුරේ නාගදීපය සහ බස්නාහිර කැළණියේ නාග ගොත්‍රිකයන් බලවත්ව සිටිය ද ලක්දිව සෙසු පළාත්වල යක්ඛයින්ගේ බලය ශක්තිමත්ව පැවතුන බව දැක්විය හැකිය. වර්තමානයේ ද යක්ඛ ඇදහිල්ල සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත. බලි තොවිල්, යාතු කර්ම, දොළ පිදේනි ආදිය තම ආරක්ෂාව පිණිස යකුන් වෙනුවෙන් පුද දෙති. ලෙඩ රෝග, මානසික අවපාත ආදිය යක්ෂ හෝ ප්‍රේත බැල්ම නිසා හටගන්නවා යැයි පිළිගන්නා නාගරික ජනතාව අද ද සිටිති. නොඑසේ නම් කෙසෙල් කඳන්, එක නැට්ටෙ දෙහි, හොඬල අල, ගොක් අතු ආදිය විකුණන තොවිල් බඩු සපයන වෙළඳ හල් මහරගම, නුගේගොඩ වැනි නාගරික ජන සමූහ මධ්‍යයේ පැවතිය නොහැක. යාතුකර්ම වලින් සුවයක් ලැබුවේ නම් ඒ මනෝ මූලික රෝග සඳහා මෙය අවිධිමත් මනෝ චිකිත්සක ප්‍රතිකාරයක් වූ නිසා විය හැකිය. පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූර්ව 437-367) චිත්තරාජ සහ කාළවේල යක්ෂ නායකයින් දෙදෙනා පිළිවෙලින් අභය වැවේ පහළ කෙළවරෙහිද, නගරයේ නැගෙනහිර දිසාවෙහි ද පදිංචි කරවූ බවත්, ඔවුන් උදෙසා යාග පූජා පැවැත්වූ බවත් මහාපංශයෙහි සඳහන් වෙයි.
යක්ඛ ගෝත්‍රිකයන් යක්ෂයින්ද, නාග ගෝත්‍රිකයන් නාගයින්ද වන්දනාමාන කරමින් ඇදහූ බවට වංශකතා සහ ජනප්‍රවාද අනුව නිගමනයකට පැමිණිය හැකිය. අනුරාධපුර මුල් යුගයේ බොහෝ ආරාමික නටබුන්වල නාගයන්ට වැදගත් තැනක් හිමි වී තිබූ බව පැහැදිළිය. ක්‍රි.පූ. දෙවැනි සියවසට පෙර දී ඉදිකළ මිහින්තලේ කණ්ඨක චේතියේ නාග රූප ප්‍රමුඛස්ථනයේ ලා පැහැදිළිව දක්වා ඇත. ඒ අනුව බුදු දහම හඳුන්වා දීමෙන් පසුව වුවද මේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි ප්‍රචලිතව තිබූ බව සිතා ගත හැක. එසේම කණ්ඨක චෛත්‍යයේ එක් වාහල්කඩක ගණදෙවිඳුන්ට පූජා වට්ටි පිරිනමන කාන්තා රූප නෙලා තිබේ. එසේම පණ්ඩුවාසුදේව, පණ්ඩු, ගිරිකණ්ඩශිව, මුටසිව, මහාසිව, තනසිව ආදී මුල්ම යුගයේ රාජකීයයන්ගේ පුද්ගල නාමයන්ගෙන් පැහැදිළි වන්නේ යම් තරමකට වෛදික ධර්මය ද පැතිර තිබූ බවය.
ප්‍රාග් බෞද්ධ නාග වන්දනාව අද දක්නට නැතත්, තවමත් සිංහල ගැමි ජනයා නාගයා ගෞරවයෙන් සලකයි. මාරාන්තික විෂ සහිත නාගයා මරා දැමීමට ඉදිරිපත් වන්නෝ විරලය.
මෙරට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් හා භක්තියෙන් අද දිනයේ ද වඳින පුදන ඉපැරණි පූජනීය කෝවිලක්වන නාගදීපයේ ‘නාගපූෂානි අම්මාන්’ හි අතිපරිශුද්ධ ගර්භය (sanctum sanctorum) මෙන් සිතාගත හැකිය.
දේව ගණයට අයත් වූයේ දේශීය ජනයා ම වූහ. ප්‍රාග් බෞද්ධ යුගයේ සමන්තකූඨ පර්වත අඩවියට අධිපතිව සිටි සුමන සමන් දෙවි දැනුදු එහි වැඩ සිටින බව ශ්‍රී පා වන්දනාවේ යන බැතිමත්හු සැක සංකා නොමැතිව පිළිගනිති. එතුමන් වෙත බාරහාර වෙති. දෙවුන්දර දේවාලයේ උපුල්වණ් දෙවියන්ද තවමත් ජනතා සිත් තුළ වැඩ සිටිති. වෙනසකට ඇත්තේ එතුමා දැනට විෂ්ණු දෙවිඳුන් වෙනුවෙන් ද පෙනී සිටීමයි. රුහුණේ කාචරග්‍රාමයේ සිටි මහසෙන් දෙවි කතරගම දෙවි වූයේ වැඩසිටි ග්‍රාමයේ නාමය නිසාවෙනි. එහෙත් පසුකාලීනව ද්‍රවිඩ ජනයාගේ බලපෑම නිසා දැන් එතුමා ද්‍රවිඩයන්ට මුරුගා නමි.
මිහිඳු මා හිමි ක්‍රි.පූ. 247 දී බුදුදහම හඳුන්වා දුන්නත් මෙරට ජනයා මේ නව දහම වැළඳ ගත්තේ තමන් මුල සිටම ඇදහූ පැරණි ආගම් අමතකකර නොවේ. පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ (ක්‍රි.පූර්ව 437-367) මෙරට සාමාන්‍ය ජනයා පමණක් නොව රජ මැතිඳුන් පවා ගස් වලට වන්දනාමාන කිරීම මහ ඉහළින් කර තිබූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. ‘වෙස්සවන’ යක්ෂ නායකයා සඳහා ඔහු විසූ නුග ගහ ආශ්‍රය කරගෙන පණ්ඩුකාභය රාජ මාලිගා පරිශ්‍රයේම විමානය තනා දුන් බව වංශකතාවල දැක්වේ. ලෙඩ රෝග න් හෙවත් ව්‍යාධීන් ඇතිකරන ‘ව්‍යාධදේව’ යක්ෂ සේනාපති සඳහා ඔහු අරක්ගෙන සිටි තල් ගස ආශ්‍රය කරගෙන ද විමානයක් තනාතිබුනි. මේ කාරනා දෙකම සිදුකළේ පණ්ඩුකාභය රජතුමා විසිනැයි මහාවංශයේ දැක්වේ. බුදු දහම හඳුන්වා දී නොතිබුන මුල් යුගයේ ජනයා පිහිට පතා මේ යක්ඛ නායකයින් දෙපළ වෙත ගියහ. ඔවුන්ගේ අභාවයෙන් පසු ඒ දෙදෙනා ආත්මීය ලෙස වෙසෙනවා යැයි සැලකූ මහා වෘක්ෂ දෙකට වන්දනාමාන කිරීමට පටන්ගත් අතර පෙර සේම ලෙඩ රෝග වලින් ගැලවෙන්න තල් ගහටත් අනිත් අපල උපද්‍රව කරදර භාධක සතුරු උවදුරු ස්වභාවික විපත් වලින් වැලකෙන්න නුග ගහටත් පුද පූජා පවත්වා වැඳ වැටුනහ. බාරහාර වූහ. ප්‍රාර්ථනාවන් කළාහ.
මිහිඳු මා හිමි විසින් බුදු දහම හඳුන්වා දීමෙන් පසු මේ ගස් ඇදහීමේ ලබ්ධිය වෙනස් කිරීම සඳහා දඹදිවින් බුදුන් වහන්සේට බුදු වීමට සෙවන දුන් බෝධිවෘක්ෂයේ ශාඛාවක් ගෙන්වීමට මිහිඳු හිමි උත්සුක වූ බව සඳහන් කළ යුතුය. අශෝක අධිරජු ධර්ම දූතයන් යැවූ වෙනත් කිසිම රටකට බෝධි ශාඛා යැව්වෙ නැති බව අමතක නොකළ යුතුය. නමුත් ලංකාවේදී ඇත්තටම සිදුවූයේ නුග ගස් සහ තල් ගස් වන්දනාව බෝධි වෘක්ෂය වෙතට මාරු වුවද අර පැරණි ලබ්ධිය එහෙම නැත්නම් ඇදහිල්ල මාරු නොවීමයි. අදටත් සැදැහැතියෝ බෝධි පූජා පවත්වන්නේ බුදු හාමුදුරුවන් කෙරෙහි ගෞරව කරුණාවට වඩා තම තමන්ගේ කරදර, උවදුරු, ලෙඩ රෝග, ග්‍රහ අපල ග්‍රහදෝෂ, තමන්ගේ තනතුරුවල උසස් වීම් මේ ආදී දහසක් අතිශය පෞද්ගලික උවමනා එපාකම් බලාපොරොත්තු ඉටුකරවා ගැනීමට බව නොරහසකි. ඒ අර පැරණි වෘක්ෂ ඇදහිල්ල තවමත් ජානවල පවතින නිසාවෙනි. එය බුදු දහම නම් නොවෙයි.
මේ බෝධි වන්දනාව සාධාරණීකරනය කිරීම සඳහා ආනන්ද බෝධි රෝපණයක් ගැන සඳහන් කරති. බුදුන් වහන්සේ ජීවමාන කල වැඳුම් පිදුම් කළා යයි පැවසෙන ඒ ආනන්ද බෝධිය ගැන සූත්‍රපිටකයේ කොතැනකවත් සඳහන්ව නැත. එය මුල්වරට සඳහන් වන්නේ මෙරට කාලිංග බෝධි ජාතක ගාථා වලත් නොව ඊටත් පසු කලක මෙරට දී ලියන ලද කාලිංග බෝධි අට්ඨ කතාවේ බව මෙහිදී සිහිපත් කළ යුතුය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව පන් සාලිස් වසක්ම ධර්මය දේශනා කළත් කිසිම අවස්ථාවක තමන් බුද්ධත්වයට පත් වූ වෘක්ෂ මූලයක් ගැන සඳහන් කර නොමැත. බෝධි වෘක්ෂය වන්දනා මාන කිරීම ඇරඹුණේ ක්‍රි.පූ. 3වන සියවසේ දී ඉන්දියාවේ අශෝක අධිරජුගේ සමයේ දී බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.
මෙරටට බුදු දහම හඳුන්වා දීමට පෙර පැවති යක්ෂ සහ දේව ඇදහිල්ලද බුදුදහම වැළඳ ගත්තේ වුවද ජනතා සිත්වලින් මැකී ගියේ නැත. සුමන, විභීෂණ, උපුල්වන්, කතරගම වැනි දෙවිවරුනුත් වෙසමුනි, සාතාගිරි වැනි යක්ෂයනුත් මෙරට ‘බුද්ධාගම’ තුළ දැනුදු හොඳ තැනක් ලබා ඇත. (උපුල්වන් දෙවියො නීල වර්ණ නිසා විෂ්ණු දෙවියන්ට මාරු කර හින්දු ආගම තුළ සිටියදී ම බුද්ධාගමට ඈඳාගත්බව වැටහේ. කතරගම දෙවියොත් එහෙමයි. මුල් කාලයේදී මහසෙන් නමින් දේශීය දෙවියෙක්ව කාචරගාමයේ වැඩසිටි මෙතුමා ද්‍රවිඩ සහ දකුණු ඉන්දීය වන්දනා කරුවන් මැදිහත් වී මුරුගන් නමින් දකුණු ඉන්දීය දෙවියෙකු බවට පත් කළහ).
බුදු දහම හඳුන්වා දෙන කාලය වනවිට පර්ජන්‍ය එනම් වර්ෂාවට අධිපති දෙවියන් වන්දනාව ද ප්‍රචලිතව තිබින. අද අපි ඉසුරුමුණිය යැයි හඳුන්වන විහාරය මේඝගිරි නමින් එකල හැඳින්වින. ශිලා ලිපි අනුව තහවුරු වන්නේ නියම ඉසුරුමුණිය නම් අද වෙස්සගිරි ආරාම සංකීර්ණය බවයි. ප්‍රාග් බෞද්ධ යුගයේ මේඝගිරිය අග්නි සහ පර්ජන්‍ය වන්දනාවට යොමු වූ ස්ථානයක් බවට මතයක් පවතී. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පවසන්නේ විහාර සංකෘර්ණයේ පැරණි පිළිම ගෙය පසෙකින් ඇති මහ ගලේ නෙලා ඇති අශ්ව හිස සහ ප්‍රතාපවත් මනුෂ්‍ය කැටයමින් නිරූපණය වන්නේ පිළිවෙලින් අග්නි සහ පර්ජන්‍ය බවයි. එසේ ම දේවානම්පිය තිස්ස රජු මුව දඩයමේ යෙදුනේත් පර්ජන්‍ය වන්දනාවේ අංගයක් වශයෙන් යැයි ද මතයක් පවතී.
මේ පැරණි ප්‍රාග් බෞද්ධ ඇදහිල්ල අදටත් බුද්ධාගම තුළ පවතිනවා යැයි පැවසුවහොත් ඔබ පුදුම වන්නේද? රාජ්‍ය පාලකයින් පවා දැනුදු වැහි පිරිතක් සජ්ඣායනය සඳහා රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ නිර්මල බුදු දහම පිළිබඳ නිසි හැඟීමක් නොමැති බැවිනි.
සුභුතොච මහාථෙරො, මහාකායො මහොදරො,
නීලවණ්ණො මහා තෙජො, පවස්සන්තු වලාහකා
අභිත්‍ථනය පජ්ජුන්න, නිධිං කාකස්ස නාසය,
කාතං සොකාය රන්ධෙහි, මං ච සොකා පමොචය,
එතෙන සච්චවජ්ඡෙන, සම්මා දෙවො පවස්සතු
බුදුන් වහන්සේ නොවදාළ වැහි පිරිත ඉහතින් දැක්වේ.