(චිත්‍රය: දේශාන් කරුණාරත්න)
සිදුහත් තවුසාණෝ බ‍්‍රාහ්මණ වෛදික දහම ගැන මනා පරිචයක් ලැබ සිටියහ. එයින් විමුක්තියක් නොලැබෙන බවද පසක් කර ගෙන සිටියහ. එමනිසා කුමක් කරම්දැයි මඳක් විපිළිසර විය. උපනිෂද් ධර්මය පමණක් සිදුහත් තවුසාණන්ට යම්තරමකට රුචි විය. ඒ ඔස්සේ තවදුරටත් හැදෑරීමට ඉටාගති. එකල්හි යෝග භාවනා ක‍්‍රම හදාරා සිටි මුනිවරයෙකි ආළාර කාලාම. එසේම අන්‍යයන් අතර කැපී පෙනෙන වාද විවාද වලට යොමු නොවූ වියත් පඬිවරයෙකි. සිදුහත් තවුසාණෝ ආළාර කාලාම සොයා යා යුතු යැයි තීරණය කළහ. හෙතෙමේ එම අරමුණින් වේසාලි නගරය බලා පිටත් විය.
ආශ‍්‍රමයේදී සිදුහත් තවුසාණන් පිළිගත් ආළාර කාලාමයෝ කුමණ අරමුණක් ශාක්ෂාත් කරගැනීමට පැමිණියේදැයි විමසූහ. තම සත්‍ය ගවේෂණයත්, ඒ සඳහා ආරම්භයක් වශයෙන් ධ්‍යානාශ‍්‍රිත භාවනානුයෝගී ජීවිතයකට ගුරුහරුකම් ලැබීමට පැමිණි බවත් පැවසීය. ආළාර කාලාම මුනි විස්මයට පත්ව පැවසූයේ එවැනි පරිශ‍්‍රමයකට සිදුහත් තවම තරුණ වැඩි බවයි. ‘‘ඔබ බොහෝ කඩවසම් තරුණයෙක්. ඔබගේ ජාත භූමිය කිනම් පෙදෙසකද? මෙසේ වනගතවීමට සිතුවේ කවර කලකිරීමක් නිසාද? විවාහකද? …’’ අදී නොයෙක් ප‍්‍රශ්න විචාළහ.
සිදුහත් තවුසාණෝ සියලූ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දුන්හ. ශාක්‍යයන්ගේ සුදොවුන් රජු හොඳින් දැන සිටි මුනිවරයා පුදුම විය. රාජ්‍ය උරුමයත් හැරදමා මෙම කුමරු පැමිණ ඇත්තේ ආශ්චර්යමත් ගමනක්ය. පිළිසඳරේදී මොහු බොහෝ දැනුම් තේරුම් ඇති බුද්ධිමතෙකු බව වටහාගත් ආළාර කාලාමයෝ සතුටු වී, සිදුහත් තවුසාණන්ට ශිෂ්‍යභාවය ප‍්‍රදානය කළහ.
එතැන් පටන් වනවාසයත්, විවේක සුවයත් සිදුහත් තවුසාණන්ගේ මනස සුවපත් කළේය. ආශා තුනී කරගනිමින් ක‍්‍රමයෙන් ඒවා ප‍්‍රහීණ කරගන්නට වනගත තවුස් දිවිය රළු වූ තරමට පහසුව දැනේ යැයි එතුමාට සිතුණි. ආශා හැකිතාක් දුරු කළ අල්පේච්ඡ සන්තුෂ්ඨිය සිදුහත් සැමදා අගය කළ වෘතයකි. එතුළින් අපිස් ජීවිතයක් වෙත එළඹීම ඔහු උගත්තේ ආළාර කාලාම මුනිවරයාගෙනි. එය තම පුද්ගලික විමුක්තියට යම් පිටිවහලක් වුවත් සියලූ මනුෂ්‍යය ජනයාගේ යහපතට ඉන් ඵලක් නොවන බව වටහාගත් සිදුහත් තවුසා ඊට ගැලපෙන මානසික චර්යාවක් සෙවීමටයි උත්සාහ කළේ. ‘සැම දෙනාම ලෞකික ජීවිතයේදී නොයෙක් උවමනා එපාකම් සඳහා වෙහෙසෙති. නමුත් ඒ උවමනාවන් සියල්ල ඉටුවන්නේ නැත. නොකැමැති ඒවා නොලැබී යන අයුරින් ක‍්‍රියා කරන්න තැත් කළත් එය සාර්ථක වන්නෙත් නැත. අප කැමති දේවල් බොහොමයි. අකමැති දේවලූත් බොහොමයි. කොපමණ උත්සාහ කළත් කැමති සියල්ලම නොලැබේ. අකමැති සියල්ල දුරු කරගන්නත් නොහැකි වේ. මේ නිසා සිත කළම්ඹන චෛතසික ධාරාව පුද්ගලයා දුකට පත් කරයි. මේවා විශ්ලේෂණය කර සැමට සතුටින් ජීවිතය ගතකළ හැකි මගක් සෙවීමයි මගේ උත්සාහය. සමථ වැනි භාවනාවකින් සිතත් කයත් යම් පමණකට සංවරකර ගත හැකියි. එමගින් මානසික සුවයක් වගේම මානසික ශක්තියක් ද ලැබිය හැකියි. නමුත් එය භාවනාවේ යෙදී සිටිනතාක් පමණයි. සිත පාලනය කිරීමක් විතරයි සිදුවන්නෙ. පාලනයෙන් මිදුන විගස ජාගර චිත්තය වියැකී යනව. එවිට නැවත උද්යෝගිමත් වන්නේ ලෞකික සම්පත් ළඟා කර ගැනීමටයි. තමන් සොයන්නේ පුද්ගලික විමුක්තිය නොව සැම දෙනාගේම විමුක්තියට මාර්ගයක් නොවේද? සමථ භාවනාවෙන් පරම සත්‍ය සෙවීම උපනිෂද් මාර්ගය නොවේද? මෙය මිනිසා සිය ප‍්‍රශ්නවලින් පැනයාමේ මාර්ගයක් ලෙස යොදා ගත් නිසා එහි චේතෝ විමුක්තියක් නොමැති බව සිදුහත් තවුසාණෝ තනිවම කල්පනා කළහ.
කාලාමයන්ගේ ආශ‍්‍රමයේ ධර්මය හදාරමින් පුර පෝය හයක පමණ කාලයක් ගෙවුනිණි. මේ කෙටි කාලය තුළ සිදුහත් තවුසාණෝ තම ගුරු දේවයන්ගේ දැනුම මුළුමනින්ම වාගේ උකහා ගත්හ. අෂ්ට සමාපත්ති ධ්‍යානයන්ගෙන් චතුර්ථ ධ්‍යානය දක්වා සමවැදීමට හෙතෙම සමත් විය. එහෙත් ධ්‍යානයේ සිටියදී යම් සුවයක් ලැබුවා නම් ඉන් මිදුන පසු නැවත මේ ලෝකයේ දුකට මුහුණ දෙන්නට සිදුවන බව වටහා ගති. එනිසා තවදුරටත් මේ ව්‍යායාමය කරගෙන යාම නිරර්ථක බව දැනුණි. මෙය චේතෝ විමුක්තියට මාවත නොවේ. ඉදිරියටත් මෙහිම රැඳී සිටීමට කැමැත්තක් නොදැක්වීය. අළාර කාලාම තවුසා අකුටිල සිතින් දැන්වූයේ තමා දන්නා සියල්ල ගුරු මුෂ්ටි නොතබා උගන්වා හමාර බැවින් එහිම නැවතී එතුමා හා සමව සිසුන්ට ගුරුහරුකම් දෙන ලෙසය. එහෙත් එයින් තම අපේක්ෂාවන් ඉටු නොවන බව වටහාගත් සිදුහත් තවුසාණෝ ගුරු ගෞරවය පෙරටුව බැති සිතින් දෙපා නැමද ආශ‍්‍රමයෙන් නික්මුණේ තම පරමාර්ථ කෙසේ හෝ සාක්ෂාත් කරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙනි.
තමන් අසා ඇති පරිදි ධ්‍යානාශ‍්‍රිත ධර්ම ඉගැන්වීම ප‍්‍රගුණ කළ මුනිවරයෙකු වූ උද්දකරාම පුත්ත සොයා යාමට සිදුහත් තවුසා තීරණය කළේය. ආළාර කාලාමයන්ගේ අනුදැනුමද මත සිද්ධාර්ථ තවුස් තෙම උද්දකරාම ගුරුතුමන් මුණ ගැසුණි. මේ තරුණ තවුස් තෙම ආළාර කාලාමගේ විශිෂ්ටතම ශිෂ්‍යයා වග දැන සිටි උද්දකරාම බොහෝ සේ සතුටු විය. සිප් සතර හැදෑරීම නොබෝ දිනකින්ම ඇරඹිණ. එය යම් ආකාරයකින් ආළාර කාලාම ධර්මයේම දිගුවක් ලෙස වැටහුනිණි. එහෙත් ඔහුටම ආවේනික ගුරුකුලයක් තනා තවුස් දම් පුරන්නෙකි. භාවනා සහ ධ්‍යාන මහත් උනන්දුවෙන් පුරුදු පුහුණු කළ සිදුහත් තෙම උද්දකරාම යටතේ අෂ්ට සමාපත්තීනන්හි ඉතිරි ධ්‍යාන සතර වැඩුයේය. පිළිවෙළින් එම ධ්‍යානයන් නම් ආකාසාණඤ්චායතන ධ්‍යානය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, සහ නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන ධ්‍යාන සතරයි. ඊට අමතරව ජෛන සහ සාංඛ්‍යා දර්ශණයද හැදෑරුවේය.
මෙහිදී ද වටහාගත් සත්‍යය වූයේ ධ්‍යානයක සුවය රැඳී ඇත්තේ එහි සමවැදී සිටින තාක් පමණක් බවය. අනිත් අතට එය පුද්ගල කේන්ද්‍රීය ව්‍යායාමයන්ය. සිදුහත් තවුසාණෝ ගිහිව සිටින කාලයේ වුව අරමුණු කළේ සියලු ජනයාගේ දුක නැති කරගැනීමේ මාර්ගයක් සොයා ගැනීමය. මෙසේ මේ ගුරුකුල දෙකෙන්ම තම අරමුණු ඉටු නොවන බැව් පසක් වූයෙන් තවත් ගුරුවරු සොයා යාම ඵල රහිත යයි සිතා තමන් විසින්ම විමුක්ති මාර්ගය සොයා යා යුතු බව නිගමනය කළේය. පුද්ගලික දිවි පෙවෙත නිස්සරණාධ්‍යාශයෙන් ගෙවා දැමීමටත් මනස සංසිඳවීමටත් වනගත වීම උචිතයි. ඒත් තමා අපෙක්ෂා කළ පුද්ගල විමුක්තිය ඉක්ම වූ පොදු ජන විමුක්තියට ඉන් කිසිම ප‍්‍රයෝජනයක් නැත.
තම උත්සාහයන් සාර්ථක නොවීමෙන් අධෛර්යයට පත් නොවූ සිදුහත් තවුසා තමා ම සත්‍ය සොයා යමි යි අදිටන් කරගෙන මගට පිළිපන්නේ, මගධ රාජධානියෙහි උරුවෙල දනව්වේ සේනානි නම් කුඩා සුන්දර ගම්මානයක් කරා සේන්දු විය. අරමුණක් සොයමින් පියමං කරන සිදුහත් තවුසාණෝ අහම්බෙන් වාගේ නේරංජරා නදිය අසබඩට පැමිණියහ. රමණීය භූමිය භාගය මැදින් නදී තොමෝ නිසංසලේ හෙමිහිට සිත්කලූ අයුරින් ගලා බසී. ඉවුරු දෙපසම ප‍්‍රසාදය එළවන්නා වු නීල තුරු ලතාවන්ගෙන් වෙලූන වන ගුල්මය පියකරුය. සුදු පාවඩ ඇතිරුවා මෙන් ගං තලාව සුදු වැල්ලෙන් වැසී ඇත. මනරම් තොටුපළින් හැඟවූයේ හාත්පස ගොදුරු ගම්මාන පැවති බවය. පිරිසිදු වාතය රැගෙන ආ සිහින් මඳනල සිහිල්ය. සිත එකලස් කරගෙන වීර්ය කරන කුලපුත‍්‍රයෙකුට සමාධි ගතවීමට උචිත පරිසරයකි.
ඒ අසල එළිමහන් තැනක තවුසන් පස් දෙනෙකු සිරුරට දුෂ්කර වූ වෙහෙස කරවන අන්දමේ නොයෙකුත් ක‍්‍රියාකාරකම්වල යෙදී සිටිනු සිදුහත් තවුසා නිරීක්ෂණය කළේය. ඔවුහු මඳ ඉසිඹු ලෑමකින් ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සිදුහත් තෙමේ සන්සුන් ගමනින් ඔවුන් වෙත පිය මැන්නේය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසු මේ නව යෞවන තාපස තෙම රාජකීය පවුලකින් පැවත එන, එහෙත් ගිහිගෙය අතහැර වන වැදුන කෙනෙකු බව වටහා ගති. ඔහුගේ අරමුණ හා ඉලක්කය කුමක්දැයි තපස්වීන්ගෙන් කෙනෙක් විමසීය.
‘‘මම ජීවිතයේ දුක පිළිබඳ ගැඹුරින් හදාරමි. ගුරු තන්හි ලා සැලකූ මුනිවරයන්ගෙන් ඊට නිසි විවරණයක් නොලැබුණෙන් දැන් මම දුක අභිබවා යා හැකි ක‍්‍රමයක් සොයමින් ඒ සඳහා ස්වෝත්සාහයක යෙදෙමි’’.
‘‘ඉතා කදිමයි. අපි මෙම අභ්‍යාස වලින් හා වෙනත් නොයෙකුත් දුෂ්කර හා වෙහෙසකර ක‍්‍රියාකාරකම් වලින් කරන්නේත් ශරීරාත්මයට දුක් පමුණුවා එය තේරුම් ගන්නයි. එන්න අප හා එක්වන්න’’.
කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී නාමයන්ගෙන් තවුසන් පස්දෙනා තම තමන් හඳුන්වා දුන් පසු සියල්ලන්ගේම අනුමැතියෙන් සිදුහත් තවුස් තෙමේ ඔවුන් සමග එක්ව දුෂ්කර තපස් ජීවන මාර්ගයක ගමන් කරමින් විමුක්තිය සොයන මඟට පිළිපන්හ.
මුලින්ම ආහාරය පිළිබඳ සීමා පනවා ගත්හ. දිනකට එක වේලකින් සෑහීමට පත්වන්නට සිදුවිය. අසල්වැසි ගම්මු දානය පිළිගැන්වූහ. නොලැබුණු දිනට වන පලාඵල වලින් යැපුනි. නොඑසේ නම් එක නමක් පිණ්ඩපාතේ වැඩ ලැබෙන අහර සුඟ සියලූ දෙනාම වැළඳූහ. ආහාර අවශ්‍ය වූයේ ජීවිතය යන්තම් පවත්වාගෙන යාම සඳහා පමණි. එනිසා ආහාරය එතරම් ප‍්‍රශ්නයක් නොවීය. ජීවිතයේ ඇති තරම් සුඛ විහරණ විඳි සිදුහත් කුමරු, දැන් තවුස් දම් රකිමින් සිත දැඩි කරගෙන දුෂ්කර ක‍්‍රියා කිරීම අපූර්ව අත්දැකීමක් වූවා නිසැකය.
සිදුහත් තෙම ආරම්භයක් වශයෙන් ශරීරයට දුෂ්කර ක‍්‍රියා පැමිණවීම ආශ්වාස ප‍්‍රශ්වාස ක‍්‍රියාවලියෙන් පටන් ගැනිණ. දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන හුස්ම රඳවාගෙන කුසල් සිත පමණක් මතු කරන්නට උත්සාහ දැරූහ. කිහිලිවලින් දහදිය වැගිරෙනු දැනෙන තෙක් මේ ආරම්භක ව්‍යායාමයේ යෙදිණි. දෙවනුව අභ්‍යාසයක් වශයෙන් ආශ්වාස, ප‍්‍රශ්වාස වළකාලීය. එවිට කන් සිදුරුවලින් මයින හමක් පිඹින සේ ශබ්ද ඇසෙන්නට වන. ආශ්වාස, ප‍්‍රශ්වාස වැළැක්වීමෙන් කන් අගුලූවැටී හිස් මුදුන පළන්නාක්මෙන් මහත් වූ රුජා ඇතිවිය. නොහැකිළුනු වීර්යයෙන් සහ එළඔ සිටි සිහියෙන් අභ්‍යාසය කරත්ම ශරීරය දාහ සහිත විය. දිගටම අභ්‍යාසයේ යෙදෙන විට ආශ්වාස සහ ප‍්‍රශ්වාස නතර කරගෙන සිටි නිසා ශරීරයෙහි අධික දැවිල්ලක් හටගති. කෙතරම් දුක් වේදනා පැමිණියත් එළඹ සිටි සිහිය හා මුළා නොවීම හේතුවෙන් කුසල් සිත විනාශ නොවීය. ශරීරය පමණක් දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසන්සිඳුණේ වෙයි.