ලංකාව දූපතක් වුණත් ලංකාව වටා මුහුදු මුහුදේ නෞකාවකට වටයක් ගමන් කරන්න බැහැ. ඊට හේතුව තලෙයිමන්නාරම අසල මුහුදේ ගල්පර තිබීමයි. ඉතිහාස පුරාවෘත්ත සඳහන් කරන්නේ මෙතැන එකල පාලමක් තිබූ බවයි. එය හඳුන්වන්නේ ආදම් ගේ පාලම නමින්. ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිණිකොණදිග වෙරළට ඔබ්බෙන් පිහිටි පාම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන නොගැඹුරු වැලිපර දූපත් සහිත මුහුදු තීරයක්. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී තිබෙනවා. එහි දිග කිලෝමීටර් 48 පමණ වන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් උතුරු කරයේ සිට නෞකාවකට බස්නාහිර වෙරළ තීරය ඔස්සේ කොළඹට ළඟා වෙන්නට බැහැ.
මට පසු කාලයේදී තලෙයිමන්නාරම් sandbank හරහා ඩිංගි බෝට්ටුවකින් යාමේ අවස්ථාව උදා වුණා. එතැන ඇත්තේ කොතරම් නොගැඹුරු මුහුදක්දැයි මා ප්‍රායෝගිකව අත් වින්දේ ඒ අවස්ථාවේදී. ඒ අත්දැකීම් ඉදිරියේදී සටහන් කරන්නම්.
බටහිර මුහුදු තීරය ඔස්සේ කෙටි දුරකින් කොළඹට පැමිණීමේ නොහැකියාව හේතුවෙන් කන්කසන්තුරේ ආසන්නයේ තිබූ එඩිතර නෞකාව කොළඹ නැව් තටාකාංගනයට පැමිණියේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරය ඔස්සේ. පේදුරුතුඩුව, එලිෆන්ට් පාස්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, කිරින්ද, දෙවුන්දර තුඩුව, තංගල්ල, මාතර, ගාල්ල මුහුදු තීරය හරහා පැමිණියේ වෙහෙසකාරී දීර්ඝ ගමනක්. මා නැවත නැගී වරායකට මුල් වතාවට ඇතුල් වූයේ ඒ අවස්ථාවේදී. නාවික ඉංජිනේරුවකු ලෙස පුහුණු වෙමින් සිටි මා හට එය සුවිශේෂී අත්දැකීමක් වුණා.
නැවක් වරායකට ඇතුළු කරනවා යනු තවත් කෙනෙකුට ජීවිත කාලයේදී ලබා ගත හැකි වෙනස්ම අත්දැකීමක්. දියකඩනය පසු පසුකොට වරාය තුළට නැවක් ගෙන එන්නේ ටග් (Tug) යාත්‍රාවල උදව්වෙනුයි. ටග් යාත්‍රාව අවශ්‍ය වන්නේ නැව නිවැරදි ආකාරයට මැනුවර් (Manoeuvre) කිරීමටයි. මැනුවර් කරනවා යන්නෙන් අදහස් කරන්නේ මේ වේ ගමන්මග නිසි පරිදි සකස් කිරීමයි.
ටග් බෝට්ටුවක් මගින් නැවක් මැනුවර් කරන්නේ තල්ලු කිරීමෙන් හෝ ඇද ගෙන යාමෙන්. වරායක් තුළදී නැවේ එන්ජින් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නෑ. නැව ජැටියක් කරා නිරුපද්‍රිතව ගෙන යන්නේත්, ජැටියෙන් පිටතට ගෙන මුහුදට යොමු කරන්නේ ටග් යාත්‍රා මගිනුයි. ඒ ආකාරයෙන් එඩිතර නෞකාව කොළඹ නැව් තටාකාංගයේ (Colombo Naval Dockyard) ජැටියක ආරක්ෂිතව රැඳවූවා.
අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නැව ඩොක්(dock) කිරීම සිදුවුණා. ඒ කියන්නේ විශාල තටාකාංගනයකට නැව බස්සවා සම්පූර්ණයෙන් වතුර හිස් කොට නැවේ බඳ සම්පූර්ණයෙන් නිරාවරණය කිරීමයි. ඒ අනුව එතෙක් වතුරට යට වී තිබූ වෙන්කර නෞකාවේ හල්(hull) එක පිටතට පැහැදිලිව දිස් වෙන්න පටන් ගත්තා. නැව් බඳේ සහ නැවේ මතුපිට ඩෙක් එකේ තීන්ත සම්පූර්ණයෙන් සූරා ඉවත් කොට තවත් තීන්ත ලේයර් කිහිපයක් ආලේප කරන්නට නියමිත වුණා. ඊට අමතරව නොව තුළ විවිධ ස්ථානය නැවත පිළිසකර කරා.

“එඩිතර” නෞකාව උතුරු මුහුදේ බෝට්ටුවලට අවශ්‍ය තෙල් ප්‍රවාහනය කළ නිසා නැවේ තෙල් ටැංකි කුහර විශාල ප්‍රමාණයක් තිබුණා. ඒවා නැවේ බඳේ එක් කොටසක වංකගිරියක් සේ විවිධ අත විහිදී තිබුණා. නැවේ මතුපිට ඩෙක් එකේ තිබෙන කුඩා කුහරයකින් ඇතුට බැස එකී ටැංකියෙන් ටැංකියට බඩගාගෙන, දණගාගෙන ගමන් කොට ඒවායේ තත්ත්වය පරික්ෂා කරන්නට ලැබීම මගේ ජීවිතේ ලද අහඹු අත්දැකීමක්. ඒ බව මා විශේෂයෙන් සදහන් කරන්නේ සාමාන්‍යයෙන් අඳුරු කුටි තුළ, සිර වු ඉඩකඩක වැඩි වෙලාවක් රැඳෙන්නට මට නොහැකි නිසයි.
කොළඹ නැව් තටාකාංගනයේ නැව රඳවා තැබූ හෙයින් රාත්‍රි කාලයේ නිවසට නිවසට යන්නට හෝ මිතුරන් ඇසුරට යන්නට මා ලද අවස්ථාව ඒ ආධුනික කාලයේ ලේසියෙන් ලබාගන්නට හැකි විවේකී නිදහසක් නොවේ. සතියකට දවසක් දෙකක් ගමේ ගිය මා වැඩි දවසක් ගත කළේ ගල්කිස්සේ අපේ සරසවි බැචාලා ගේ චමරියේ… ඒක තමයි දවසකටවත් චමරිය…
සෙස්ස පස්සට…
One Response
අහඹු යන වචනය ඔබ භාවිතා කර ඇත්තේ දුර්ලභ / නොසිතූ යන අදහසින් දෝ කියා සිතුණා. මා නම් අහඹු කියන්නේ රැන්ඩම් / සසම්භාවී යන අරුතෙන් පමණයි.
Comments are closed.