ගෝලාකාර හැඩැති ඉතා කුඩා අවකාශයක් තුළ ඊට ගොනු කළ නොහැකි බොහෝ දෑ පුරවා සිරකොට තෙරපුමට ලක් කළ වස්තුවක් සිහියට නඟන්න…
යමෙකුගේ මනස තුළ ද ඒ හා සමාන තෙරපුමක්, පීඩනයක් ගුලි වී පවතින්නේ නම් ඔහු, ඉදිරි මිනිත්තු කිහිපයේ නිශ්චිත වශයෙන්ම පුපුරා යන්නට නියමිත නොවේද?
චාමික හත්ලහවත්තගේ නවතම නාට්‍ය නිෂ්පාදනය – බෝම්බයක් ඉතුරුයි!
මතුපිට සිට ගැඹුරු ඇතුලාන්තය තෙක්, නාට්‍යය තේමා ගණනාවක් ඔස්සේ අර්ථකථනය කළ හැක. නමුත් මිලිටරිකරණය ප්‍රමුඛ දේශපාලනික, ආර්ථික, සමාජයීය මෙන්ම ලිංගික හා භාවමය සංකීර්ණතා පිළිබඳ කියවීම් ආශිත්‍ර ස්ථර, එකිනෙක පසුකරමින් යන විට ගැඹුරු අඩියේ දී නාට්‍යකරු අපගේ ජීවිත සත්තාවට පරිහාසාත්මක (ironic) ලෙස අභියෝග කරන මොහොතක් එළැඹෙයි. එය අප ආතතියට පත් කරයි. අපම විඳිමින් සිටින, යාථාර්තය යැයි අපට ඒත්‍තු යන ජීවිත අවස්ථාවක හරස්කඩක් ඇඳ පෙන්වයි.
ආගමක් නොඅහදමින් තමා (self) විශ්වාස කරමින් ජීවත්වෙන පුද්ගලයෙකු, තමා පිළිබඳ පවා විශ්වාසයකදු නොමැතිව ආගමක පිහිට පතන පුද්ගල සමූහයකට පෙනී යන්නේ කෙසේද? ආතුරයෙකු නැතහොත් පිස්සෙකු ලෙස…
එසේම දේශපාලන තන්ත්‍රය තුළ සැබැවින්ම පුරවැසියා පිළිබද හැගීමෙන් අවංකව දේශපාලනයේ නියැලෙන පාලකයෙකු, සමාජය ඉදිරියේ සාධූ චරිත සේ පෙනී සිටින සූක්ෂම හා හොර පාලකයින් පිරිසකට පෙනී යන්නේ කෙසේද? නිවට නැතිනම් නිකමෙකු ලෙස… සාමාන්‍ය මහාජනතාව පවා ඔහු හැඳිනගන්නේ නිවටයෙකු ලෙසය. නමුත් සැබැවින්ම වැරදි කවරෙක්ද? හොර, තක්කඩි පිරිමි වේශිත පාලකයින් මිස නිවට යැයි පවසන අවංක පාලකයා ද?
නාට්‍යය තුළ ආතුර චරිතය – කුමාර, මේ පුද්ගල ශානරයේම එකෙකු නොවේද? තම රැකියා ස්ථානයේ, බිරිඳ සේවය කරන ඇඟලුම් කම්හලේ, බසය තුළ, ඒ පවතින ක්‍රමයට අනූකූල නොවී ඊට අභියෝග කරන එකම චරිතය කුමාර පමණකි. එබැවින් සාමාන්‍ය බවේ හා හුරුපුරුදු බවේ නින්ද්‍රාවට වැටී සිටින අනෙකුන්ට ඔහු පිස්සෙකි. ආතුරයෙකි.
නමුත් නාට්‍යකරු මේ සියලු සිද්ධි ගැලපීම් හරහා ඉදිරිපත් කරන්නට උත්සහ දරණ යෝජනා අතිශය නූතනය… ප්‍රායෝගික ය…
ක්‍රමයක් ස්ථාපිත වූ විට යමෙකුට ඒ තුළ පැවැත්ම තහවුරු කර ගත හැක්කේ තම මානසික සිහිබුද්ධියේ සීමාව තෙක් පමණි. ස්ථාපිත වූ ක්‍රමයක් (system) නැතහොත් එහි දේශපාලනික සොබාවය අත්‍යන්තයෙන්ම අරුත් අතින්ම වෙනස් නොවන බව හා එය වෙනස් කිරීමට දරණ උත්සාහයම ආතුර හැඟීමක් බව නාට්‍යකරු යෝජනා කරන්නේය.
එය වැලට ගහ දිගේ යන්නට පණ නැතිවිට ගහ වෙනස් විය යුතු යැයි කෑ ගසන්නා සේය. ගායනා තරගයකට ඉදිරිපත් වීමට ගායන හැකියාවක් නොමැති විට තරගය වෙනස් කරන්නට යැයි උද්ඝෝෂණය කරන්නා සේය. කළ යුත්තේ අප ගයන්නට ඉගෙන ගැනීම නොවේද?
අපගේ මේ ගතවීම සිදුවන්නේ ධනවාදයේ තෙවැනි කාර්තුව තුළය. ධනවාදය මිස තවදුරටත් ලෝකයට විකල්ප නොමැති බව පිළිගැනීමට කාලය එළැඹ තිබේ. සියල්ල ආත්මාර්තය වෙනුවෙන් සැකසුනු ධනවාදය තුළ හොඳ හෝ නරක යැයි සම්මත නැත. හොඳ හෝ නරක යනු මනෝ මූලික කාරණාවකි. කල්පිතයකි. ක්‍රමය ගොඩනැඟී ස්ථාපිත වූ විට ඒ තුළ තමාට සිනා වීමට ක්‍රමවේදයක් සකසා ගන්නවා මිස හැඬීමට කරුණු ගොනු කිරීම මෝඩකමකි. වීරත්වය නැමති සංකල්පීය මුලාව තුළ අතරමංව මියයාම කිසිවිටෙක වීරත්වයක් නොවන්නේය.
ආගමික අර්ථයෙන් පරිභාහිරව දාර්ශනික අදහසින් ගත්විට බුදුන්, ජේසු ගේ සිට ඇරිස්ටෝටල් ආදී දාර්ශනිකයින් පවා කිසිවෙකුත් ක්‍රමය වෙනස් කිරීමට උත්සහ දැරුවේ නැත. බුදුන් වහන්සේ ක්‍රමය වෙනස් කළේ නම් අදත් ඉන්දියාව තුළ කුලභේදය පවතින්නට හැකියාවක් නැත. උන්වහන්සේ ක්‍රමය නිර්වචනය කළා පමණි. අරමුණු වෙනුවෙන් තමාට ක්‍රමවේදයක් සකසා ගත්තා පමණි.
බුද්ධ කාලීන සමාජයේ පමණක් නොව අප දන්නා මෑත ඉතිහාසයේ ද වර්තමානයේ ද නිදර්ශන බොහෝය. සිංහල භාෂාව ජාතික භාෂාව කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක තම දරුවන්ට සිංහල ඉගැන්නුවේ නැත. මෑත කාලයේ රටටම සිංහල ඉගැන්වූ සන්නස්ගලගේ දරුවන් උගත්තේ ඉංග්‍රීසියෙන් මිස සිංහලෙන් නොවේ. ඔවුන් සංස්කෘතික ලෝකය තුළ ප්‍රායෝගික ය. ඒ ස්ථාපිත ක්‍රමවේද තුළ තම පැවැත්ම සකසා ගැනීමකි. තමාට හැඩයක් සකසා ගැනීමකි. ඒ ක්‍රමය අනුව ජීවිතය වතුර කළ මිනිස්සු ය. ක්‍රමය වෙනස් කිරීමට ගිය වීජේවීර, ගමනායක වැන්නවුන් මෙන්ම ප්‍රභාකරන් පවා අද මළවුන් අතරය. ක්‍රමය එලෙසමය. මේ සමීප නිදර්ශන කිහිපයක් පමණි.
නාට්‍යය තුළ යකැදුරා හා දමිල ගැහැණිය මුල්වරට හමුවන මොහොත සිහියට නගන්න.. එකිනෙකා තමාට අනුව හැඩගසා ගැනීමට උත්සහ දරණ තෙක් තම අරමුණ ඉටුකර ගැනීමට ඔවුන් අසමත් වූවා නොවේද? ස්වභාවය වෙනස් නොකොට ඒ විවිධත්වය තුළ අනෙකාව හඳුනා ගැනීමට පටන් ගත් මොහොතේ සිට ඔවුන්ගේ අභිමතාර්ථ ඉටුවීම ඇරැඹෙන්නේය. නියම ජාතිකතවය සොයා යා යුත්‍තේ රට තුළ පෙහොසත් විවිධත්වය හා බහුත්වය තුළ මිස පාරිශුද්ධ සිංහල බෞද්ධකමක් තුළ නොවේ. අන්‍ය සංස්කෘතික මිශ්‍රණ තුළම නැති වී ගිය තම ජාතිකයා සෙවීම උගහටය. ලංකාව යනු බහුසංස්කෘතික රටකි. එය ස්ථාපිත වී අහවරය. එය තනි චින්තනයක් හෝ තනි හඬක් කළ නොහැක. ඒ තුළ තමාගේ හැසිරීමේ ස්භාවය නිර්මාණය කරගත යුතුය. ක්‍රමය තුළ තමා සුසර කල මිනිසෙකු බිහිවිය යුතුය.
එසේනම් ‘වෙනස’ සඳහා අප තුළ ඇති බාධාවම, මෙය වෙනස්කළ යුතු යැයි සිතන මානසිකත්වයම ය. කොටින්ම අප වෙනස් කරගත යුත්තේ කුමක්ද යන්න නොදැන සිටීමය. එය අවබෝධ වූ විට අප තුළ ඉතිරි බෝම්බ නිශ්ක්‍රීය කරගත හැක. මන්ද ඛේදවාචකය, යම් මොහොතක තමන්ට තමන් ගැනම “මං ලඟ බෝම්බයක් ඉතුරුයි” යන්න අදහසක් පහළ වූවහොත් ය.
එලෙස යම් මොහොතක ඔබට ද සිත නැමැති අවකාශය තුළ යකඩ කැබැලි , ඇසිඩ්, ප්‍රතිඔක්සිකාරක ලවණ, රසායන වැනි පුපුරණ ද්‍රව්‍ය එකතුවනවා සේ දැනෙන්නට පුලුවන. ඒ දැනුණු වහාම තමා තුළම එය නිශ්ක්‍රීය කරගැනීමට උත්සහ දරන්න. නැතිනම් හිස් අවකාශයක් සොයා ගොස් පුපුරුවා හරින්න. වෙස් අත්තක් යට, අල්ලසකට හෝ යක්ශයා වෙතම බාරදෙන්නට උත්සහ දරන්න. මහපොලොවේ තැන තැන යකඩ කැබැලි, ඇසිඩ්, රසායන වැටෙන්නට පමණක් නම් ඉඩ නොදෙන්න.