2002 වසරේ සජීවීකරණ චිත්‍රපටයක් තිරගත වුණා “ස්පිරිට්” නමින්. එහි ප්‍රධාන චරිත අශ්වයෝ. තිර රචකයන් තීරණය කළා මේ අශ්ව චරිත වලට දෙබස් නොදෙන්න; ඒ වෙනුවට, අශ්වයන්ගෙ මුහුණු වල හැඟීම් ප්‍රකාශනය නිවැරදිව පෙන්වීම සඳහා සජීවිකරණ ශිල්පීන් සහ සිත්තරුන් මේ අශ්වයන්ට හොඳට කැපී පෙනෙන ඇහිබැමි දුන්නා. චිත්‍රපටය පුරා ස්පිරිට් නමැති නායක අශ්වයා සහ අනිත් අශ්වයන්ගෙ ජවය, නිදහසේ ජීවත් වීම, දඩබ්බරකම, නිර්භීත කම, උපහාසය, සතුට, ශෝකය වැනි හැඟීම් සන්නිවේදනය වෙන්නෙ අර කැපී පෙනෙන ඇහිබැම සහිත ඇස්වලින්. “ස්පිරිට්” බැලුවා නම් දැනෙයි මේ තීරණය කොතරම් සාර්ථකද කියලා.
අවුරුදු කීපයකට ඉහත, මම නෑ කෙනෙක්ව විකිරණ ප්‍රතිකාර වලට මහරගම අපේක්ෂා රෝහලට අරගෙන ගියා. නෑයාගේ වාරය එනකන් අපි දෙන්න විකිරණ කාමර ඉදිරිපිට වාඩිවෙලා ඉන්නවා. ප්‍රතිකාර ගන්න අය එක්කෙනා දෙන්නා ඇවිත් ඉඳ ගන්නවා. සමහරු කා හරි එක්ක එනවා. සමහරු එන්නෙ තනියම. තනියම ආපු උදවියගෙන් වැඩි හරියක් ගැහැනු. ඒ අයගේ අතේ තිබුණේ පොඩි පර්ස් එකක් සහ විකිරණ සායනයේ කාඩ් එක විතරයි. ඔවුන් තොප්පියකින් හරි, ලොකු සාලුවකින් හරි හිස වසාගෙන ආවා. ඉතාම කඩිසරව ඇවිත්, ඉඳගත්තු ගමන්ම හිස ආවරණය ඉවත් කරනවා. ගිනි මද්දහනේ ඇවිදන් එනකොට දාපු දාඩිය ලේන්සුවකින් පිහිදා ගන්නවා. ඔවුන්ගෙ හිස් වල එකම කෙස් ගහක් වත් නැහැ. මුහුණු එකම විදිහයි, හරියට එක පවුලක අය වගේ. ඒ කොහොමද එහෙම එක සමාන වෙන්නෙ? මම කල්පනා කළා. උත්තරය තිබුණෙත් ඒ ඇහිබැමි නැති මුහුණු වලයි. ඇහිබැම කියන දේ අපේ අනන්‍යතාව තීරණය කරන්න කොපමණ වැදගත් අංගයක්ද කියලා තේරුණා.
විකිරණ චිකිත්සා වාරය එනතුරු ඉඳගෙන ඉන්න ගමන් ඔවුන් එකිනෙකා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදුණා. කෙනෙක් මොබයිල් ෆෝන් එකෙන් අසනීප දරුවෙකුට ජීවනී හදන හැටි ගෙදර කාටද කිව්වා; වෙලාවට ටියුෂන් පන්ති යන්න මතක් කළා. තව එක්කෙනෙක් තමන් කරපු ගෙත්තමක් ගෙනත් තිබුණා අනිත් අයට පෙන්නන්න. පිරිත් පත්‍රිකා, කැඳ වට්ටෝරු හුවමාරු කරගත්තා. අපි එන්නේ ටිකක් දුර සිට බව දැනගත්තම, රෝහල කිට්ටුව නවාතැන් වල ෆෝන් නොම්මර අපට දුන්නා. ඔවුන් හිනා වෙනකොට මම එකපාරටම දැක්කා ඒ මුහුණු එකිනෙකට සපුරා වෙනස් බව; ඇහිබැමි නැති මුහුණු වල සමාන කම තියෙන්නෙ හිනාවක් එනකම් විතරයි බව.
මගේ නෑදෑයාට ප්‍රතිකාර කල ස්පෙශලිස්ට් ගෙන් මම එන්න කලින් දවසෙ ඇහුවා, මම කීයටද අපේක්ෂා රෝහලට එන්න ඕනෙ මගෙ ලෙඩාවත් අරගෙන කියලා. ලැබුණ උත්තරය ” අයියෝ මේකෙ නම අපේක්ෂා නෙමෙයි. මේක සී. අයි. එම්. ( කැන්සර් ඉන්ස්ටිටියුට් ඔෆ් මහරගම ). ඕවා ඔය පොලිටීෂන්ස්ලා දාන බොරු නම් නේ. මේකට සී. අයි. එම් කියන්න, සී. අයි. එම් කියන්න ! “. රෝගය බරපතළ තත්ත්වයක තිබූ නෑදෑයාට උරුම වෙලා තිබුණු බලාපොරොත්තු මඳභාවය මම හොඳින් දැන සිටියා. නමුත් ස්පෙෂලිස්ට්ගෙ ඒ පිළිතුර සහ උපහාසාත්මක ස්වරය මාව විපිලිසර බවකට, තිගැස්මකට පත් කළා. යථාර්ථය වෙතින් අහක බැලීම අනුවණයි, නමුත් බලාපොරොත්තු සුන් වූ මොහොතවල් වල “ඇත්ත” දෝතින්ම අල්ලලා, බිඳෙන බඩුවක් වගේ පරිස්සමට ඇස් ඉස්සරහ තියන එක වඩා කාරුණිකයි. මට අදටත් හිතෙනවා අර ස්පෙෂලිස්ට් මගේ ප්‍රශ්නෙට ක්ලිනික් එන වෙලාව විතරක් කියලා නිකම් හිටියා නම් හොඳයි කියලා.
එකම ප්‍රශ්නෙට කීප වතාවක් උත්තර දෙන්න වෙනකොට නුරුස්සන සුළු ස්වභාවයකට පත්වීම මටත්, හුඟ දෙනෙක්ටත් වෙනවා. නමුත් සමහර රස්සා සහ සේවා වල කරන්න තියෙන්නෙම ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ ජාතියෙ රස්සා තෝරගන්න ගුරුවරු, දොස්තරලා, හෙදියො, වෙළෙන්දො වගේ අය තරහ ගන්නෙ නැතුව එකම ප්‍රශ්නෙට සිය සැරයක් උත්තර දෙන්න පුරුදු වෙන්න වෙනවා. පුහුණු වුණොත් ඒක කරන්න පුළුවන්. පුහුණු වෙන කාලෙ පිටරට දැකපු සේරම ස්පෙෂලිස්ට්ලා ඉතා හුරුබුහුටිවට මේ කාර්යය කළා මම දැක්කා. හිත් කුඩුපට්ටම් කරන්නෙ නැතුව යථාර්ථය පහදන ස්පෙෂලිස්ට්ලා එක්කෙනෙක්, දෙන්නෙක් විතර මේ රටෙත් මම දැකලා තියෙනවා.
බලාපොරොත්තුව කියන දෙයට කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවද? බලාපොරොත්තුවට සීමා පනවන්න පුළුවන්ද? මම මගේ ඉස්සරහ, දෙපැත්තෙ ඉඳගෙන හිනාවෙන, ඇහිබැමි නැති මුහුණු දිහා බලාගෙන කල්පනා කළා. බලාපොරොත්තුව නමැති ප්‍රකාශනයට හිසකෙස් වත්, ඇහිබැමි වත් අවශ්‍ය නැහැ. හිනාවක් විතරයි ඕන.
මම තීරණය කළා, සී. අයි. එම් එකට අපේක්ෂා කියලා නම දාපු එක හොඳයි කියලා.
2 Responses
Very nice article Dinithi! Nicely written and true.
Beautiful reflection. I am glad you posted it and hope many people would read it.
Comments are closed.