බ්‍රසීලයේ එක්තරා නගරයක, සැම්සුන් සමාගමේ අලෙවිසැලක සේවකයෙකුට තරමක වෙනස් දර්ශනයක් ඇස ගැටෙනවා. පරණ වුන පාසල් බෑගයක් එල්ලගෙන ඉන්න අවුරුදු 10 විතර පුංචි කොලු ගැටයෙක් අලෙවිසැලේ ප්‍රදර්ශණයට තබා තිබුණ ජංගම දුරකථනයකින් කුමක් හෝ දෙයක් සොයා බලන අතරේ විටෙන් විට තමන් අත රැඳි සටහන් පොතක යමක් සටහන් කර ගන්නවා. දින ගණනාවක් මේ සිදුවීම නැවත නැවතත් සිදුවුණ පසු, එක්තරා දිනෙක මේ සේවකයා දරුවාගෙන් අසනව ඔහු සෑම දිනකම මෙහි පැමිණ කුමක් කරනවාදැයි කියා.
දරුවා ලබා දුන් පිළිතුරෙන් ඔහු පුදුමයට පත්වෙනවා. අවරුදු දහයක් වයස ගිලියර්ම සන්තියාගෝ කියන මේ දරුවා කියනවා ඔහු මෙතනට එන්නේ පාසැලෙන් දුන් පැවරුම් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමට බව. පැවරුම් කිරීමට භාවිතා කිරීම සඳහා සන්තියාගෝ ගේ නිවසේ අන්තර්ජාල සබඳතාවක් හෝ පරිගණකයක් නැහැ. දරුවාගේ දැනුම ලබාගැනීමට ඇති උත්සාහය ගැන පැහැදුණු මේ සේවකයා දරුවාට ආරාධනා කරනවා එහි ප්‍රදර්ශණයට තබා ඇති ටැබ් පරිගණකයක් භාවිතා කරමින් ඔහුගේ කාර්යය වඩා පහසුවෙන් කරගන්නා ලෙස.
ඒ අතරේ ඔහු මෙම සිදුවීම සමාජ මධ්‍යය හරහා ප්‍රචාරය කරනවා. ලෝකය පුරා මෙම සිදුවීම ගැන සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා. පසුව සැම්සුන් සමාගමෙන් නොමිලයේ ටැබ් පරිගණක දෙකක් සහ අන්තර්ජාල සබඳතාවක් සන්තියාගෝගේ නිවසට ලබා දෙන්නේ දැනුමට ප්රවිශ්ඨ වීමට සන්තියාගෝ දැක්වූ නොපසුබට උත්සහය අගය කිරීම සඳහායි.
මේ වසරේ බ්‍රසීලයේ මේ සිදුවීම වෙනකොට ලෝකයේ තවත් කොණක සිටි දකුණු අප්‍රිකානු ජාතික ඊලාන් මස්ක් කියන දරුවා තමන්ගේ පරිගණකයෙන් පරිගණක වැඩසටහන් ලිවීම තනියෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ ඔහුට වයස අවරුදු දහයෙදී. ඒ 1981 අවරුද්දේ. අවරුදු 12 දී තමන්ම නිර්මාණය කළ පරිගණක මෘදුකාංගය ඩොලර් 500 ට විකිණූ ඊලාන් අද වන විට ඩොලර් බිලියන 105 ක වත්කම් සහිතව ලෝකයේ ධනවතුන්ගේ ලයිස්තුවේ හතරවෙනියා බවට පත්වී සිටිනවා.
[Elon Musk, CEO of Tesla]
ඊලාන් අද වෙනකොට ලෝකයේ වටිනාම කාර් නිෂ්පාදන සමාගමේ හිමිකාරයා. ඊලාන්ගෙ ස්පේශ් එක්ස් සමාගම දැවැන්ත බෝයිං සමාගම සමඟ තරග කොට බෝයිං සමාගමට කලින් මිනිස්සු අභ්‍යවකාශ ගත කරා විතරක් නෙවෙයි, අඟහරු වලට මිනිස්සුන් යැවීමටත් සැලසුම් කරනවා. අනික් පසින් ස්ටාර් ලිංක් වැඩසටහන හරහා ලෝකය පුරා නාගරික නොවන ප්‍රදේශ වලට අඩු මිලට වේගවත්ව අන්තර්ජාලය සපයන්න ක්‍රියාකාරිව වැඩ කරනවා. සෝලාසිටි හරහා පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව කටයුතු කරන අතරේ හයිපර් ලූප් හරහා ගොඩබිම් ප්‍රවාහනයේ රැඩිකල් වෙනසක් කරන්න උත්සාහ කරනවා.
වාසනාවකට ඊලාන් ඉපදුනේ දකුණු අප්‍රිකාවේ තාක්ෂණය ගැන සුබවාදීව බැලූ මධ්‍යම පාංන්තික පවුලක දෙමාපියන්ගේ දරුවෙක් විදිහට. ඊලාන්ගේ දෙමාපියන් සහ ගුරුවරු ඊලාන්ව තාක්ෂණයෙන් දැනුමෙන් ඈත් කරන්න උත්සාහ කළේ නෑ. පුංචි කාලෙ තමන්ට ලැබුණු මෙම තාක්ෂණික නැඹුරුව සහ හැකියාවන් ඊලාන්ට පමණක් නොවේ අපි හැමෝම දන්නා හඳුනන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, මයික්‍රසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් වගේ පුදුගලයින්ට ලෝකය වෙනස් කරන්න උපකාරී වුණා.
[Mark Zuckerberg, Bill Gates and Elon Musk. Photos: @zuck/Facebook; Getty Images; dpa]
බ්‍රසීලයේ අවවරප්රසාදිත පවුලක ඉපදුණු සන්තියාගෝලා තාක්ෂණයට පිවිසීමට ඇති ආර්ථික, සමාජයීය වැට කඩුලු බිඳගෙන ඊලාන්ලා හදන සුහුරු ලෝකය දිග්විජය කරන්න ළහි ලහියේ සුදානම් වෙනවා. ඒ අතර අපි “ජංගම දුරකථනයක් අත නොමැති සෑම දරුවෙකු පසුපසම බුද්ධිමත් දෙමාපිය යුවළක් ඇත” යනුවෙන් පවසමින් දරුවන් නූතනත්වයෙන් ඈත් කොට ආපසු පැරණි යුගයට ගෙන යන්න උත්සාහ කරණවා.
සන්තියාගෝලා මීළඟ ඊලාන්ලා වී ලෝකය වෙනස් කරන්න මග හෙළි කරගනිමින් යද්දී අපි, අපේ දරුවන් සාම්ප්‍රදායික වෘත්තිකයින් කිරීමට හෝ කාර්යාල රැකියා කිරීම සඳහා පුහුණු කරනවා. තාක්ෂණය සමඟ යාවත්කාලීන වූ ඊලාන්ලාගේ සිහින අපව අඟහරු ජනාවාස කිරීම සඳහා රැගෙන යද්දී, තාක්ෂණයෙන් දැනුමෙන් විතැන් වූ අපේ සිහින අපව මෙම කොදෙවුවෙන් එපිටට වත් ගෙන යාමට අසමත්.
දරුවන් අන්තර්ජාලයට නිරාවරණය කිරීමේ අවදානමක් තිබෙන බව සත්‍යයක්. නමුත් අපි මේ අයුරින් ඔවුන් තාක්ෂණයෙන් ඈත් කිරීම, අපගේ ඉදිරි පරපුර අනාගත ලෝකයේ පසුපසින්ම සිටින පුරවැසියන් බවට පත් කිරීමට හේතු වනු ඇති.
ඊලාන්ලා සිහින දකින අනාගත සුහුරු ලෝකය ගොඩනංවන්නේ දැනුම සහ අවස්ථා හඹා එන සන්තියාගෝලා වෙනුවෙනි. අප මෙම පසුගාමී ආකල්ප සමඟින්ම ඉදිරියට ගියහොත් අපගේ අනාගත පරපුරෙන් ඉතා සුළු පිරිසක් සන්තියාගෝලාගේ සිහින සැබෑ කිරීමට ශ්‍රමය, බුද්ධිය විකුණන අතරේ අනෙක් පිරිස සන්තියාගෝලාගේ ලෝකය දෙස දෑස් දල්වා බලා සිටිමින් අපේ අතීත ශ්‍රී විභූතිය ගැන උදම් අනමින් සිටිනු ඇති.
One Response
Great innovative story.
Comments are closed.