මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ නියුතුව සිටියදී මවිසින් “රූපණ” නමින් වැඩසටහනක් සඳහා යෝජනා ඉදිරිපත් කළෙමි. එම වැඩසටහන නව අධ්‍යාපන සේවයේ නිර්මාතෘ තිලක් ජයරත්න විසින් සම්පාදනය කරණු ලැබීය. එම වැඩසටහනට මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න, මහාචාර්ය නලින් ද සිල්වා, මහචාර්ය සුචරිත ගම්ලත්, මහචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, මහාචාර්ය තිස්ස කාරියවසම්, සුගතපාල ද සිල්වා, කරුණාරත්න අමරසිංහ සමග ධම්ම ජාගොඩ සම්බන්ධ වූ අය අතරින් කිහිප පලකි. ධම්ම, ස්වාධීන මතධාරියකු ලෙස එක් වූ ජනප්‍රිය වැඩසටහනකි රූපණ. එවකට ධම්ම සේවය කළේ විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානයේ නාට්‍ය හා රංග කලා කමිටුවේ ප්‍රධානියා වශයෙනි. කවුද මේ “ධම්ම”?
ධම්ම යනුවෙන් අප ආදරයට ඇමතුව ද ඔහු ධම්මපාල කළහේ ජාගොඩ ලෙස උපන්නේ 1941 ජනවාරි මස 28 වන දා හික්කඩුවේ දීය. ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අකුරු කළ ධම්ම, කොළඹ නාලන්දා විද්‍යාලයේ ද උගත්තේය. අවුරුදු 47ක් ව සිටියදී, 1988 ජාතික නිදහස් දවසේ අප අතරින් සදහටම වියෝ වූ ධම්ම ජාගොඩ, ආලෝචනා මගින් කතා කළ යුත්තේ අංශ කිහිපයක් පිළිබඳ නිපුනයෙකු වීම නිසාය.
නිදහස් වාම අදහස් දැරුවකු ලෙස අප කා අතරත් නමක් දිනා ගත් ධම්ම, සිංහල වේදිකාව, සිනමාව, ටෙලිවිෂනය, විෂය මාලා උපදේශකයකු මෙන්ම රංග කලාව පිළිබඳව ශිෂ්‍ය පරම්පරාවක් මෙරටට දායක කළ අයෙකුයි. ලොව නන් දෙස සැරි සරා කුසලතා හා අත්දැකීම් රාශියක් ලබා ඇති හෙතෙම, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සෙවණේ සිටියේය. වරප්‍රසාද ලත් පිරිසකට පමණක් සීමා වූ ලයනල් වෙන්ඩ් රංග ශාලාව ප්‍රයෝජනයට ගනිමින් නව පරපුරේ රංගන ශිල්පීන් පිරිසක් හදා ගත්තේය. ඒ මුල්ම කණ්ඩායමේ සිටි අය අතර රවීන්ද්‍ර රණ්දෙනිය, තිලක් ගුණවර්ධන, ප්‍රේමතිලක පේරුකන්ද, සහ පසු කලෙක ටෙලි නාට්‍ය කලාවේ පෙර ගමන්කරුවකු වූ නාලන් මෙන්ඩිස් ද සිටියේය. සුප්පා දේවී නම් වු මාලනී රණසිංහ, 2019 ජූලි 11 වන දා ජන ගත කළ “සුප්පා දේවී කතා වස්තුවේ” ධම්ම ගැන මෙසේ සඳහනක් කරයි.
“1974 වර්ෂයේදී මහචාර්ය සරත්චන්ද්‍රයන් ප්‍රංශයේ තානාපති පදවියෙන් පුදනු ලැබ සිය පවුල සමගම ප්‍රංශය බලා පිටත් වූහ. එතුමා 1977 නැවත ලංකාවට එන තුරු නාට්‍ය සංවිධානය හා එහි වගකීම භාර කෙරුණේ ඒ වන විටත් අති දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙකු ද නාට්‍ය අධ්‍යාක්ෂක වරයකු හා සිනමා නලුවෙකු ලෙස කීර්ති නාමය දිනා සිටි කලාකරුවෙකු හටය. ඒ ධම්ම ජාගොඩයි. ධම්මට මහාචාර්ය තුමා සමග කිට්ටු ඥාති සම්බන්ධතාවක් ගොඩ නැගී තිබුණ ද ඔහුට නාට්‍ය භාර දෙනු ලැබුවේ ඥාති කම නිසා ම නොව ඉහත මා දැක්වූ කලා කුසලතාවන්හි තිබූ නිපුනත්වය හේතුවෙනි.”
(සුප්පා දේවිය කතා වස්තුවේ 85 වන පිටුව)
මිනිසා ප්‍රාර්ථනා කරන සැපය හා ප්‍රීතිය එක් එක් ජීවිතයෙන් ජීවිතයට, පරිසරයෙන් පරිසරයට වෙනස් වන දෙයක්ය යන්න මූර්තිමත් කෙරෙන අදහසක් ඇති “වෙස්මුහුණු” නාට්‍ය, 1966 වර්ෂයේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ ධම්ම ගේ කුළුඳුල් නිර්මාණයයි. එහිදී තරඟකාරී අංශයෙන් හොඳම නළුවා (ධම්ම ජාගොඩ) හොදම නිළිය (සුනේත්‍රා ජාගොඩ) රෝමා ද සිල්වා, කුසලතා සහතියක් ලබා ගත් අතර එම නාට්‍ය රචනා කර තිබුෙණ් ධම්මය. එසේම එම නාට්‍යයේ සම නිෂ්පාදකයා වූයේ ධම්මය. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය කිහිපයක් ම සඳහා ධම්ම දායක විය. 1971 “මළවුන් නැගීටියි” නමින් නාට්‍යයක් නිර්මාණය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා සංගමය සමග එක්වය. 1971 තරුණයන්ගේ නැගී සිටීම ඔහුට අත්දැකීමක් වූ අතර “මළවුන් නැගිටියි” නාට්‍යයට එය තේමා විය. එම නාට්‍යයේ මහජන ප්‍රදර්ශනයට තහනම් වුවද විශ්ව විද්‍යාලය තුළ පමණක් ප්‍රදර්ශනයට අවස්ථාව ලැබිණි. ධර්මසේන පතිරාජයන්ගේ “කොරා සහ අන්ධයා” ධම්මගේ නිර්මාණයකි. “මොස්කව් ගිණි ගනී”, “සකළජන”, “කොටබරි යුද්දේ”, “කුරිරු රංග”, ධම්මගේ තවත් නාට්‍ය නිර්මාණය. මහාචාර්ය තිස්ස කාරියවසම් ලවා රචනා කරගත් “පරස්තාව හා පොරිසාදයා” නාට්‍යයේ නිෂ්පාදකයා වන්නේ ද ධම්මය. “නැට්ටුක්කාරී”, “මනමේ”, “කැළණි පාලම”, “මුහුදු පුත්තු”, “කොන්තරේ”, යන සිංහල නාට්‍ය වලද රංග ශිල්පියකු වශයෙන් නමක් දිනා ගත් ධම්ම 1983 දී “Passage to India (EM Poster)” ඉංග්‍රීසි නාට්‍යයේ ද රඟපෑවේය. “මහගෙදර”, “මඩොල් දූව”, “මංමුලාවැල්” යන චිත්‍රපට වලද රඟ පෑවේය.
1982 වන විට මෙරට ටෙලිවිශනයට සම්බන්ධ කරගන්නා ධම්ම ජාගොඩගේ බඳවා ගැනීම පිළිබඳව ද සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය යම් යම් බලපෑම් එල්ල වුවද, ධම්ම ගේ තිබුණ හැකියාවන් ඊට බාධාවක් නොවීමට හේතු විය. එම්. ජේ. පෙරේරා නම් වූ කෘතහස්ත ප්‍රථම සභාපති වරයා, ධම්ම නාට්‍ය අංශයේ ප්‍රධානියා කිරීමට සමත් විය. මා ධම්ම සමග වඩාත් සමීපව කටයුතු කිරීමට යොමු වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ‘සහකාර අධ්‍යක්ෂ – වැඩසටහන් සැලසුම් කිරීම හා ඉදිරිපත් කිරීම’ ලෙස පත් වූ පසුවය. මෙම කටයුත්තේදී, නව සංස්ථාවේ නිෂ්පාදන අංශයේ පටිපාටිය සකස් කිරීමේදී, ධම්මත් මාත් මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කළ දවස් බොහෝය. වැඩසටහන් යෝජනා පත්‍රයේ සිට, නිෂ්පාදන කාර්යයට සම්බන්ධ සියලුම ආකෘති පත්‍ර සහ නිෂ්පාදන සැලසුම් සකස් කිරීමට ධම්ම සහ මාත් සමග එක් වූ අනෙක් තැනැත්තා පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු ලෙස රූපවාහිනී වැඩසටහන් අංශයට සම්බන්ධ වූ සේපාල බොරලැස්සය. මේ වැඩ කොට වෙහෙසට පත් වූ බොහෝ දවස් වල ධම්මත් මමත් නතර වන්නේ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ ශාලාවේය. ධම්ම එහි සාමාජිකයෙකි. ඇතැම් දවස් වල අප දෙදෙනා නුගේගොඩට පයින්ම ගිය වාර අනන්තය. එසේ නොමැති විට අප දන්නා හඳුනන මොරිස් මයිනරය අයිති සිරිසේන සමඟ ණයටද ගොස් ඇත්තෙමු. අප දෙදෙනා රාජකාරි වශයෙන් තිබුණු බැඳීමට වඩා ලොකු හිතවත් කමක් මේ කාලය තුළ නිර්මාණය විය. බොහෝ දෙනා දන්නා පරිදි Soap Opera යන්නට ටෙලිවිෂනයට නාට්‍ය හඳුන්වා දීමේදී ‘ටෙලිනාට්‍ය’ යන නම ධම්මගේ හඳුන්වා දීමකි. ඔහු රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ඉතාමත්ම ඉක්මනින් කුසලතා වඩාගත්තේ සංස්ථාවේ පළමුවන මැදිරියේදී සෝමලතා සුබසිංහ සම්බන්ධ කරගෙන “මුහුදු පුත්තු” නාට්‍යයේ “මුහුදු පතුළ යට ඉඳලා” ගීතයට නව අර්ථකතනයක් දෙමින් ටෙලි නිර්මාණයක් කළේය.
ධම්මගේ පළමු ටෙලි නාට්‍යය වන්නේ “පළිඟු මැණිකේ” ය. සෝමවීර සේනානායක ලවා පිටපත රචනා කරවා ගත් ධම්ම, සෝමවීර සමග කථිකා කරමින් නිෂ්පාදනයට අවශ්‍ය ආකාරයට ගලපා ගැනීමට බොහෝ කතාබහ කළේය. ඒ බව සෝමවීර සිහිපත් කරන්නේ ධම්ම කෙරෙහි ඇති ගෞරවයකිනි. පළිඟු මැණිකේ මුද්‍රිත කෘතියේ සෝමවීර, ධම්ම ගැන සඳහන් කරන්නේ මෙසේය.
“මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති ආදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වෙතින් නාට්‍ය කලාව ද ගුණසිංහ ගුරුන්නාන්සේ ආදීන් ගෙන් කෝළම් නාට්‍ය කලාවද විදේශ රට වලින් බටහිර නාට්‍ය කලාවද හදාරා සිටි ධම්ම ටෙලි නාට්‍ය කලාවට පිවිසීම රූපවාහිනී මාධ්‍යයේ භාග්‍යක් ලෙසයි මට හැඟුනේ. එවැන්නකුගේ දැනුම් සම්භාරය කොතෙක් නම් වැදගත් වන්නේද.”
(පළිඟු මැණිකේ. පිටුව 28)
නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් මෙරට ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වූවන් වූ ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, දයාරත්න රටගෙදර, අනුර මාධව ජයසේකර, සුදත් සේනාරත්න, තිලක් ගුණවර්ධන, නාලන් මෙන්ඩිස්, විමලරත්න අධිකාරි, සුදත් දේවප්‍රිය වැන්නන්ගේ සහාය ඇතිව නාට්‍ය අංශයට හොඳ පදනමක් දමනු ලැබුවේ ධම්ම විසිනි. 1993 කළු ජූලිය අවස්ථාවේ ධම්ම ඒකාංගික ටෙලි නාට්‍යයක් කළේය. “සඳක කතාව” නම් වූ එහි තිර රචකයා වූයේ හෙන්රි ජයසේනය. ධම්ම එහිදී කිසිම දවසක රඟ පා නැති රූපවාහිනී සංස්ථාවේ ඉදිරිපත් කිරීමේ නිලධාරිනිය වශයෙන් සේවය කළ චන්ද්‍රානී ලියනආරච්චි ගේ දායකත්වය ලබා ගත්තේ විශේෂ අනුමැතියකිනි. ඒ දින වල රටේ පැවැති වාතාවරණය තුළ ධම්මට වෙනත් විකල්පයක් නොවීය. සැන්ටින් ගුණවර්ධන ප්‍රධාන නළු චරිතය කළ බව මට මතකය. මේ සිද්ධිය මා සිහිපත් කරන්නේ කිසි දවසක රඟ පා නැති චන්ද්‍රානී එම නාට්‍යයේ අපූරු චරිතයක් කිරීමට පුරුදු පුහුණු කළ ආකාරය පෙන්වා දීමට ය. සංහිඳියාව පිළිබඳ අදහසක් ධ්වනිත කළ එවැනි නිර්මාණ අද දවසටද වැදගත් වේ.
ධම්ම ප්‍රංශය, ජර්මනිය, රුසියාව, හංගේරියාව, අමෙරිකාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක කල් ගෙව්වේ නාට්‍ය පිළිබඳව අධ්‍යයනය කරමිනි. ඔහු මනමේ නාට්‍යයේ වැද්දාගේ චරිතය රඟපාමින් ගායනයේදී දැක්වූ ප්‍රතිභාව මැනැවින් ඔප්පු කළේය. අවස්ථා කිහිපයකදී ම ඉන්දියාවේ සංචාරය කරමින් අත්දැකීම් ගොනු කරගත් ඔහු බාහුල සංගීතයට ප්‍රිය කළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් තානාපති සේවයට ගිය කල්හි ඔහුගේ නාට්‍ය පිළිබඳ වගකීම භාරගත් ධම්ම සිංහබාහු නාට්‍යයේ ඇතැම් ජවනිකා වල පවා වෙනස් කම් කරමින් නාට්‍ය මය ගුණය පෝෂණය කිරීමට එඩිතර විය. ඔහු දක්ෂ පාලකයෙකි. ද්විභාෂා දැනුම ඇත්තෙකි. මුහුණ පුරා අපූරු සිනහවක් ඇති ධම්ම ගැන මෙසේ කෙටියෙන් හෝ යමක් ලිවීමට ලැබීම ගැන සතුටු වෙමි. ඒ නිපුනයෙකුට කරණ ගෞරවයකි.
6 Responses
ලයනල් වෙන්ඩිට් කලාකේනිද්‍රයට අනුබද්ධව ධම්ම ජාගොඩ මහතෙ, මගේ ගුරුතුමා පවත්වාගෙන ගිය රංග ශිල්ප ශාලිකාවේ මමද දිසුවෙක්මි. ඒ 1974දීය. එහි මගේ අනෙක් ගුරුතුමාව සිටි ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ අපි පුරෝගාමී වීදි නාට්‍ය ව්‍යාපාරය ආරම්භ කළේ ඒ කාලයේය. ධම්ම ජාගොඩ මහතා රෑපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රධානීව සිටියදී මමද එහි නාෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ අතර රූපවාහිනී ප්‍රථම මාලා ටෙලි නාට්‍ය වූ “ලාහිරු දහසක්” සහ කාටත් මතක තිබෙන “යශෝරාවය” නිර්මාණය කළේද මමය. ධම්ම ජාගොඩ මහතා ගැනත්, රංග ශිල්ප ශාලිකාව ගැනත්, රෑපවාහිනී නාට්‍ය අංශය ගැනත් ලියන මා මිත්‍ර පියදාස රත්නසිංහ මහතාට මා අමතක වන්නට විධියක් නැත. එය හිතාමතාම කළාය කියා හිතන්නටත් බැරිය.
අනේ පරා, මතක් කිරීම ගැන පිං. ඔබ කරේ හිතා මතා නොසලකා හැරීමට මට කිසිදු හේතුවක් නැත්තේ අප ඉතා ලඟින් සුහදව ඇසුරු කල නිසා සහ රාජකාරී කටයුතු කළ නිසා ය. මට ම මේ අමතක වීම ගැන හිතාගත නොහැක. බලවත් දුකකි. ඔබගේ නිවැරදි කිරීම ලිපියට ආදේශ කිරීමට උත්සාහයක් ගන්න බව කරුණාවෙන් සැලකුව මැනවි.
ධම්ම ගැන ලිව්වා වගේම ඔබ ගැන ද ලිවීමේ අවශ්‍යතාවයක් සහ ඒ නම් ලයිස්තුවේ ඔබගේ නම ද ඇතුලත් බව සිහිපත් කරමි. යලිත්, සිතේ දුකක් ඇති වී නම් ඒ ගැන සමා වන්න.
ඔබගේ නිර්මාණයක් වන “කඩඉම” එකී උත්සව වලට ඉදිරිපත් කලේ ද, ජපානයේ NHK වලට වරක් ප්‍රචාරය කිරීමට එය අලෙවි කළේ ද මා බව ඔබට මතක ඇති සිතමි.
මෙය ලියන්නේ පරාක‍්‍රම නිරිඇල්ල වන මාය. මේ කාරණය ගැන ලියම්දෝ නොලියම්දෝ තීරණය කරගත නොහැකිව මෙය ලිවීම අත්‍යවශ්‍යයැයි සිතුන නිසා මෙලෙස ලියමි. ධම්ම ජාගොඩ මහතා, මගේ ගුරුතුමා රංග ශිල්ප ශාලිකාව පවත්වද්දී මම 1974 ශිෂ්‍ය කණ්ඩායමේ සිටියෙමි. අපේ රටේ පුරෝගාමී වීදි නාට්‍ය කණ්ඩායම ශාලිකාවේ අනෙක් ගුරුතුමා වූ ගාමිණී හත්තොටුවේගම මහතාගේ මූළිකාත්වයෙන් ආරම්භ කළ අතර මම එහි සංවිධායකවරයා වීමි. ධම්ම ජාගොඩ මහතා රූපවාහිණී නාට්‍ය අංශයේ ප‍්‍රධානී ලෙස සිටියදී මමද එහි නිෂ්පාදකවරයෙක්ව සිටි අතර රූපවාහිණියේ විකාශය වූ ප‍්‍රථම මාලා ටෙලි නාට්‍යය නිර්මාණය වූ ‘‘ළාහිරු දහසක්’’ නිර්මාණය කළේද, තවමත් බොහෝ අයගේ මතකයේ තිබෙන ‘‘යශෝරාවය’’ නිර්මාණය කළේද මම ය. බල්ගේරියාවේ ගෝල්ඩන් චෙස්ට් සහ බර්ලින් ට‍්‍රාන්ස්ටෙල් සම්මානය ලද මා නිර්මාණය කළ ‘‘කඩඉම’’ ඒකාංගික ටෙලි නාට්‍යය ජාත්‍යන්තර සම්මාන ලද රූපවාහිනී නාට්‍ය ඒකකයේ ප‍්‍රථම නිර්මාණය විය. ඉතිං මගේ මිත‍්‍ර පියදාස රත්නසිංහ මහතාට නාට්‍ය අංශයේ සිටි මගේ නම අමතක වන්නට කොහෙත්ම විදියක් නැත. එය හිතා මතා කළේයැයි මම හිතන්නේද නැත. ලොකු වැරදීමක් වියහැකිය. මෙය ලියන්නේ මට දැනුන සිත් වේදනාව නිසාය. මීට, පරාක‍්‍රම නිරිඇල්ල
දයාබර පරාක්‍රම නිරිඇල්ල මහතාණෙනි, රූපවාහිනී ටෙලි නාට්‍ය කලා වංශ කතාවේ ඔබේ නම අනිවාර්යයනේ ම සටහන් විය යුතු ම බව මගේ ද අදහසයි.
තරයේ එකඟ වෙමි.
අනේ පරා, මතක් කිරීම ගැන පිං. ඔබ කරේ හිතා මතා නොසලකා හැරීමට මට කිසිදු හේතුවක් නැත්තේ අප ඉතා ලඟින් සුහදව ඇසුරු කල නිසා සහ රාජකාරී කටයුතු කළ නිසා ය. මට ම මේ අමතක වීම ගැන හිතාගත නොහැක. බලවත් දුකකි. ඔබගේ නිවැරදි කිරීම ලිපියට ආදේශ කිරීමට උත්සාහයක් ගන්න බව කරුණාවෙන් සැලකුව මැනවි.
ධම්ම ගැන ලිව්වා වගේම ඔබ ගැන ද ලිවීමේ අවශ්‍යතාවයක් සහ ඒ නම් ලයිස්තුවේ ඔබගේ නම ද ඇතුලත් බව සිහිපත් කරමි. යලිත්, සිතේ දුකක් ඇති වී නම් ඒ ගැන සමා වන්න.
ඔබගේ නිර්මාණයක් වන “කඩඉම” එකී උත්සව වලට ඉදිරිපත් කලේ ද, ජපානයේ NHK වලට වරක් ප්‍රචාරය කිරීමට එය අලෙවි කළේ ද මා බව ඔබට මතක ඇති සිතමි.
Comments are closed.