ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන්  ගායනා කිරීම පිළිබඳ මේ දවස්වල සමාජ ජාලවල විවිධ මත පළවෙනවා. බහුතරයකගේ තර්කය තමා බිලියනයක් ජනතාව ඉන්න ඉන්දියාවේ ජාතික ගීය ගායනා කරන්නේ එක භාෂාවකින් නම් ඇයි ලංකාවේ විතරක් සුළුතරයකගේ භාෂාව වන ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්නේ කියලා. ඔය අතරේ සමහරු ඉන්දියාවේ ජාතික භාෂාව හින්දි කියලත් තැනක ලියලා තියෙනවා දුටුවා. 

ඉන්දියාවට නිල භාෂාවක් නැහැ. මධ්‍යම රජය සමග ප්‍රාන්ත රාජ්‍යයන් කරන ගනුදෙනු වලදීත් පාර්ලිමේන්තු කටයුතු වලදීත් හින්දි භාෂාව භාවිත කරනවා. ඉන් අදහස් වන්නේ නැහැ හින්දි භාෂාව නිල රාජ්‍ය භාෂාව වග. ඉන්දියාවේ නිල භාෂා විසි දෙකක් තියෙනවා. මහා කවි, ගුරුදේව් රබීන්ද්‍රනාත් තාගෝර් තුමා දැනට ජාතික ගීය ලෙස ගැයෙන ජන ගන මන ගීතය ලියන්නේ 1905 දී. මේ නිර්මාණය කවියක් ලෙසට මුලින්ම පළවුණේ  තාගෝර්තුමන් විසින්ම සංස්කරණය කළ තත්වාබෝධිනී පත්‍රිකා නම් ජර්නලයේ. කවිය නම් කරන්නේ භරතෝ භාග්යෝ භිධාතා ලෙස. මේ කවිය ගීතයක් ලෙසට මුල්වරට ගැයෙන්නේ 1911 වසරේ දෙසැම්බර් මාසේ විසි හත් වැනිදා ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ රැස්වීමකදී. අනතුරැව 1912 දී එතුමන්ගේ ඥාති දියණියක් වන සාරලා දේවී චවුද්‍රානි නැමැත්තිය නැවත වතාවක් ජාතික කොන්ග්‍රස රැස්වීමකදී කුඩා පාසැල් ළමුන් පිරිසක් සමග ගීතය ගායනා කොට ගීතය ජනගත කරනවා. 

කාලයාගේ ඇවෑමෙන් හෙමි හෙමින් ජනතාව අතර ජනප්‍රිය වන මේ ගීතය 1945 දී බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ “හම්රාහී” චිත්‍රපටයේ පසුබිම් ගීතයක් ලෙස ගැයෙනවා. එවිටයි ගීතය ජනප්‍රියත්වයේ මුදුනට ඔසවා තැබෙන්නේ. 

1947 අගෝස්තු 14 වැනිදා ඉන්දියානු නිදහස් දින උලෙළේදී ජන ගන මන ජාතික ගීය ලෙස ගැයුනත් එය පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික ගීය ලෙස සම්මත කරගන්නේ පසුව. 

දැන් මේ ජන ගන මන ගීතය ලියැවෙන්නේ තාගෝර්තුමන්ගේ ජන්ම භූමිය වන බෙංගාලයේ නිල භාෂාව වන බෙංගාලි භාෂාවේ අනු භාෂාවක් වන සාධු බෙංගාලි නැතිනම් තත්සම බෙංගාලි භාෂාවෙන්. එය සංස්කෘත භාෂාවට ඉතා කිට්ටු බෙහෙවින්ම සංකෘතකරණය වූ අනු භාෂාවක්. ඒ නිසාම තමා ඉතා පහසුවෙන් සියලුම ඉන්දියානුවන්ට මේ ගීතය අනායාසයෙන්  ගායනා කරන්නට හැකිවන්නේ. 

අනෙක මේ ගීතයේ පද රචනය හරිම සරළයි. වරක් දෙවරක් ගායනා කළාම හෝඩියේ පංතියේ ළමයෙකුට වුණත් මතක හිටිනවා.  

ලංකාවේ ජාතික ගීය එහෙම මතක හිටින්නේ නැහැ. එක අතකට ශ්‍රී ලංකා මාතා ගීතය දිගයි. අනෙක් අතට අන් භාෂාවක් ප්‍රගුණ කළ අයෙකුට ගායනාව අපහසුයි.  ජන ගන මන ගීතය සංස්කෘත භාෂාවේ යෙදෙන සරල  වචන වලින් සැදුණු  නිසා අර්ථය විග්‍රහ කරගන්න ලේසියි. ඒ නිසාම හැඟීමෙන් සහ මහත් අභිමානයෙන් යුතුව ගායනා කරන්න පුළුවනි. 

ද්‍රවිඩයින්ට ශ්‍රී ලංකා මාතා ගීතය කඩපාඩම් කරගන්න අමාරු තරම් දිගයි. අනෙක කටපාඩම් කළත් හැගීමෙන් යුතුව ගායනය අපහසුයි. ඒ නිසා ද්‍රවිඩ භාෂාවෙන් ගීතය ගායනා කරන්නට ඉඩ දීම හොඳයි කියලයි මගේ අදහස. ගීත ද්විත්වයේම තේරුමේ අබ මල් රේණුවක වෙනසක් නැති නිසා ගායනා කිරීමේ ඇති වරද මොකක්ද ?  නමෝ නමෝ නමෝ නමෝ තායේ.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත