මිනිස්සු සමූහ වශයෙන් ජීවත්වෙන කොට අනිත් අයගේ හැඟීම්, බැඳීම්, බිඳීම් ගැන අවබෝධයෙන් හැසිරෙන්න වෙනවා. මෙන්න මේ තේරුම් ගැනීම නමැති ප්‍රායෝගික අභ්‍යාසයේ නිරත වෙනකොට හුඟ දෙනෙක් පාවිච්චියට ගන්න මෙවලමක් තමයි සාහිත්‍යය. පහත සටහන සාහිත්‍යය සහ තේරුම් ගැනීම අතර තියෙන සම්බන්ධය ගැන මෙනෙහි කිරීමක්.
දවසක් සම්මේලනයක් සංවිධානය කරන කොට, එයට සංස්කෘතික අංගයක් එකතු කිරීම ගැන කතාබහක් ඇති වුණා. සංවිධාන කමිටුවේ හිටපු වැඩිදෙනා රටේ සුප්‍රසිද්ධ නෘත්‍ය කණ්ඩායම් වල නම් ඉදිරිපත් කරමින්, ඔවුන් ගෙන්නමු කියා කිව්වා. කමිටුවේ සභාපති විරුද්ධ වුණා. ” මගේ දුවෙක් ඔහොම නටනවටවත්, මිනිස්සු මගේ දුව දිහා කෑදර කමෙන් බලනවටවත් මම කැමති නෑ” ඔහු තදින් හිටියා. හණමිට්ටෙක් බවට නම් දරා හිටි සභාපතිට අනිත් අය කසුකුසුවෙන් විසුළු කළා. ඉතින් නැටුම කෙරුණේ නෑ. ‘නැටුම් නැති උත්සවේ දෙවෙනි මනමාලිලා නැති මඟුල් ගෙදරක් වගේ’…කට්ටිය මූණු ඇද කරන් හිටියා.
අවුරුදු ගෙවුණා. උත්සව වල යස රඟට නැටුම් කෙරුණා. ඒවා ආසාවෙන් බැලුවා. අනේ ඒ වගේ නටන්න පුළුවන් වුණා නම්, ඒ වගේ අතපය, හීන් ඉඟ සුඟ කවදා හෝ තිබුණා නම් යැයි හිතුණ බවලත් උදවිය හිටියා. වෙන වෙන දේ හිතපු උදවියත් ඉන්න ඇති.
ඔහොම ඉන්න අතරේ කවි පෙළක් දුටුවා. ඒක ලිව්වෙ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල. කවියෙ කොටසක් තිබුණා මෙහෙම.
“ඇඟේ හැඩ නැති වෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවාදවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා”
එදා ඉඳන් නැටුම් බලන කොට වෙනදා නුදුටු දේවල් දකින්න ගත්තා. රැල්ලක් ගැලවුණු, මූට්ටුවක් ඈත්වුණු, අයන් පාරකට පිච්චුණු කොස්ටියුම් අස්සෙන්, මේකප් වලට යටින්, මලානික ඇස්, කෝටුකිතයි අත්, ඉල ඇට කූඩු , ප්ලාස්ටික් හිනාවල් පේන්න ගත්තා. මදු බඳුන් අතේ තියන්, නැටුමට නිරාවරණය වෙන වටොර, විදුලි සැර වැදුණා වගේ සලිත වන නිතඹ දිහා වශීකෘතව බලන්නන් ගේ ඇස් වලින් මේ කෙල්ලන්ව බ්ලොක් කරන්න නොහැකියාව ගැන වරදකාරී හැඟීමක් හිතට වද දෙන්න ගත්තා. උගුර හිරවිල්ල ඉවසගෙන, බිම බලා ගෙන ඉන්න පුරුදු වුණා.
කවි පන්තියේ නම ‘ලියමන‘. ගෑනු ලමයා දිගටම ලියනවා.
“අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා”
විටමින් ඌනතාවයෙන්, මන්දපෝෂණයෙන් පෙලි පෙලි රස්සා කරන වෙළඳ කලාපයේ තරුණ තරුණියො මතක් වුණා. හිමොග්ලොබින් අඩුයි කියලා රිපෝට් එකේ තිබුණම ‘හොඳට කන්න ඕන’ කියන දොස්තර මහත්තුරු නෝනල කී දෙනෙක් මේ ළමයි බෝඩින් කාමරේ ගත කරන ජීවිත ගැන දන්නවා ඇතිද? කලාපය ළඟම බිහිවෙලා තියෙන අලුත් ටවුන් වල ඇඳුම්, කෑම කඩ වලට වැඩිය තියෙන්නෙ රත්තරන් බඩු හා උකස් සාප්පු. තරුණියො සල්ලියක් එකතු උණාම ගන්නෙ රත්තරන් බඩු. ඊට පස්සෙ පවුල් වල දාන, මගුල්, ලෙඩදුක්, අවමඟුල් වලට ඒවා උගස් තියනවා. ආයි බේර ගන්නවා. විද්‍යාත්මක ඇහැකින් බලනකොට නිෂ්ඵල දේවල් හැටියට සැලකෙන, ඒත් අපේ රටේ කෘතඥභාවයේ මහාර්ඝ සංකේත හැටියට සලකන විටමින් අරන් දෙමාපියන්ට අරිනවා.
ඉතින්, නැටුම් කණ්ඩායම් වල විලුඹ රිදි රිදි නටන ගෑනු ළමයි, පිරිමි ළමයි, කලාපයේ ලයින් වල කොන්ද කඩාගෙන වැඩ කරන ළමයි දිගටම ඒ රස්සා කරාවි. ගෙවල් වලට සල්ලි යවාවි. රත්තරන් චේන් පොටවල් කඩාගෙන පියාඹන මෝටර් සයිකල් මැද්දෙන් හොරෙන් පෑඩ්ස් පැකට් එක හංගගෙන බෝඩිමට ගිහින් මැගි නූඩ්ල්ස් එකක් තම්බගෙන කාවි. එයාලට වෙන විකල්ප නැති වේවි. මස්ඉඹුල සහ වෙනත් අය ඒ ගැන කවි ලියාවි. ස්වල්ප දෙනෙක් කවියක් නිසා හරි, ඉතා කලාතුරකින් හෝ විනිශ්චයට හෝ ගොදුරට පෙර දෙවරක් හිතාවි.
වැඩි පිරිසක් අතරට, විශේෂයෙන්ම තරුණ අය සමග වැඩ කරන අය අතරට, සෞඛ්‍ය, අධ්‍යාපන අංශ වල වැඩ කරන අය අතරට මෙවන් නිර්මාණ ගෙන යාමේ ක්‍රම තියෙන්න ඕනි. ඒ වගේම පුළුල් විදියට මේ නිර්මාණ කියවගන්න, ප්‍රශ්න කරන්න විදිත් තියෙන්න ඕනි. ඕ- ලෙවල් ඒ- ලෙවල් වල සාහිත්‍ය පාඩම් වල වගේ ආකෘතිමය උත්තර විතරක් තියෙන්න බෑ. මොඩල් ආන්ස්වර්ස් වලින් එළියට ගිහින්, වෙනස් උත්තර හැදෙන තරමට, සිලබස් වලට ඇතුල් කරලා උගන්වන්න හදන ඒ දයාලූ ගුණය එලියට ගන්න පුළුවන් වේවි.
One Response
මස්ඉඹුල කවියාගේ යතාර්ථ කවිය පාදක කරගත්තාට ස්තූතියි දිනිති. වෙදෙක් හැටියට ඒ කවිය බලනකොට මගේ සිතට එන්නෙ ‘අර ලෙඩේ’ එක්ක ඇයට නර්ථනට ප්‍රතිකර්මයක් අපි කී දෙනෙක් දෙනවද. තාත්තෙක් විදිහට අර ඇදුරුතුමා එක්ක සීමාවන් සහිතව එක්ඟ වෙන්ට පිලිවන්. මිනිහෙක් හැටියට වෘත්මය රංගනයන් යෙදෙන නිලියන්ට සමාජයේ සැලකීම ගැන කථාව වෙනම මාතෘකාවක්. මස්ඉඹුල කවියා මගේ ප්‍රියතම කලාකරුවා.
අවාසනාව ඔහුව බලන්න නොලැබීම
තව තවත් ලියන්න ඔහුට මෙන්ම ඔබටද දිරි ලැබේවා!
Comments are closed.