නාවික ජීවිතය ගැන කතා බහ කරද්දී නාවික භාෂාව ගැන යම් දැනීමක් තිබීම අවශ්‍යයි. ඊට හේතුව නාවික කටයුතු වලදී යොදන සමහර වචන අප සාමාන්‍ය ජීවිතයේ සමාන අවස්ථා හා දේවල් හැඳින්වීමට යොදන වචන වලට වඩා එහැම පිටින්ම වෙනස් වීමයි.
නෞකාවන්හි එක් එක් අංශයන්, නැතිනම් කොටස් වගේම ක්‍රියාකාරකම් හැඳින්වීමට යොදන වදන් මාලාව ඉතා පුළුල් වුවත් අපට නිතර දෙවේලේ භාවිතය වූ වචන අපට ඉක්මනින් ඉගෙන ගන්න සිදු වුණා.
නැවක කොටස් නම් කෙරුණේ මේ ආකාරයටයි. පහත රූප සටහන් දෙකෙහි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කොට ඇති ප්‍රධාන කොටස් මා පැහැදිලි කරන්නම්.
Funnel – නාවික ව්‍යවහාරයට අනුව නැවේ දුම් බටයයි. නැවේ එන්ජින් ක්‍රියා කිරීමේදී තෙල් දහනය වීමෙන් නැගෙන දුම් පිට වන්නේ ෆනල් එක හරහායි. මේ ෆනල් එක එන්ජින් කාමරයේ (Engine room) සිට නැවේ මතුපිටින් ඉහළට එසැවීම දක්වා සවි කොට තිබෙනවා. එන්ජින් කාමරයේ යනු විශාල ඉඩකඩක් අත්පත් කොට ගන්නා, විශාල නැවක නම් තට්ටු දෙකක් තුනක් උසට යන්ත්‍රාගාර හා උපකරණ සවි කොට ඇති ආරක්ෂිත ප්‍රදේශයක්.
මගේ පුහුණුවේ වැඩි කාල පරාසයක් ගත කළේ මෙවන් එන්ජින් කාමර වලයි.
Stern – ස්ටර්න් නමින් හැඳින්වෙන්නේ නැවක පසුපසම කොටසයි. ස්ටර්න් එකට ගොස් මස්ටර් වෙන්න කී විට මට එකවරම උඩ බිම බැලුණා. මස්ටර් වෙනවා යනු පෙළගැසී සිට ගැනීම බව මූලික පුහුණුවේදී මා දැන සිටියා. සෑම දිනකම උදෑසන රාජකාරියේ නියුතු මෙන්ම වැඩමුර අවසන්ව විවේක ගන්නා සියලුම නැවියන් හා නිලධාරීන් ස්ටර්න් කොටසේ මස්ටර් වුණා. තම තමන්ගේ අංශ වලට අයත් සෑම දෙනෙකුම නිරුපද්‍රිතව සිටින්නේද යන්න නිලධාරීන් ස්ථිර කොට දැනගත්තේ මේ පෙළ ගැසීමේ දී. අසනීප අයට පමණක් ඒ බව කලින් දන්වා තමන්ගේ කැබින් (Cabin) එකේ රැඳී සිටීමට අවසර ලැබුණා. කැබින් නොහොත් නේවාසික කාමර පිහිටා තිබුණේ නැවක ඈතින් පෙනෙන superstructure එකේ, එනම් accommodation කොටසේයි.
Propeller – ප්‍රොපෙලර් ලෙස හැඳින්වූයේ මළ නොබැදෙන විශේෂිත ලෝහ මිශ්‍රණයකින් තැනූ විශාල පෙති කීපයකින් නිර්මිත ෆෑන් එකක හැඩය ගත් කොටසක්. නැවක් ඉදිරියට හා පසුපසට ගමන් කරන්නේ ප්‍රොපෙලර් එක කරකැවෙන දිශාව අනුව වතුර තල්ලු වීමෙනුයි.
Hull – ජලය කාන්දු නොවෙන ලෙස සෑදු නැවේ බඳ හල් යන නමින් හැඳින් වූවා. හල් එකෙන් වැඩි ප්‍රමාණයක් රැඳෙන්නේ මුහුදු වතුර යටයි. ඉහලට පෙනෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි.
Anchor – ඉංග්‍රීසි බසින් ඇන්කර් ලෙස හඳුන්වන්නේ නැවේ නැංගුරමයි. නැංගුරම නැවට සම්බන්ධ වෙන්නේ දම් වැලකින්. නැවක් එක තැන රඳවා තැබීම ඇන්කරේජ් (Anchorage) වන අතර නැංගුරම මුහුදු පතුලේ පතිත කර වීමෙන් තමයි නැව ඩ්‍රිෆ්ට් (drift) වීමෙන් නැතහොත් නිදැල්ලේ පා වීමෙන් වැළකෙන්නේ. නෞකාවක විශාලත්වය අනුව ඉදිරිපසින් එක් නැංගුරමක් හෝ දෙපසින් නැංගුරම් දෙකක් තිබෙන්න පුළුවනි.
Bow – නැවේ බඳේ පහළ කොටසේ ඉදිරියෙන්ම ඇති වතුර කපාගෙන යන කොටස බව් ලෙස හඳුන්වනවා. එහි ඇත්තේ ඉලිප්සාකාර නැතහොත් බල්බයක හැඩයක්.
Stem – නැවේ ඉදිරි පස ඉහළ කොටස ස්ටෙම් නමින් හඳුන්වනවා. අවශ්‍ය අවස්ථා වලදී ස්ටෙම් එකේ වොචවුට් (watch out) කෙනෙක් රඳවනවා. විශේෂයෙන් ජැටියට (Jetty) බර්ත් (berth) කරද්දි නැතහොත් අලෝන්ග්සයිඩ් (alongside) යද්දී මේ මුර දැක්ම අවශ්‍ය වෙනවා. මුවරින් ලයින්ස් (Mooring lines) ලෙස හඳුන්වන විශාල නාවික කඹ බොලාඩ් (bollard) වල ගැට ගැසීමෙන් තමයි නැවක් ජැටියක රඳවන්නේ.
Deck – නැවක stem සිට stern දක්වා වූ ඉහළ මතුපිට හඳුන්වන්නේ ඩෙක් නමින්. සාමාන්‍යයෙන් අප එදිෙනදා භාවිත කරන floor යන වචනය නාවික භාෂාවේදී භාවිතා වන්නේ නැහැ.
Bridge – නැවක ඈතට පෙනෙන Superstructure එකේ ඇති Accommodation කොටසට ඉහළින්ම පිහිටි කොටස බ්‍රිජ් ලෙස හැඳින්වෙනවා. රේඩාර් (Radar), සුක්කානම (Steering wheel), කොම්පස් (Compass) ඇතුළු ඉතා සූක්ෂම උපකරණ රාශියක් පිහිටා ඇත්තේ බ්‍රිජ් එකේයි. එන්ජින් කාමරය බ්‍රිජ් එකේ සිට පාලනය කරනවා. එසේම ක්වාටර් මාස්ටර් (Quarter master) ලෙස කටයුතු කරන සුළු නිළධාරියා කපිතාන්ගේ අණ පරිදි සුක්කානම හසුරුවන්නේ බ්‍රිජ් එකේ සිටයි.
මීට අමතරව නැවේ බඳේ අඩියෙන්ම තිබෙන කොඳු නාරටිය වැනි තීරුව කීල් (Keel) ලෙසත්, ප්‍රොපෙලරයට පිටුපසින් එයට ලඟා වන ජල කඳ පාලනය කරමින් නැවක හැරවුම් දිසාව තීරණය කරන උපකරණය රඩර් (Rudder) ලෙසත් හැඳින්වෙනවා.
එසේම නෞකාවක වම් පැත්ත හඳුන්වන්නේ පෝට් සයිඩ් (Port side) ලෙසයි. දකුණු පැත්ත ස්ටාර්බෝඩ් සයිඩ් (Starboard side) වෙනවා. නැවක left, right – වම, දකුණ නැහැ.
මා මෙවැනි නාවික වදන් කිහිපයක් සඳහන් කළේ ඉදිරි ලිපි පෙළ පහසුවෙන් අවෙබා්ධ කරගන්නට හැකි වීම සඳහායි. මන්ද මේ වචන භාවිතා නොකාට නාවික දිවිය ගැන ලියන්නට බැහැ.
සෙස්ස පස්සට…
One Response
මේ ඉතින් අමුතු භාෂාවක් නොවෙයිනේ ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් පමණයි නේ.
Comments are closed.