චීනයේ නිෂ්පාදිත විවිධ ප්‍රමාණයෙන් යුතු කාලතුවක්කු සවි කළ වේගවත් බෝට්ටු fleet එකක් එකල නාවික හමුදාව සතුව තිබුණා. ඒවා නම් කොට තිබුණේ “සූරයා”, “වීරයා”, “ජගතා”, “රක්ෂක” වැනි නම් වලින්. මේ යාත්‍රා වල ඉදිරිපස මෙන්ම පසුපසත් තුවක්කු සවි කොට තිබුණා.
මා අනුයුක්ත කළ “රක්ෂක” යාත්‍රාව උතුරු මුහුදේ සංචාරය සඳහා පිටත් වුණේ නැගෙනහිර මුහුදු තීරය ඔස්සේයි. කලින් මා අනුයුක්ත කොට තිබූ “එඩිතර” නෞකාව මෙන් නොව “රක්ෂක” යාත්‍රාව බරෙන් හා ප්‍රමාණයෙන් අඩු වූ නිසා රළු ගැඹුරු මුහුදේ දී ගමනාගමනය පෙර මෙන් පහසුවක් වූයේ නැහැ. නිදාගන්නට සිදු වූයේ පහළ bunk එකකයි. නිරන්තරයෙන් එහා මෙහා පැද්දෙද්දී ආහාර පවා ගන්නට සිදු වූයේ පිඟාන දෑතින් බදාගෙනයි. නැතිනම් නැව පැද්දෙන එක් නිමේශයකදී ආහාර පිඟාන මේසයෙන් බිමට ලිස්සා යනවා. වතුර ගබඩා කරන්නට තිබුණේ කුඩා ටැංකියක නිසා ඉතා අරපරෙස්සමින් වතුර පාවිච්චි කළ යුතු වුණා. උදෑසන ශරීරකෘත්‍යයෙන් පසු පිරිසිදු වන්නටත්, මුහුණ කට දොවා ගන්නටත් එක වතුර බාල්දියකට වඩා පාව්ච්චි කරන්නට ඉඩක් තිබුණේ නැහැ. නාවික රැවුල වවමින් සිටි නිසා ඒ සඳහා වතුර උවමනා වූයේ නැහැ.
රේඩාර් යන්ත්‍රයෙන් ගොඩබිමට ඇති දුර නිරීක්ෂණය කරමින්, මුහුදු සිතියම අනුව නාවික මුහුදු මාර්ගය නිශ්චය කරගනිමින්, සතුරු යාත්‍රා ගැනත් අවධානය යොමු කරමින් යාත්‍රාව දියඹේ පදවාගෙන යන අණ දෙන නිලධාරියාට උදව් කරමින් නැවක් පදවාගෙන යාමේ ශාස්ත්‍රය යම් තරමකින් හෝ මා උගෙන ගත්තේ එවකට ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කාරුණික යොමු කිරීම මතයි. ඒ මුහුදු ගමන පිටත් වෙද්දී විධායක නිලධාරියා නිවාඩු ලබා සිටියා.
මා එම කාර්යයන් කරන ආකාරය ගැන නිරීක්ෂණය කරමින් උපදෙස් දෙන අතර විටෙක ප්‍රධාන සුළු නිලධාරීයා හා මා කෙරෙහි විශ්වාසය තබා අපට සුක්කානම බාර දී පහළ bunk එකකට වැදී විවෙික ගන්නට යන්නට පවා ඔහු නිර්භීත වුණා. එය නිර්භිතකමක් ලෙස මා සලකන්නේ බොහෝ අණ දෙන නිලධාරීන් එසේ කිරීමට පැකිළුණ නිසයි.
අප බොහෝ සේ ක්‍රියාශීලී වූයේ රාත්‍රී කාලයේදීයි. දහවල කෙටි නින්දක් දමන්නට අප පුරුදු වූවා. ඇත්තෙන්ම උතුරු මුහුද සක්‍රීය වූයේ රාත්‍රි කාලයේදී. ඒ හොර බඩු වල්ලම් මෙන්ම ආයුධ ප්‍රවාහනය කරන කොටි බෝට්ටු සංචරණය කළේ රාත්‍රී කාලයේදී බැවිනුයි.
ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ සිට ගමන ආරම්භ කළ “රක්ෂක” යාත්‍රාව නිලාවෙලි, කුච්චවේලි, පුල්මුඩේ, කෝකිලායි, මුලතිව්, චුණ්ඩිකුලම් වෙරළ තීරයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ වැල්වෙටිතුරේ දෙසට යාත්‍රා කරමින් තිබුණා. එකල එකී මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කොට තිබුණ හෙයින් කිසියම් බෝට්ටුවක් මුහුදේ දක්නට ලැබීම සතුරු අනතුරක් ලෙස නිශ්චය කළ යුතු වුණා.
අතුරු මුහුදට යාත්‍රා කරන විට සියලු කාලතුවක්කු සීරුවෙන් තබා තිබූ අතර රාත්‍රි කාලයේ නම් රේඩාර් යන්ත්‍රයෙන් හා Night vision binoculars මගිනුත්, දිවා කාලයේ නම් යාත්‍රාවේ ඉදිරිපස ඩෙක් එකේ රැඳුණු රැකවලෙකුගේ දුරේක්ෂයෙනුත් අවට නිරීක්ෂණය කරනු ලැබුවා.
එක් දහවලක වැල්වෙටිතුරේ මුහුදු සීමාව පසු කරයත්ම වෙරළේ වූ බෙහොට්ටු කිහිපයක චලනය රැකවලා නිරීක්ෂණය කොට අපට දැන්වූවා. අප වහාම ඒ අවස්ථාවේ විවේකීව පහත මාලයේ සිටි අණ දෙන නිලධාරීවරයාට ඒ බව දන්වා යැව්වා. වහාම පාලක මැදිරියට දිව ආ ඔහු දුරේක්ෂයකින් නිරීක්ෂණය කරමින් පැවසුවේ කොටි කිසියම් ප්‍රහාරයකට සූදානම් වනවා විය වුතු බවයි. ඒ සමඟම action station (ක්‍රියාක්මක වීම සඳහා සියල්ලන්ටම කරන නිවේදනය)සංඥාව නිකුත් කළා.
ඒ එක්කම ඒ ඒ කාලතුවක්කුව වෙත නම් කොට තිබූ සෙබළුන් ආරක්ෂිත ජැකැට්ටු (body armour) පැළඳ ගෙන ස්ථානගත වුණා. වෙරළට සමාන්තරව ඇදෙමින් තිබූ යාත්‍රාව ක්ෂණයෙන් වෙරළ දෙසට හරවන්නට අණ කළ අණ දෙන නිලධාරීවරයා සියල්ලන්ටම ප්‍රහාරය සඳහා සූදානම් වන ලෙස දැන්වූවා. මා අත වූයේ sub machine gun (SMG) එකක්. එවන් අවස්ථාවල හැම කෙනෙක්ම ආයුධ සන්නද්ධ වීම අත්‍යවශ්‍ය කරුණක් වූයේ තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු වූ නිසයි.
අණ දෙන නිලධාරියාගේ සැකය තහවුරු කරමින් වෙරළේ සිටි කොටි ත්‍රස්තවාදීන් “රක්ෂක” යාත්‍රාව දෙසට වෙඩි තියන්නට පටන් ගත්තා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස යාත්‍රාවේ කුඩා අවියකින් ප්‍රහාරයක් දියත් වුණා. ඒ සමඟම ත්‍රස්තවාදීන් ඊට මදක් එපිටින් වූ තට්ටු ගොඩනැගිල්ලක් වෙත දිව යනු පෙනුණා. එතැන් සිට LMG (Long Machine Gun) ප්‍රහාර නිකුත් වෙන්නට පටන් ගත්තා.
“රක්ෂක” යාත්‍රාවේ aft deck එකේ වූ බර කාලතුවක්කු වලින් ප්‍රහාර එල්ල කිරීමට අණ නිකුත් වීමත් සමඟ එක එල්ලේ නිකුත් වූ කාලතුවක්කු උණ්ඩ වලින් පැරණි තට්ටු ගොඩනැගිල්ල දූලි වළාවන් අහසට නංවමින් කැබලි වී බිම ඇද වැටුණා.
මේ වන විට ප්‍රහාරය පිළිබඳ ගුවන් සංඥා නිකුත් වී තිබුණ හෙයින් මේ පණිවුඩය ගුවන් හමුදා ප්‍රහාරක බල ඇණිය වෙත සම්ප්‍රේෂණය වී ගුවන් හමුදා ප්‍රහාරක යානා වැල්වැටිතුරේ වෙත ළඟා වී තිබුණා. සතුරන්ට විරුද්ධ ප්‍රහාරය අවසන් කළේ ගුවන් හමුදාවයි.
“Roger, Well done. Operation successfully completed..” ගුවන සිසාරා හඬ නැගුණා.
ඉන්පසු අප තලෙයිමන්නාරම දක්වා යන ගමන ආරම්භ කළා.
සෙස්ස පස්සට…