කැමරා ඉතිහාසය අංක 06

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

කොඩැක් සමාගමේ ඉතා සරල පෙට්ටි කැමරාව ජන ගත වූ පසු, මිනිසුන්ට වඩා හොඳ ඡායාරූප ගන්නට අවශ්‍ය විය. ඒ සඳහා සරල කැමරාවට එහා ගිය යමක් නිර්මාණය විය. එය අකුලන කැමරාවයි.

අකුලන කැමරාව යනු (Folding Camera) යනු මෙතෙක් චිත්‍රාගාරවල අණසක පතුරවාගෙන සිටි ක්ෂේත්‍ර කැමරාවේ (Field Camera) ම කුඩා අනුරුවක් විය. වෙනස වූයේ මේ අකුලන කැමරා ඉතා පහසුවෙන් අතේ හෝ කරේ එල්ලාගෙන හෝ රැගෙන යාමට හැකි තරමට කුඩා වීමයි.

අකුලන කැමරා නිෂ්පාදනය වන්නට පටන් ගත්තේ කුමන වසරේ ද යන වග සහ මුල් ම අකුලන කැමරාව ගැන විස්තර සොයා ගන්නට අපහසු වුව ද, එය 1890දීත් තිබුණු බව වාර්තා වෙයි. 1925දී ද්විකාච ප්‍රතිඡායා කැමරාවේ (Twin Lens Reflex) සම්ප්‍රාප්තියත් සමග 1930 වනවිට අකුලන කැමරා නිෂ්පාදනය ද අහෝසි විය.

Folding Camera with Flash alochana photography articleඅකුලන කැමරාවේ කාචය එකල වඩා දියුණු එකක් විය. මේ කාලය වන විට Meniscus හෙවත් මාවක කාච සිද්ධාන්ත සොයාගෙන තිබුණු බැවින් වඩා තියුණු සහ පැහැදිලි ප්‍රතිබිම්බ නිර්මාණය කර ගන්නට සංයුක්ත කාචයට (Compound Lens) හැකි විය. නමුත් ක්ෂේත්‍ර කැමරාවේ මෙන් මේ කැමරාවේ පසු තිරයකින් බලා නාභිගත කරන ක්‍රමවේදය තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ කාච වළල්ල කරකවා හෝ බැලෝව සීරු මාරු කර හෝ දුර ගැන අඩමාණයට සිතා හිතෙන් නාභිගත කරන ක්‍රමයකි. අතිසියුම් නාභිගත කරණයක් හෝ සමීප රූප නාභිගත වීමක් හෝ එමගින් අසීරු වුව ද, සාමාන්‍ය අවශ්‍යතා සඳහා මේ සම්පූර්ණ ශ්‍රමායික නාභිකරණය ඡායාරූපශිල්පීන්ට ප්‍රමාණවත් විය.

අකුලන කැමරාව බඳකින් සහ අකුලන පියනකින් සමන්විත ය. මේ පියනේ කෙළවර කාච අටල්ල සවි කර තිබුණු අතර, බඳ සහ කාචය අතර රබර් මිශ්‍රිත රෙදි හෝ කඩදාසි හෝ බැලෝවක් තිබුණේ ය. බඳේ උඩ ඇති අගුළු ඇණය තද කළ විට, ලීවර දෙකකින් සමන්විත පියන දිගහැරී කැමරාව පින්තූර ගන්නට සූදානම් වෙයි. ද්වාර පාලක ඇණය (Shutter Relies Button) තිබුණේ ද බඳේ උඩ ය. එය ලීවරය පද්ධතියකින් කාචය හා සම්බන්ධ වෙයි. කාචාන්තර ද්වාරයකින් (Between Lens Shutter) සමන්විත මේ කැමරාවේ ද්වාර අගයයන් අවම තත්පරයකින් ද, උපරිම තත්තපරයෙන් 1/200ක් ද විය. කාචයේ ම ඇති වළලල්කින් අදාල ද්වාර වේග සකසා ගත හැකි ය. කාච විවරය (Aperture) ද ඒ සමග ම ඒ වෙනුවෙන් ඇති ඇණයකින් සකසා ගත හැකි ය. මේ කැමරාවට සම්වලින් නිර්මිත කවරයක් ද තිබුණේ ය. එය කරේ රුවාගෙන යාමට හැකි වන පරිදි එය පටියකින් ද සමන්විත විය.

මුල් ම අකුලන කැමරාවල දර්ශන රාමුව දැක ගැනීමට හැකි වන ලෙස, බොක්ස් කැමරාවේ තිබුණු ආකාරයට ම දර්පණයක් සහ කාචයකින් සමන්විත දර්ශන දක්නයක් (View Finder) සවි කර තිබුණේ කාචය මත ම ය. පසු කාලීන ව එය බඳේ උඩින් වෙනම ම සවි විය. එහි දර්පණයක් තිබුනේ නැත. පසුකාලීන කැමරාවල මේ දර්ශන දක්නය කැමරා බඳේ ම මැද හෝ කෙළවරක නිර්මාණය විය.

අකුලන කැමරා සඳහා භාවිතා කරනු ලද්දේ 120 හෝ 620 පටල පටි ය. පසු කාලීන ව එය මිමී 35 පටල යෙදිය හැකි තරමට කුඩා විය. සමහර අතිශය රහස් ඡායාරූප ගැනීම් සදහා ද, වාර්තා ඡායාරූපකරණය සඳහා ද ඊටත් වඩා කුඩා පටල යෙදිය හැකි අතිශයින් හුරුබුහුටි අකුලන කැමරා ද යම් පමණකින් නිර්මාණය විය.

පින්තූරය සටහන් කර ගත් රාමුව ඉදිරියට ඇද ගෙන යාම සඳහා කැමරා බඳේ උඩ වීල් එකක් තිබේ. එමෙන් ම රාමුව ගණනය කිරීම සඳහා පසුපියනේ මැද රතු පැහැ ප්ලාස්ටික් තහඩුවකින් සැකසූ කවුළුවක් ද තිබේ. ඇවැසිනම් එය ද වසා දමන්නට පියනක් ද තිබේ. යොදන පටලයේ ආරක්ෂිත දවටනයේ සටහන් කර ඇති ඉලක්කම් හා සංකේත මගින් නිවැරදි ව රාමු අංකය දැක ගන්නට හැකි වන්නේ එම කුඩා කවුළුවෙනි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත