ගම්පෙරළිය ගම් පෙරළිය මයි – වෛද්‍ය රංග වික්‍රමසිංහ

Dr-Rantga-Wickramasinghe-Alochana

(ඡායාරූපය – හේමන්ත අරුණසිරි)

වසර ගණනාවක් පුරාම කර නොරැඳුණු, කණට නොදැනුණු වෙද නලාව දෙස රංග වික්‍රමසිංහයන් මොහොතක් බලා සිටියේය. සිහිනයක් කර නොගත්තද සිය පියා තමන් බටහිර වෛද්‍යවරයෙකු වීම කිසියම් සතුටක් ලබන්නට හේතුවක් කර ගන්නට ඇත. වෙද නලාවට අතවත් නොතැබූ ඔහු එයට මදක් ඔබ්බෙන් වූ පොත දෙස දෙනෙත් රැඳවූවේය. අතට ගන්නට වූ පොතින් මෑත් වූ ඔහු අල්මාරියේ ඒ පොත සදහා වූ ලිපි ගොනුව අතට ගත්තේය. 1944 පොත පළවූ දා පටන් හා 1963 දී එය චිත්‍රපටයක් වූ දා පටන් පළ වූ බොහෝ විචාර හා පුවත්පත් ලිපි ඒ අතර වුයේය. ලිපි ගොණුව අතට ගනිද්දී එක් පුවත්පත් පිටුවක් රූටා ගොස් බිම වැටුණි. රංග වික්‍රමසිංහයන් බිම වැටුණු පුවත්පත් පිටුව දෙස බැලුවේය. කාලයා විසින් තමන් කොතරම් කලක් එම පුවත් පිටුව රැක ගත්තාදැයි කීමට මෙන් ඉන් දිස් වූයේ දුරාවර්ණ වූ පඬු පැහැයකි. 1944 ජුනි මස 8 වෙනිදා පුවත් පිටුවේ තැනක ලොකු අකුරින් ලියා තැබූ දිනය ඔහු කියෙව්වේය. අතට ගනිද්දී එම පිටුව කුමන පුවත් පතක්දැයි සොයා කියවා ගන්නට ඔහු උපැස් යුවළ නළලින් ගලවා දෙනෙතට භාර කළේය. “සිංහල බලය” හේමපාල මුනිදාසයන් ලියූ ලිපියකින් “ගම් පෙරළිය” “කතුවරයා විසින් මෙතෙක් කෙරුණු අත්‍යුත්කෘෂ්ට සංග්‍රහයක් වශයෙන් පිළි ගැනෙනු නොවනුමාන” යැයි හඳුන්වා දී තිබුණි.

වෙදනලාවට ඉහළින් තිබූ “ගම්පෙරළිය” නවකතාවේ නවතම මුද්‍රණයක පිටපතක් ඔහු අතට ගත්තේය. ගෙයි මැද ඇති පීටිකාවෙන් බැස ගිය ඔහු සාලයේ ඇති සෝපාවට බර වූයේ ජනෙල් වීදුරුවෙන් එළියේ නොනවත්වා වට වැස්සට පිරීගිය දියඇලි දෙස බලමිනි.මේ සවස් භාගයේ සිය පියාගේ “ගම්පෙරළිය” නවකතාව ගැන කතා කිරීමට එන බව කියූ සිය පැරණි බැංකු මිතුරා බොහෝ කලකට පසුව දැක ගන්නට ඔහු බලා සිටියේය. විදුලි පංකාව ක්‍රියා නොවන බැවින් ඔහු හිස රැදි හිස් වැස්ම ගලවා කනප්පුව මත තැබුවේය. අතට ගත් නවකතා පොත පිටකවරය සරසා ඇත්තේ නවතම කංචුක චිත්‍රයකිනි. එහෙත් පළමු මුද්‍රණයේ පිටකවරය ඊට වඩා ඉතා සරල කවරයක් වූ බව රංග වික්‍රමසිංහයන්ට සිහි වූයේය.

සිය මිතුරා පැමිණ ආගිය පුවත් කතා කරද්දි කැමරා ආම්පන්න සමග තවත් දෙදෙනෙකු පැමිණ ගෙනා ආම්පන්න අටවා ගන්නට යද්දී ඔහු මදක් කලබල වෙනවා අමුත්තා දුටුවේය.
“අපේ ආලෝචනා අන්තර්ජාල සඟරාවේ සම්මුඛ සාකච්ඡඡාවක් පළ කරද්දී අපි ඒ සදහා ඡායාරූප කීපයක්  එක  කරනවා. ඉතිං  අද ඒ  කතා බහේ නායකයා ඔබයි. මේ නිසා ඔබගේ ඡායාරූපය ඉතා වැදගත්.”

රංග ඔහු දෙස බලා සිටියේය. මෙතෙක් සිය පියාගේ පුතා තමා යැයි කීමට ඔහු කිසි විටෙක ඉදිරිපත් නොවීය. අනික මගේ අයියා සිටිද්දී මං මේවට පෙනී හිටින එක? ඔහු සිතන්නට ගනිද්දී මිත්‍රයා කරුණු පැහැදිලි කළේය.

“ඇත්තෙන්ම ඔබ අද සතුටු විය යුතුයි. ඔබේ පියාගේ “ගම්පෙරළිය” නවකතාව පළ කරලා මේ වසරට අවුරුදු හැත්තෑ පහක්. එය රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටයක් වී අදට අවුරුදු පනස් හයක්. ඉතින් නවකතා කලාවේ එක මං සළකුණක් වූ “ගම්පෙරළිය” නවකතාව ගැන අපි කරන මේ කතා බහ අන්තර්ජාලය හරහා සැරිසරනවා. එය කියවන කවරෙකු හෝ වර්තමානයේදී ජීවතුන් අතර නැති ඔබේ පියාගේ දරුවෙකු ගැන හෝ දැන ගන්නට ලැබෙනවානම් බොහෝ සතුටක් විදීවි. අපි මේ කරන්න හදන්නේ එකයි.”
දිගු පැහැදිලි කිරීමකට කෙටි උත්තරයක් 
|“අනේ එකකට වඩා පළකරන්න එපා. අපි තාත්තගේ පොත ගැන කතා කරමු.”

ආලෝචනා – “ඔව් අපි ඔබෙන් කාල වේලාව ගත්තේ ඒකටයි. කියන්න බලන්න ඔබේ පියාගේ නවකතා අතර වඩාත් කතා බහට ලක්වුණු නිර්මාණය “ගම්පෙරළිය”, අන්න ඒ ගැන කියන්න.”
වැස්ස ආයෙත් සැර කරනවා පොළවට ගහ කොළට. ජනේලයේ වීදුරු වල හුමාලය හීංවට බැඳ ගනිමින්. 

රංග – “තාත්තා “ගම්පෙරළිය” ලියන කොට මට අවුරුදු දොළහයි. එතකොට ලියන්නෙ මොනවද කියල ලොකු කියවිල්ලක් මට තිබුණේ නෑ. මං තාත්තා ළග ගැවසෙනවා. ඒ තාත්තගේ පොත් අල්මාරි වල පුරවපු පොත් හන්දා. මට අද මතක විදියට මං ඒ කාලේ කළේ පොත් කියෙව්වා නොවෙයි බැලුවා. තාත්තා ළඟ ගොඩක් තිබුණේ ඉංග්‍රීසි පොත්. ඒවා සමහරක් විද්‍යාත්මක හෝ වෙන වෙන විෂයයන් ගැන. ඉතිං ඉස්සෙල්ලම මං කළේ ඒ පොත් වල පින්තූර බලපු එක.

ඒ කාලේ තාත්තා හම්බ වෙන්න ගොඩාක් අය එනවා. ඔවුන් ලොකු ලොකු මාතෘකා ගැන කතා කරන්නේ. මට ඒවා තේරුණේ නැතත් මං ළගට වෙලා ඒවා අහන් ඉන්නවා. ඇත්තටම මං ආසා කළේ තාත්තගේ පොත් ගුලට. ඒ කාලෙත් ඒකෙ ගොඩක් පොත් තිබුණා.

අපි අලුත් අවුරුද්දට අපේ තාත්තගේ අම්මගේ ගමට යනවා. ඒ කාලේ  ගියාම අපිට දැනුණෙ  ගමේ සුන්දරත්වය විතරයි. ඒත් පසු කාලීනව මට දැනෙන්නට ගත්තා තාත්තගේ නවකතාවල චරිත, ස්ථාන, සිදුවීම් හා විස්තර බොහොමයක් ඉපදිලා තියෙන්නේ ඒ ගම අවටින් කියලා.

ආලෝචනා – “අද දවසේ “ගම්පෙරළිය” නවකතාව ගැන ඔබට මොනවද හිතෙන්නේ. දශක ගණනාවකට පෙර සිදුවුණු  සමාජ විපර්යාසයන්  දුටු කෙනෙක් විදියට”   

රංග – “තාත්තගේ කාලේ සිදුවුණු සමාජ විපර්යාසය මං කියෙව්වේ තාත්තගේ පොත් වලින්. මං පියදාස සිරිසේන මහත්තයාගේ ඩබ්ලිව් ඒ. සිල්වා මහත්තයාගේ පොත් කියවලා තිබුණා. තාත්තා ඒ දෙන්නගෙ පොත්වලට කැමැත්තෙන් හිටියා. එයින් සිල්වා මහතාගේ පොත් අමුතුයි. රසවත්. කියවාගෙන යන්න ආසයි. මං දැනුම් තේරුම් ඇති කෙනෙක්ගේ වයසට එද්දී වැඩියෙන්ම කියෙව්වේ බටහිර නවකතා, චෙකොෆ්ගෙ, ටෝල්ස්ටෝයිගේ හා චාල්ස් ඩිකන්ස්ගේ පොත් තමා මට එදා වැඩියෙන්ම තාත්තගේ පොත් ගුලෙන් කියවන්න ලැබුණේ. මට අද දැනෙනවා “ගම්පෙරළිය” ඒ පොත් සමග සමව තියන්න පුළුවන් කියලා. ඉන් පසුව මම වෙනත් ඉංග්‍රීසි නවකතා කියවන්න ගත්තම මට දැනෙන්න ගත්තා තාත්තගේ ගම්පෙරළිය නවකතාව ඉතා ශ්‍රේෂ්ඨ නවකතාවක් කියලා. ඒ මගේ පියා නිසා නොවෙයි. නවකතාව දැනෙන්න ගත්තම මට එහි චරිත හා පරිසරය දැනෙන්න ගත්තා. විදේශගත  වීමත්, යළි මේ රටට පැමිණ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරද්දිත් මං දුටුවා එදා තාත්තා දුටුව සමාජ විපර්යාසය. වාණිජකරණය, අහිංසක ගැමි චරිත, ඔවුන් නගරයට පැමිණීම, ඒ සමගම ගම දුරස්වීම එක්ක වෙනත් සංස්කෘතියක් බිහිවීම වගේ දේවල්.

මං තාත්තගෙන්  පසුව වැඩියෙන් කියවූයේ ගුණදාස අමරසේකර මහත්තයාගේ පොත්. එයිනුත් “කරුමක්කාරයෝ” විශේෂයි. හැබැයි මට හිතෙනවා පියදාස සිරිසේන හා සිල්වා මහත්තයාගේ පොත් සාමාන්‍ය ජනතාව අතරට වැඩියෙන් ගියාය කියලා. එයින් සිල්වාගේ නවකතා වඩාත් ඉදිරියෙන් තිබුණා.”

ආලෝචනා – “ගම්පෙරළිය” අදටත් සිංහල නවකතාවේ පෙරළියක් ඇති කළ ගද්‍ය අඛ්‍යානය කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ ගැන ඔබට දැනෙන්නේ මොනවාද?”

රංග – “ඇත්තටම සිංහල නවකතාව ගැන විචාරයක් කරන්න තරම් සාහිත්‍යාත්මක දැනුමක් මට නෑ. ඒත් තාත්තගේ පොත් ගුල ආශ්‍රයෙන් මට පොත පත ගැන ආසාවක් ඇතිවුණා. එය අදටත් තියෙනවා.

මා දන්නා තරමට “ගම්පෙරළිය” යථාර්ථවාදී නවකතාවක්. එහි ප්‍රචාරකවාදී ලක්ෂණ තිබුණේ  නෑ. ඒ කාලයේ නවකතාකරුවන්ට බොහෝ විට එසේ ලිවීමේ අවශ්‍යතාව තිබුණු බව මම දන්නවා. ඒත් තාත්තා අපේ ගම් පළාතේ සිදුවීම් ඉතා අගේට මේ පොතේ ලියනවා. අපි සිංහල අලුත් අවුරුද්දට පෙර ගමට යනවා කියා මා ඔබට කීවා. මා මගේ තාත්තගේ අම්මා දැකලා නෑ. ඒත් මගේ තාත්තාට සහෝදරියෝ කීප දෙනෙක් හිටියා. ඒ මගේ නැන්දලා හත්දෙනා අතර තිබුණු  ඇත්තම චරිත ලක්ෂණ මං පසුකාලීනව ගම්පෙරළියේ චරිත වලින් දුටුවා. ගම්පෙරළියේ “නන්දාගේ” චරිතය තියෙන එක නැන්දා කෙනෙක් ඒ නැන්දලා අතර හිටියා. තාත්තා විස්තර කරන නන්දාගේ හැඩරුව ලක්ෂණ මං ඒ නැන්දාගෙන් දුටුවා. එයාගේ ගමන බිමන, කතා කරන විදිය නන්දාගේ චරිතය ගොඩ නගද්දි අපේ තාත්තා එකතු කරලා  තිබුණා කියලා මට හිතෙනවා. ගම සමග මා අද දකින මා වින්ද පරිසරය මට ගම්පෙරළියේ බොහෝ දේවල් මවා පෙන්වනවා. ඒ අනුව මට කියන්න පුළුවන් ගම්පෙරළිය යථාර්ථවාදී නවකතා කලාව ග්‍රහණය කරමින් මේ රටේ එදා ඇතිවූ සමාජ විග්‍රහය පියල් හා ජිනදාස ඇසුරෙන් පිළිබිඹු කරනවා කියලා.

අපේ මාමලා වගේම ගමේ අය එදා රස්සා හොයාගෙන නගරයට ආවා. මගේ තාත්තත් එහෙම කෙනෙක්. එතකොට ඉගෙන ගත්තු උදවිය රස්සා කරන්න කොළඹට එද්දී අනිත් අය තොග වෙළදාම් කරන්න සිංහලේට වගේම යාපනේ පැත්තටත් ගියා. මගේ පියාත් මඩකළපුවේ තොග වෙළදාම් කළ කඩයක වැඩ කරලා තියෙනවා. ඉතින් රස්සාව කරන්න ගිය අය ගමට ආවේ මිල මුදල් එක්ක. රස්සා සොයාගෙන ගොවිතැන් කරන්නට නැත්නම් වෙළදාමේ ගිය අය ගොස් තිබුණේ  බොහෝ දුෂ්කර පැති වලට. ඒ සමහරු අතර මගේ මාමලා වගේම අපේ ගමේ අයත් හිටියා. ඉතින් මේ සිදුවීම් ආශ්‍රයෙන් තාත්තා එයාගේ දැනුම යොදවලා එදා සහ හෙට දිහා බලලා ලියුව කතන්දරයක්, සිදුවීම් මාලාවක්  කියල මට හිතෙනවා “ගම්පෙරළිය” නවකතාව. එදා ගම වෙනස් කරන්න මුල් වුණේ  වාණිජ්‍යය කියලා මං දන්නවා. ඒ සිදුවීම් වාර්තාවක් නොකොට නිර්මාණශීලීව හැබෑවක් විදියට ලියන්න තාත්තගේ පත්තර දැනුමත්, ඒ සිදුවීමුත් එක්ක  බටහිර නිර්මාණ විශාල වශයෙන් කියවීමෙන් ලබපු අත්දැකීමුත් හේතු වෙන්නට ඇති කියලා මට හිතෙන්නේ. ඒ නිසා ඒ චරිත, ඒ සිදුවීම්, ඒ සිතුවිලි අදටත් වලංගුයි කියලා මට දැනෙන්නේ අදටත් මේ සමාජය තාත්තගේ නිර්මාණ භාවිතා කරන එකෙනුයි, “ගම්පෙරළිය” සිනමා පටයට ඔවුන් තාමත් ආදරය කරන විදියෙනුයි.”

බීමට යමක් එන්නේ ඔය අතරවාරයේ. සාලයේ තබා ඇති තිස්ස රණසිංහයන්ගේ දෑතින් හැඩවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුහුණ දෙස රංග වික්‍රමසිංහ දොස්තර මහත්තයා බලා සිටිද්දී  අපට හැඟෙන්නේ  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඒ වියපත් පිළිබිඹුවේත් අද අප හා කතා කරන ඔහුගේ දෙවන පුත්‍රයාගේ මුහුණේත් වැඩි වෙනසක් නැති බවයි.

ආලෝචනා – “හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කියලා බොහෝ දෙනෙක් කියනවා, ගම්පෙරළිය සිංහල නවකතාවේ හැරවුම් ලක්ෂයක් වාගේම හොඳම නවකතාව කියලත්. අපි ඒවා සියල්ලම පැත්තක තියලා ඔබ ඔබේ පියා දකින්නේ කොහොමද?”

රංග – “මගේ පියා ජිවත් වුණු කාලයෙන් වැඩිම කාලයක් ගත කළේ යමක් ලියන්න. ගෙදර ආවත් එහෙමයි. එයා හිටියේ පුස්තකාලය තුළයි. ඒත් තාත්තාට ඕනෑ වුණා අපිත් එක්ක ඉන්න. ඒ වගේම මටත් මගේ තාත්තා නැතුව බැරි උණා. තාත්තා ඉන්න තැනක ඒ වත්තේ පැත්තකින් හරි ජිවත් වෙන්න මට වගේම, අපිට වගේම, අපේ තාත්තටත් ඕනෑ වුණා.”

රංග වික්‍රමසිංහයන්ගේ දෙනෙත් වල කිසියම් අමුත්තක් ඇති වුණේ  ඔහුගේ මුහුණ අප සිටි නිවස ඉදිරියේ තිබුණ නිවසට යොමු වෙද්දී. එම නිවසේ පිටුපස කිසියම් කර්මාන්තයක් සිදුවෙමින් තිබුණා.

රංග – “ඒ තාත්තා හිටිය නිවස”
(එය ඉතා දයාබර හඩක්)
“අපි මුලදී හිටියේ කුලී ගෙවල් වල. දැන් කාලෙ වගේ අපිට ඉන්න වෙන වෙනම කාමර නෑ. අපි දරුවෝ ගුලිවෙලා සාලේ පැදුරු වල නිදා ගත්තේ . තාත්තා සමහර දවස් වලට රෑ හීනෙන් කෑ ගහනවා. හයියෙන් කෑ ගහනවා. බයවෙලා අපි නැගිටින්නේ. ඉතින් උදේට මං අහනවා ඇයි ඊයේ රෑ කෑ ගැහුවේ කියලා. තාත්තා හිනාවෙලා කියනවා “ආ ඔය මොකක් හරි හීනයක් පේන්න ඇති” කියලා. තාත්තා උදයෙන්ම අවදි වෙනවා. පහ වෙද්දි පොත් කාමරේ. ඒ කාමරෙන් සාලෙට දොරක් තිබුණා. වෙලාවකට තාත්තා එළියට ඇවිදින් සාලයේ ඇවිදිනවා. ඒ වෙලාවට එයා කවි කියනවා. සිංදු කියනවා. ඒවාට තාලයක් නෑ. වැඩිපුර කියන්නේ ජෝන්ද සිල්වාගේ නාට්‍යයේ ගීත.  අපි කියනවා ඒ ගීත වල තාලය ඕක නොවේ කියලා. එයා පිළිගන්නේ නෑ. අපි එතකොට ඒ සිංදුව වාදනය කරලා පෙන්නනවා. එතකොට කියන්නෙ නෑ මං කියන තාලය තමා ඒකට හරි කියලා. මොකද තාත්තා ඒ වගේ වෙලාවට අපිට කියන්නේ මං කියන්නෙත් ඒ තාලෙටම තමයි කියලා. වැඩිපුරම තාත්තගේ කටේ තිබුණේ, “දන්නෝ බුදුන්ගේ” ගීතයයි. තාත්තා කියෙව්වේ වැඩිපුරම ඉංග්‍රීසි පොත්. ඒ සියල්ලම මිලට අරන් කියවීමේ පුරුද්දක් තාත්තට තිබුණේ. බොහෝ විට පොත් රටවලින් ඇණවුම් කරලා ගෙන්වා ගත්තා. තාත්තා පොත් මිලට ගන්න පුරුදු වෙලා තියෙන්නේ අවුරුදු දාහතේ ඉඳලා ලු. තාත්තා අපිව හැරල යද්දි පොත් පන්දහසකට වඩා තිබුණා. ඒ බොහොමයක්ම තාත්තා කියෝපුවා.”

(ඔහුගේ සිත පියා සමග යන්නට ඇති. රාහුල කුමරුන් බුදුන් දන්නේ නෑ. ඒත් මව් කියූ නිසා ඔහු සිය පියා බව දන්නවා. ඒ නිසා පියෙකුගේ සරණ නොලබා, ආදරය නොවිද සිටි පුංචි රාහුල කුමාරයා බුදුන්ගේ අතැඟිලි  අතර හුරතල් වෙන්නැති. රංග වික්‍රමසිංහයන් අද වයසින් එදා මියගිය පියාගේ වයසට ළංව සිටියත්  සිංහල සාහිත්‍යයේ  සද්දන්තයා ඔහුගේ පියායි. පියකු සෙවනේ දරුවකුගේ සෙනේහය ඔහුට දැනෙන්නට ඇති. )

ආලෝචනා – “ ඔබ ගම්පෙරළිය අගයන්නේ ඒ ඔබේ පියාගේ නිසාද?”

රංග – “ නෑ ඒක නවකතාවක් නිසා. බොහෝ දුර ඈත දුටුව යථාර්ථවාදී නිර්මාණයක් නිසා. ඒ කතා  කලාව, ඒ පරිසරය, මිනිසුන්, සතා සීපාවා හා සිදුවීම් අදටත් වලංගු නිසා. තාත්තා ඒ පරිසරය තවත් වෙනස් වෙන අයුරු“කලියුගය”, “යුගාන්තය” මගින්  දුටුවා. එදා අපට තිබුණු ගම අද නෑ. ඒත් අපි එදා ගම හා සිතුම් පැතුම් මේ ගම්පෙරළියෙන් දකිනවා. විදිනවා. ඒ යුගයේ සිටී හොදම මිනිසුන් අදත් අපට මුණගැහෙනවා. ඒ සිදුවීම් දකිනවා. එවිට “ගම්පෙරළිය” අලුත් වෙවී අපේ මතකයට රිංගනවා. ඒත් කලානුරූපීව අද මිනිස්සු වගේම සමාජය වෙනස්. එයත් තාත්තා දුටුවා. “කලියුගය”, “විරාගය” තුළින් ඒ දැක්ම අපට ලැබුණේ “ගම්පෙරළිය” නිසා. ඒ නිසා මං “ගම්පෙරළිය” ට අදටත් කැමතියි. ඒ තාත්තාට ඇති ගෞරවය ආදරයට වඩා නිර්මාණය තුළිිිින්  අපට එදා මෙන්ම අදටත්  ජීවත් වෙන බව දැනෙන්නට ඉඩ  හරින නිසයි.”

වසර හැත්තෑ පහක් පිරුණු ශ්‍රී ලාංකේය නවකතා කලාවේ අග්‍රගණ්‍ය  නිර්මාණයක් වූ ගම්පෙරළිය ගැන අපි කතා කළෙමු. වෛද්‍ය රංග වික්‍රමසිංහයන් තාමත් ඒ ඉරියවුවෙන්මයි. අපි මාටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ ඔස්සේ ඔහු දකින අතර පියාගේ පොත් අතරින් රංග වික්‍රමසිංහයන් දුටු ඒ මතක රුවක් වී තමා සිටින නිවස ඉදිරියෙන් රැඳෙනවා ඇති. එදා මාටින් වික්‍රමසිංහයන් විසූ නිවසේ ඇවිදින කතා කරන සිය පියාගේ රුව ඔහුට ඇසෙනවා ඇති.

අපි නැගිට ගනිද්දී ඔහුද කනප්පුව මත වූ සිය හිස්වැස්ම අතට ගත්තේය.  

මෙතුවක් රූරා ඇද හැලුණු  මහ වැස්ස කෙමෙන් කෙමෙන් පායා ගොසිනි. හිරු එළියේ ආ අප දුර ඈත ගසක් අතරින් පහන් කණුවක ආලෝකය දැල්වෙද්දී එළියට ආවෙමු. මාටින් වික්‍රමසිංහයන් ගම්පෙරළියේ ජිනදාස සිංහලයට යවා අඬු කඩා දමා බිම දැමූ කුලීනත්වයේත්, බමුණු කුලයේත්, නවීන නැගිටීම් අතර යටපත් වෙන සමාජ පුරුෂාර්ථ සිහිපත් කරමින් මම මාටින් වික්‍රමසිංහයන්ගේ නිවසින් පිටතට පියමං කළෙමි. 

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත