හුස්ම වායු අණු බවට හැරී යද්දී…

කෙනෙකුට මරණය, වේදනාව, දුක් විඳීම කිට්ටුවෙන් අත් දකින්න වෙන්නෙ බොහෝ විට තමා තුළින් හෝ තමාගේ ආදරණීයයන් තුළින්. නමුත් දොස්තරලා කියන කට්ටිය තමන්ගෙ රස්සාව ඇතුළෙ දෛනිකව මේ ව්‍යාධි, වේදනා සහ මරණ නිරන්තරයෙන්ම අත් විඳිනවා. ඒක දරාගන්න අමාරු දෙයක්; කෙනෙකුගෙ ඇතුලාන්තය සූක්ෂම විදියට, තමන්ටත් නොදැනෙන්න, ක්ෂය කරන දෙයක්. ඒ නිසා ඉගෙන ගන්න කාලෙම වෛද්‍ය ශිෂ්‍යයන්ව පුරුදු කරනවා හැඟීම් රහිතව ශෝකජනක අත්දැකීම් වලට මූණ දෙන්න. වෛද්‍ය සිසුන් වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙන්නෙ වෙනස් ගැහැණු පිරිමි විදියට. තමන්ට හරි තමන්ගෙ ආදරණීයයෙක්ට හරි මරණයට මූණ දෙන්න වුණාම දොස්තරල ඒකට මූණ දෙන්න වෙන විදිය වෙනස්. තමන් මේ වෙලාවෙ කවුද? දොස්තරද? ලෙඩාද? දුවද? පුතාද? යාළුවද? මේක විස්තර කරන්න අමාරු, සංකීර්ණ අත්දැකීමක් බවට පත් වෙනවා

මේ වගේ වික්ෂිප්ත වෙච්ච වකවානුවක අතට ලැබුණ පොතක් තමයි When breath becomes air. ඒක ලියල තියෙන්නෙ පෝල් කලානිති කියල ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු ඉතා දක්ෂ ලෙස ස්ටැන්ෆ්ඩ් විශ්ව විද්‍යාලයේ තමන්ගෙ ශල්‍ය වෛද්‍ය හැදෑරීම් කටයුතු කරගෙන යනවා. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට පුහුණුව ඉවර කරන්න ඔහුට තියෙන්නෙ තව ඉතාම සුළු කාලයයි. පුහුණුවේ අවසාන මාස කිහිපය තුළ තදබල පිටකොන්දේ වේදනාවකින් සහ අධික මහන්සියකින් පීඩා විඳින පෝල් හිතන්නෙ අති දුෂ්කර වූ පුහුණුවේ ප්‍රතිඵල කියලා. ඉවසන්නම බැරි තැන ඔහු පිළිබඳ පරීක්ෂණ වලට යනවා. එතකොට ඔහු දැනගන්නවා ශරීරය පුරා පැතිරුණු පෙනහළු පිලිකාවක් ඔහුට වැළඳිලා විත්තිය.පෝල් දන්නවා ඔහුට වැඩි කාලයක් නෑ කියලා. ඒත් ඔහු ප්‍රතිකාර ගන්නවා. නැවත ශල්‍යකර්ම කටයුතු කරන්න උත්සාහ කරනවා. තමන්ගෙ යම් තරමකට ගැටලුකාරී විවාහය රැකගෙන, දරුවෙකුත් හදනවා. ඔහුගේ ළමා සහ නව යොවුන් විය තදින් සාහිත්‍යය සමග බැඳුනක්. පෝල්ගේ හීනයක් තමයි කවදා හරි පොතක් ලියන එක. හීනය හැබෑ කරගන්න දැන් පෝල්ට වෙන්නෙ මරණය පෙනි පෙනී. ඔහු පොත ලියනවා.

පිටු 225 ක් හරහා පෝල් තම කියවන්නන්ට දෙන දේ බලවත්. ඔහු ලියන බස සංවේදනීයයි, සුමටයි, මනහරයි. තමන්ගේ පාසල් ජීවිතය, විශ්වවිද්‍යාලයයේ වෝල්ට් විට්මන් නමැති අමෙරිකානු කවියා ගැන ලියූ නිබන්ධය, යේල් වෛද්‍ය විද්‍යාලයේ මෘත ශරීර ව්‍යවච්ඡේදනයේදි විඳපු මානුෂීය හැඟීම් මොට්ට කරන අත් දැකීම්, කනිෂ්ඨ වෛද්‍යවරයෙකු විදියට පුහුණුව ලබන විට රෝගීන් හා රෝගීන්ගේ ආදරණීයයන් පිළිබඳ පෝල්ගේ කියවීම, මේ සියල්ලම බරපතල ලෙස කියවන්නාගේ හෘදය සාක්ෂිය පහුරු ගානවා, තුවාල කරනවා. මාව මා විසින්ම ප්‍රශ්න කරවනවා. මේ පොත හෝ මීට සමාන ලියවිල්ලක් කලින් කියවලා තිබුණ නම් මම වෙනස්ම දොස්තර කෙනෙක් වෙයි කියලා හිතවන්න තරමට පෝල්ගෙ වචන ශක්තිමත්.

අපි සමහරු ජීවිතේ තේරුමක් හොයනවා. සමහරු හොයන්නෙ නැතුව ඔහේ ඉඳලා මැරිලා යනවා. ජීවිතේ තේරුම හොයන අය, මරණය ගැනත් මෙනෙහි කරනවා, මරණය කියන අබිරහස තේරුම් ගන්න උත්සාහ කරනවා. මරණයට මුහුණ දෙන විදිය ගැන කල්පනා කරනවා. එහෙම අයට මේ පොතෙන් යමක් එකතු කරගන්න පුලුවන් වෙන්න ඕන. දොස්තරලා නොවෙන අයත් බොහෝ දෙනෙක් මේ පොත කියවලා තියෙනවා. පෝල් අපිට කතා කරන විට අපි නිශ්ශබ්දව නොයිඳ ඔහුට උත්තර දෙනවා නම්, ඔහුත් එක්ක සංවාදයේ යෙදෙනවා නම්, අන්න  එතන තමයි මේ පොතේ පණිවිඩය තියෙන්නේ.

වයස 35 සිට  අවුරුදු 2 ක් තුළ, අපිට හුඟක් දෙනාට දශක ගණනාවක් ගියත් නොපෙනුණ, නොපෙනෙන බොහෝ දේවල් පෙන්නල පෝල් අවුරුදු 37 දී මිය යනවා. ඔහු මෙතෙක් කල් ගත් හුස්ම ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හැටියට වායු ගෝලයේ පවතිනවා. අපි ඒවා හුස්ම ලෙස ඇතුළට ගන්නවා, පිට කරනවා.

2 Responses

  1. I have read about him a lot and you have done a great thing in writing this and revealing very important message on life and death, humanity, emotions of human about their health deterioration, courage at facing the reality and most importantly how people with beautiful hearts share their stories.
    Thank you Dinithi for this . I am going to read this book in 2 days ( just ordered)

  2. Beautifully written. So eloquently narrated about the book. Why not translate this to Sinhalese readers Dinithi?

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත